තියුණු ටෙස්ට් තරගයක අසිරිය සමඟින් සුලෝහිත සංග්‍රාමය නිමා වෙයි!

116 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය

430

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 116 වැනි වරට පැවැත්වුණු කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ වැඩි ගෞරව ධර්මරාජ විද්‍යාලයට දිනා දෙමින් තරගය ජය පරාජයෙන් තොරව අද (25) නිමාව දුටුවා.

ඊයේ දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිමේ එක් පන්දුවාරයක් පමණක් ක්‍රීඩා කරමින් ලකුණු නොලබා සිටි ධර්මරාජ ඉනිමට අද දිනයේ ලකුණු එක් කර ගැනීම ආරම්භ කළ නමුත් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 12ක් වන විට දවා ගැනීමට කිංග්ස්වුඩ් ක්‍රීඩක අබ්දුල් හකීම් විසින් සමත් වුනා. ඉන්පසුවත් ධර්මරාජයට දීර්ඝ සබඳතා පවත්වා ගැනීමට කිංග්ස්වුඩ් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත් ධර්මරාජ පිතිකරුවන් ද සියල්ලන් ම පාහේ සිය උපරිම උත්සාහය දරමින් පිතිකරණයේ යෙදෙමින් පළමු ඉනිමේ ඔවුන් ලද ලකුණු 18ක පසු බෑම මග හරවා ගැනීමට සටන් කළා.

ඒ අනුව පන්දුවාර 55ක් සහ පන්දු 4ක් පිතිකරණයේ යෙදීමෙන් අනතුරුව කඩුලු 7ක් දැවී ලකුණු 213ක් ලබා ගැනීමෙන් පසු සිය දෙවැනි ඉනිම අත්හිටුවා කිංග්ස්වුඩ් කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දීමට ඔවුන් තීරණය කළේ දිනය අවසානයේ තීරණයක් සහිත තරගයක් ප්‍රේක්ෂකයින් හට දැක බලා ගැනීමට ඉඩ සැලැස්වීමේ අරමුණෙනුයි.

මෙහි දී ධර්මරාජ ඉනිම වෙනුවෙන් පුලිඳු පෙරේරා ලකුණු 32ක්, ඔනජිත් ද සිල්වා ලකුණු 28ක්, නායක තිසරු වන්නිනායක විසින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වූ අතර, පන්දු 97ක දී හතරේ පහර 10ක් එල්ල කරමින් නිසල අබේරත්න විසින් නොදැවී ලබා ගත් ලකුණු 72 තරගයේ විශිෂ්ටතම ඉනිමක් බව සැකයකින් තොරවම සඳහන් කළ හැකියි.

එමෙන්ම නැවතත් කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ නායක අමේෂ් රූපසිංහ විසින් ධර්මරාජ ඉනිමේ කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඒ අනුව ඔහු මෙම තරගයේ දී කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 196ක ඉලක්කයක් කිංග්ස්වුඩ් විදුහලට ලැබුණු අතර, සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කිංග්ස්වුඩ් ඉනිමේ පළමු කඩුලු 2ම ලකුණු 5ක් තුල බිඳ හෙළීමට පුලිඳු පෙරේරා විසින් සමත් වුනා.

නමුත් ඉන් පසුව ආදිල් ෂෙරිෆ් සමඟින් පිටියේ එක් වූ කවිජ ගමගේ විසින් කිංග්ස්වුඩ් ඉනිමට ජයග්‍රහණයේ බලාපොරොත්තු විවර කර දීමට සමත් වෙමින් ලකුණු 82ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

නමුත් නැවතත් ධර්මරාජය වෙනුවෙන් ක්‍රියාත්මක වූ පිලිඳු පෙරේරා විසින් ෂෙරිෆ් ව දවා ගනිමින් තරගය දෙපිළටම විවෘත කිරීමට සමත් වුනා.

ඉන්පසුව කිංග්ස්වුඩ් කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය ලකුණු එකින් එක රැස් කරද්දී, ධර්මරාජය ද සිය ජයග්‍රහණය වෙනුවෙන් කඩුලු එකින් එක බිඳ හෙළීමට පටන් ගත්තා.

කෙසේ හෝ දිනයේ අවසන් සහ කිංග්ස්වුඩ් ඉනිමේ 45 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන විට කිංග්ස්වුඩ් විදුහලට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 6කින් ලකුණු 43ක් ලබා ගත යුතුව තිබුණා. නමුත් ධර්මරාජ කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමට ඉතිරිව තිබුණේ කඩුලු දෙකක් පමණයි.

තරගයේ සාර්ථකම පන්දු යන්නා ලෙස සැලකිය හැකි පුලිඳු පෙරේරා විසින් තර්ජනාත්මක පන්දුවාරයක් යොමු කිරීමට එහි දී සමත් වූ නමුත්, ඔහු දවා ගැනීමට සමත් වුනේ එක් කඩුල්ලක් පමණයි. ඒ අනුව තරගය නිමා වෙද්දී කිංග්ස්වුඩ් දෙවැනි ඉනිම කඩුලු 9කට ලකුණු 153ක් ලෙස සටහන් වී තිබුණා.

තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමට ලබා දීමට කිංග්ස්වුඩ් පිතිකරු කවිජ ගමගේ විසින් විශිෂ්ට උත්සාහයක් දැරූ අතර ඔහු විසින් පන්දු 92කින් ලකුණු 66ක් ලබා ගත්තේ සිය ඉනිම හතරේ පහර 9කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් කර ගනිමිනුයි.

එමෙන්ම පන්දු යැවීමෙන් තරගය පුරාවටම කිංග්ස්වුඩ් විද්‍යාලයට විශාලතම තර්ජනය එල්ල කළ පුලිඳු පෙරේරා කිංග්ස්වුඩ් දෙවැනි ඉනිමේ කඩුලු 5ක් සමගින් සමස්ත තරගයේ කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව 116 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් ටෙස්ට් ක්‍රිකට් තරගයක් සතු විය යුතු උද්වේගකර ස්වභාවය තරගය ආරම්භයේ පටන්ම පවත්වා ගැනීම වෙනුවෙන් දෙපිළටම ගෞරවය පුද කළ යුතුයි.

  • ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉනිම 114/10 (39) – ඉසුරු පන්නල 25, මලීෂ රාජකරුණා 14 , අමේෂ් රූපසිංහ 3/30, කෙනුල පිහිලියන්ග 3/19
  • කිංග්ස්වුඩ් විද්‍යාලයේ පළමු ඉනිම 132/10 (51) – අමේෂ් රූපසිංහ 67, අබ්දුල් හකාම් 28 , පුලිඳු පෙරේරා 4/44, කළණ හේරත් 1/5
  • ධර්මරාජ විද්‍යාලයේ දෙවැනි ඉනිම 231/7 (55.4) – නිසල අබේරත්න 72, පුලිඳු පෙරේරා 32 , අමේෂ් රූපසිංහ 4/69 , අබ්දුල් හකීම් 1/24
  • කිංග්ස්වුඩ් විද්‍යාලයේ දෙවැනි ඉනිම 153/9 (45) – කවිජ ගමගේ 66, ආදිල් ෂෙරිෆ් 36, පුලිඳු පෙරේරා 5/56, නිසල අබේරත්න 3/27

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

  • තරගයේ හොඳම පන්දු යවන්නා – පුලිඳු පෙරේරා (ධර්මරාජ විද්‍යාලය)
  • තරගයේ හොඳම පන්දු රකින්නා – ඉසුරු පන්නල (ධර්මරාජ විද්‍යාලය)
  • තරගයේ හොඳම පිතිකරු – අමේෂ් රූපසිංහ (කිංග්ස්වුඩ් විද්‍යාලය)
  • තරගයේ වීරයා – නිසල අබේරත්න (ධර්මරාජ විද්‍යාලය)

පාසල් මහා ක්‍රිකට් තරග පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<