වෙස්ලි – බෙනඩික්ට් සීමිත ඕවර ගැටුමේ ජය බෙනඩික්ට් විද්‍යාලයට !

Luke Shield Limited Over Match 2023

206

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර පැවැත්වුණු Luke Shield එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 19ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට ශාන්ත බෙනඩික්ට් විදුහල අද (25) සමත් වුනා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට ශාන්ත බෙනඩික්ට් කණ්ඩායම තීරණය කළ අතර ඔවුන් ගත් තීරණය නිවැරදි එකක්ද යන්න ප්‍රශ්න කරවමින් නියමිත පන්දු වාර පනහ නිම වීමටත් පෙර සියළුම බෙනඩික්ට් පිතිකරුව්න් ලකුණු 241ක් තුල දී දවා ගැනීමට වෙස්ලි පන්දු යවන්නන් විසින් සමත් වුනා.

මෙහි දී බෙනඩික්ට් මුල් පෙළ කඩුලු තරමක් ඉක්මනින් බිඳ වැටුනත් බෙනඩික්ට් මැද පෙළ පිතිකරුවන් විසින් ඉනිමට යම් ජීවයක් ගෙන ඒමට සමත් වුනා. එහි දී බෙනඩික්ට් නායක චමත් චාතුර්ය විසින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශෙනාල් සමරතුංග විසින් නායකයා සැපයූ අඩිතාලම ඔස්සේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් බෙනඩික්ට් ලකුණු පුවරුව ගෞරවාන්විත තත්වයකට ගෙන ඒමට සමත් වුනා.

මෙහි දී ශෙනාල් විසින් පන්දු 49ක් පමණක් වැය කරමින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනා.

එමෙන්ම වෙස්ලි විදුහල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් බෙනඩික්ට් ඉනිම සහමුලින්ම විනාශ කර දැමූ පන්දු යවන්නා බවට පත් වීමට සනිතු අමරසිංහ සමත් වුනේ ලකුණු 43කට කඩුලු පහක් බිඳ හෙලමිනුයි.

ඒ අනූව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 242 ක ඉලක්කයක් හඹා යාමට වෙස්ලි පිතිකරුවන් පිටියට පිවිසුනු නමුත් ඔවුන් බලාපොරොත්තු වූ තරම් පහසුවෙන් එම ඉලක්කය හඹා යාමට බෙනඩික්ට් පන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනූව වෙස්ලි ඉනිමද නියමිත පන්දු වාර පනහ නිම වීමට පෙර සම්පුර්ණයෙන්ම නිමා කිරීමට බෙනඩික්ට් පන්දු යවන්නන් විසින් සමත් වුනේ වෙස්ලි ලකුණු පුවරුවේ ලකුණු 222ක් සටහන් වී තිබියදීයී.

එහිදී වෙස්ලි ඉනිම වෙනුවෙන් සාර්ථක වීමට සමත් වූ එකම පිතිකරු වුනේ නායක ලිනාල් සුබසිංහ පමණක් වන අතර ඔහු විසින් පන්දු 37කින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුනා. ඔහුගේ සහයට අනුග පහන්සර විසින් ලකුණු 32ක් සහ අශාන් ඉසිර ගේ පිත්තෙන් ලකුණු 36ක් වාර්තා වුනත් ඒවා ජයග්‍රහණයක් කරා යාමට තරම් ඉවහල් වුනේ නැහැ.

විශේෂයෙන්ම වෙස්ලි ඉනිමේ අවසන් කඩුලු කිහිපය ඉතා ඉක්මනින් බිඳ හෙලමින් තරගයේ ජයග්‍රහණය තමන්ගේ කර ගැනීමට බෙනඩික්ට් පන්දු යවන්නන් විසින් සමත් වුනා. මෙහි දී විහාර අත්තනායක විසින් වෙස්ලි කඩුලු 3ක් බිඳ හෙලමින් ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුනා. ඊට අමතරව බෙනඩික්ට් නායක චමත් චාතුර්ය විසින් කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනූව කොළඹ වෙස්ලි විදුහල ලකුණු 19කින් පරාජය කරමින් මෙවර Luke Shield ශූරතාව තමන් සතු කර ගැනීමට කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව ;

  • ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 241/10 (47.1)

ශෙනාල් සමරතුංග 74, චමත් චාතුර්ය 46, සනිතු අමරසිංහ 5/43

  • වෙස්ලි විද්‍යාලය – 222/10 (47.4)

ලිනාල් සුභසිංහ 56, විහාර අත්තනායක 3/41, චමත් චාතුර්ය 2/48

  • තරගයේ හොඳම පන්දු රකින්නා – රුක්ශාන් තරංග ( වෙස්ලි විද්‍යාලය )
  • තරගයේ හොඳම පන්දු යවන්නා – සනිතු අමරසිංහ ( වෙස්ලි විද්‍යාලය )
  • තරගයේ හොඳම පිතිකරු – ලිනාල් සුභසිංහ ( වෙස්ලි විද්‍යාලය )
  • තරගයේ වීරයා – ශෙනාල් සමරතුංග ( ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය )

පාසල් මහා ක්‍රිකට් තරග පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<