ආදරවන්තයින්ගේ එක්දින තරගයේ ජය රිච්මන්ඩ් විද්‍යාලයට

රිච්මන්ඩ් මහින්ද 35 වැනි එක්දින මහා තරගය

256

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවති 35 වැනි එක්දින මහා තරගයෙන් ලකුණු 28ක ජයක් ලබා ගන්නට රිච්මන්ඩ් විද්‍යාලය සමත් වුනා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් නායක තරින්ද නිර්මාල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලය වුනු චෙහාන් සුබසිංහ සහ බනුක මනෝහර ලකුණු 51ක අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවූවා.

අනතුරුව පිටියට පැමිණි නායක නිර්මාල් – බනුක සමඟ එක්ව ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් රිච්මන්ඩ් මුල්පෙළ ස්ථාවර කළා.

කෙසේ නමුත් රිච්මන්ඩ් අවසන් කඩුලු 8 ලකුණු 125ක් තුල දවා ගන්නට ශෙහාන් හසරංග ඇතුළු මහින්ද පන්දු යවන්නන් සමත් වුනා. ඒ අනුව ලකුණු 91/1ක් ලෙස සටහන් වුනු රිච්මන්ඩ් ඉනිම පන්දුවාර 50ක් තුල ලකුණු 218කට සීමා කරන්නට මහින්ද විද්‍යාලයට හැකි වීම කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම දියත් කළ මහින්ද විද්‍යාලයේ ආරම්භය සාර්ථක කිරීමට හරීන් අචින්ත සහ ප්‍රමේෂ් මදුභාෂණ සමත් වුනා. එහි දී ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය හැරෙන්නට මහින්ද විද්‍යාලය දෙසින් වෙනත් සාර්ථක ආරම්භයක් ගොඩනැංවීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අනුව මහින්ද විද්‍යාල ඉනිම ලකුණු 190කට සීමා කළ රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 28ක ජයක් ලබා ගනිමින් මෙවර එක්දින මහා තරගය ජය ගත්තා. සෙනෙත් සිසාන් රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

  • රිච්මන්ඩ් විද්‍යාලය – 218/9 (50): තරින්ද නිර්මාල් 42, බනුක මනෝහර 38, චෙහාන් සුබසිංහ 34, ශාරෝන් අභිෂේක් 25, ෂෙහාන් හසරංග 3/46, රන්මිණ හෙට්ටිආරච්චි 2/25.
  • මහින්ද විද්‍යාලය – 190 (49.2): තරුෂ ඩිල්ශාන් 41, ධනුජ ඉඳුවර 40, ප්‍රමේෂ් මදුභාෂණ 33, හිරුන ගාල්ලගේ 22, සෙනෙත් සිසාන් 5/30

රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 28ක ජයක්

  • තරගයේ වීරයා – තරින්ද නිර්මාල් (රිච්මන්ඩ් විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරු – ඉඳුවර (මහින්ද විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – සෙනෙත් සිසාන් (රිච්මන්ඩ් විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා -කවිඳු නිර්මාණ (රිච්මන්ඩ් විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<