පාකිස්තානය පැරදවූ ඇෆ්ගනිස්ථානයට ඉතිහාසගත ජයක්

348

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පාකිස්තානය පරදවා පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පසුගිය දා සමත් වුනා.

කණ්ඩායම් නායක Babar Azam ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම නොමැතිව පාකිස්තානය තරගයට පිවිසි අතර ඇෆ්ගනිස්ථාන පන්දු යැවීම හමුවේ පාකිස්තාන ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 92ක් පමණයි.

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 45ක් ලබා සිටියත්, තරගය පන්දුවාර දෙකක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වුනා.

“මෙම ජයග්‍රහණය ලබා ගැනීම ලැබීම විශාල සතුටක්. අපි ගොඩක් වෙලාවට ඔවුන්ට පරාජය වුනේ සුළු පරතරයකින්. ඇෆ්ගනිස්ථාන ධජය යටතේ ක්‍රීඩා කරලා ජයග්‍රහණ ලබා ගැනීමට ලැබීම විශාල ගෞරවයක්,” යැයි ඇෆ්ගනිස්ථාන නායක Rashid Khan ප්‍රකාශ කළා.

මෙම ජයත් සමඟ පාකිස්තානයට එරෙහි පළමු විස්සයි විස්ස ජයග්‍රහණය ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානයට අවස්ථාවක් හිමිව තිබෙන අතර ඉතිරි තරග දෙක ඉරිදා සහ සඳුදා පැවැත්වීමට නියමිතයි.

පිතිකරණයට තරමක් අසීරු වූ තණතීරුවේ පාකිස්තාන පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩක් නොලැබුණු අතර ඔවුන් පළමු පන්දුවාර අට තුළ කඩුලු 5ක් දැවී රැස් කළේ ලකුණු 45ක් පමණයි.

පාකිස්තානය එක් අවස්ථාවක සිය අඩුම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාව වූ 74 සීමාව පසු කිරීම ද අවිනිශ්විතව තිබුනත්, Imad Wasim රැස් කළ ලකුණු 18 සමඟ එම සීමාව පසු කිරීමට ඔවුන්ට හැකි වුනා.

“තරුණ ක්‍රීඩකයින් දෙගිඩියාවෙන් ඉද්දී ගොඩක් වෙලාවට මේක වෙන්න පුළුවන්. නමුත් අපි ඔවුන්ට තවත් අවස්ථාව ලබා දෙන්න ඕන. වෘත්තීය ක්‍රීඩකයින් විදියට අපිට පරාජයට තණතීරුව හේතුවක් කර ගන්න බැහැ. අපි මේ පරාජයෙන් ඉගෙන ගන්න ඕන,” යැයි පාකිස්තාන වැඩ බලන නායක Shadab Khan ප්‍රකාශ කළා.

ලකුණු 93ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසියත් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් පළමු කඩුලු 4 ලකුණු 45ක් තුළ දවා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයින්ට හැකි වුනා.

නමුත් සිය අත්දැකීම් වලින් උපරිම ප්‍රයෝජන ගත් Mohammad Nabi නොදැවී ලබා ගත් ලකුණු 38 සමඟ පන්දුවාර දෙකක් ඉතිරිව තිබිය දී  ජයග්‍රාහී සීමාව පසු කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින්ට හැකි වුනා.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<