ණය


ශ්‍රී ලංකාවේ ජාතික ගීතය මුලින්ම ලියා තිබුණේ “නමෝ නමෝ මාතා- අප ශ්‍රී ලංකා” කියා පටන් ගන්නටය. එහෙත් කවුදෝ බක පණ්ඩිතයෙක් “න” අපායාක්ෂරයක් යැයිද, ඒ විදියට ජාතික ගීය පටන් ගැනීම රටට සුබදායක නොවන බවද කියා එය වෙනස් කළේය.
හැබැයි රටට ඇතිවූ සුගතියක් නැත. හැඳිගෑවිලාම ගියාය.
ඇත්තටම අපායාක්ෂරය විය යුත්තේ “න” නොව “ණ” යි. ඒ මන්ද කියනවා නම් “ණ’ යන්නෙන් පටන් ගන්නා වචන සිංහළ ශබ්ද කෝෂයේ ඇත්තේ (මා දන්නා පරිදි ) එකෝම එක වචනයකි. ඒ “ණය”ය.
ඕනෑම ව්‍යාපාරයක් කර ගෙන යාමේදි “ණයට” දීම සිදු කළ යුතුය. එය ගනුදෙනු කරුවන් අද්දා ගැනීමේ උපක්‍රමයකි. එහෙත් අත්පිට මුදලට වඩා “ණය” ගනුදෙනු කරන සමහර ව්‍යාපාරස්තාන වල මේ වාගේ උපහැරණ වාක්‍ය මා දැක ඇත.

ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැතිවේ.
ණයට ඉල්ලා අමනාප නොවන්න
ණය දීමෙන් මුදලත් බිරිඳත් නැතිවේ
අද මුදලට හෙට ණයට

මා විවා වන තුරුම කිසිවෙකුට ණය වී තිබුණේ නැත. එහෙත් ක්‍රමයෙන් ජීවිතය සංකීර්ණ වෙද්දී , ආපදා ණය, වාර්ෂික ණය,බයිසිකල් ණය, වාහන ණය, අර්තසාදක ණය, සේවක ණය යනාදී මෙකී නොකී ණය වලට ඇබ්බැහිවීමට මට සිදුවිය.
ණය ගැනීම විලි ලැජ්ජා නැති වැඩකි. ණයට දෙන්නා, ණයහිමියා වන අතර ණයට ගන්නා, ණයගැතියාය. ණයහිමියා, ණය ගැතියා සොයා නිවසටම එන විට සිදුවන්නේ “නිවාස ණය” අරන් සැදූ ගේ ඇතුලේම හැංගෙන්නටය.
මාතරින් පැමිණ අපේ ගමේ කාන්තාවක් හා විවාහ වූ බන්දුලසේන මාමා රැකියාවට කළේ 8% පොලියට ණය දීමය. 8% එක දවසකටය. හැමදාම හවසට පොලී මුදල් එකතු කරන්නට නගරය පුරාම ඇවිදීම බන්දුලසේන මාමාගේ දින චරියාවයි.
ඔහුගේ බිරිය , කමලා නැන්දා එදා වේල යාන්තමින් ගැටගහ ගත් කාන්තාවකි. එහෙත් විවාහයෙන් පසුව ඇයගේ අත- මිට සරු වන්නට විය. ගමේ උන් කීවේ කමලා නැන්දා , බන්දුලසේන මාමාගේ පරණ ණය කාරයෙක් බවය.
පොරොන්දුවූ පරිදි නියමිත දිනට ණය මුදල නොගෙවූ කෙනෙකුට ඔහු බැණ වැදුනේ “ලබන ආත්මේ ගෙවාපිය” කියලාය.
බැංකුවල සේවය කරන අය නම් Bad Debts (බොල් ණය) සහ Doubtful Debts ණය ගැන දනිති. දැනට රැකියාවක් කරන මගේ දියණිය ඉඳහිට මගෙන් ගානක් ඉල්ලයි. දෙවතාවක් නොසිතා ඇය ඉල්ලන්නේ කීයක්ද, එම මුදල ඇයට ලබා දෙන්නේ ඉතා කැමැත්තෙන්ය.
” තාත්තෙ මේක කවද්ද ආපහු ඕන?”
” නෑ.. මම ඒක doubtful debts පොතේ ලියා ගත්තා” කියනවිට ඇය ඊට දක්වන සුන්දර සිනහව දුටුවිට එම මුදල bad debt -බොල් ණය පොතේම ලියා ගන්නට සිතේ.

” ළමායී.. අපේ රටේ ප්‍රධාන ආදයාම් මාර්ග මොනවාද ” ප්‍රජාචාරය ඉගැන්වූ විජේරත්න ගුරුතුමිය එසේ අසනවිට අපි කට පාඩමෙන් “තේ – රබර්- පොල්” යැයි කීවෙමු.
ඊට කලකට පසුව අපේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ “ඇඟලුම් සහ අරාබියට යවන හවුස් මේඩ්ලා”ය.
දැන් අපේ අලුත්ම ආදායම් මාර්ගය විදේශ ණයය.
අප විදේශයන්ට ණය වී ඇති ප්‍රමාණය ටක්කෙටම කීමට රටේ ජනාධිපතිට, අගමැතිට තබා රටේ මුදල් හසුරුවන මහ බැංකුවේ අධිපතිටවත් නොහැකිය.
හැබැයි මේ ටික නම් ටක්කෙටම කීමට මට පුළුවන.
මේ ණය , මේ කපේදී නම් ගෙවා ඉවර කළ නොහැකිය. රටේ සංවර්ධනයක් නැත.
සුදු සංචාරයෙක් හෝටලයකට ගොඩ වී, කළමණාකරු අතට මුදල් නෝට්ටුවක් දී තමාට ඉස්තරම් කාමරයක් අවශ්‍ය බැව් කීය. “ටිකක් ඉන්න ” කී කළමණාකරු වහා ගොස් , හෝටලයට කෑම බීම සපයන සැපයුම්කරුට ඒ මුදල් නෝට්ටුව දුන්නේය. ඒ මීට කලින් ණයට ගෙන ඇති දේ සඳහාය.සැපයුම්කරු වහාම පොලී මුදලාලි සොයා ගොස් අර මුදල් නෝට්ටුව දී පැරණි ණයක් ගෙවා දැමීය. “ණයමුදල ” ලැබීම නිසා චූන් වූ පොලී මුදලාලි වහාම නගරයේ සිටි ගණිකාව සොයා ගොස් අර මුදල් නෝට්ටුව දුන්නේ කලින් “ණයට” බුදියා ගැනීම වෙනුවෙන්ය. ගණිකාව ඒ මුදල් නෝට්ටුවම රැගෙන හෝටලයේ කළමණාකරුගේ පැරණි ණයක් ගෙවා දැම්මේය.
“උඹලගෙ හෝටලෙ මහ සවුත්තුයි.. කස්ටමර් සර්විස් අන්තිමයි” සංචාරකයා අර මුදල් නෝට්ටුව උදුරා ගත්තේය.

හෝටලය, සැපයුම්කරු, පොලී මුදලාලි , ගණිකාව යන සිව් දෙනාම ණය බරින් නිදහස්ය. එහෙත් අලුතින් දෙයක් එකතු වී නොමැත.
අපේ රටේ ආර්තිකයද මීට සමාන යයි මට සිතේ.

තරුණ කාලේ මුඩුක්කු පාරක ඇවිදින්නට යනවිට බාගෙට ඇඳ ගත් අවිනීත කාන්තාවක් ” අදත් ණයට හු*න්ට ආවද ? බැහැපිය එලියට” කියා මිනිහෙක් දොට්ට දැමූ අයුරු මට සිහිවේ. මැදපෙරදිග සේවයට යන බොහොමයක් ගැහැණුන්ට තම හාම්පුතා සමග බුදියන්නට සිදුවේ. ඒත් ණයටය. නැත්නම් මාසේ අන්තිමට ලැබෙන පඩියට හිලව්වටය. තවත් විදියකට කියනවා නම් ලංකා මාතාව ණයට හු*න ගණිකාවකගේ තත්වයට පත් කොට ඇත.
වී ගොවියා පොහොර ටික,බිත්තර වී ටික, වල් නාශක , කෘමිනාශක ටික ගන්නේ ණයටය. ණයහිමියා කමතටම පැමිණ ණයට හිලව්වන්නට අස්වැන්න රැගෙන යයි. ණය වී කුඹුරු කරනවාට වඩා කඩේ හාල් කෑම ලාබය. ඒ සාමාන්‍ය කුඹුරු ගොවියාගේ මතයයි.

ඒ කාලේ අපේ තාත්තාට පඩි ලැබුණේ 25 දාය. දවස් 24 ක් කඩේ ණය පොතට බඩු ගන්නා අම්මා 25 දා වහාම ණය ගෙවා දමයි. ණයට ගන්න නිසා සාමාන්‍ය මිළට වඩා වැඩි පුර ගණන් දමා ඇත.

ණයට පැට්‍රෝල් ගහනවා නම් මිළ ටිකක් වැඩිය.

ඒ ගැන ඇසූ විට කඩේ මාමා කියන්නේ ” අපිත් බඩු ගන්නේ ණයටනේ.. මාසයක්ම බලා ඉන්න එපායැ” ඊට එහා අම්මාවත් තාත්තාවත් කතා නොකරයි. කතාව ඇත්තය. කඩේ මාමා ඔරොප්පු උනොත් කාටත් පෙනෙන්නට අපේ ණය පොත කඩේ බිත්තියේ එල්ලා තබන්නට බැරි නැත.
මාසයක් තිස්සේ අතටම දියවූ ණය පොත වෙනුවට කඩේ මාමා අලුත් පොතක් දෙයි. ඊට අමතරව ජනවාරි 1 දා කැලැන්ඩරයක්ද දෙයි.
ණය වීම විලි ලැජ්ජා නැති වැඩක් නිසා අම්මා කඩේට යන්නේ ගනුදෙනුකරුවන් අඩුවෙලාවක් බලාය.
ණය වී මගුල් කෑම ඊටත් වඩා විලි ලැජ්ජා නැති වැඩකි.
“බැංකු ණයක්වත් ගම්මුද?” කියා අම්මා ඇසුවේ මගේ නංගීගේ මගුලට අවශ්‍ය මුදල් සපයා ගැනීමටය. තාත්තාටත්, බාප්පාටත් හවුලේ තිබුණු ඉඩමේ තාත්තාගේ කොටස බාප්පාගෙම කොල්ලෙකුට විකුණා දැමූ තාත්තා සතුටින් ගෙදර ආවේය. අපි රතිඥ්ඥා පත්තු කළෙමු. ණය වෙනවාට වඩා තියෙන දෙයක් විකුණා ගෙන කෑම හොඳය.
ඔන්න ඔහේ එන පාරත් පොහොට්ටුවටම ගහනවාය.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Responses to ණය

  1. නිර්නාමික පවසයි:

    This is the nightmare. ඔන්න ඔහේ එන පාරත් පොහොට්ටුවටම ගහනවාය

ප්‍රතිචාරයක් ලබාදෙන්න