දිවයිනේ ප්‍රදේශ රැසක ඇරඹී මහා සංග්‍රාමවල පළමු දිනය

469

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග පිටියට කාර්ය බහුල සති අන්තයක් උදා කරමින් අද (24) දිවයිනේ විවිධ ප්‍රදේශවල දී මහා ක්‍රිකට් තරග කිහිපයක් ආරම්භ වුනා.

ඒ අතරින් වඩාත් කැපී පෙනුණේ කොළඹ ඩී. එස්. සේනානායක සහ මහානාම විද්‍යාල අතර පැවති 17 වැනි රන් සටනයි. එම තරගයේ දී ඩී. එස්. සේනානායක නායක මනුල පීරිස් තම ශතකය ලකුණු 2කින් අහිමි කර ගනිද්දී, මහානාම විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන ඉනුක කරන්නාගොඩ ලකුණු 62කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

ඩී. එස්. සේනානායක – මහානාම 17 වැනි රන් මහා සටන

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 203ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක මනුල පීරිස්. ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 98ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඉනුක කරන්නාගොඩ ලකුණු 62කට කඩුලු 5ක් දවා ගත්තා.

දිනය අවසන් වන විට මහානාම විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 120ක් ලබා සිටි අතර එම ඉනිම වෙනුවෙන් කවිඳු අමමෙත් පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබා සිටියා.

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (61.1) ගවිරු සෙන්හස් 27, මනුල පීරිස් 98, අදීශ බණඩාරනායක නොදැවී 24, දුල්නිත් සිගේරා 2/50, ඉනුක කන්නංගර 5/62, රශ්මික පෙරේරා 2/38
  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 120 (27) කවිඳු අමමෙත් නොදැවී 75, කූජන පෙරේරා 24, අංජල බණ්ඩාර නොදැවී 21, අදීශ බණ්ඩාරනායක 3/27

මලියදේව – සාන්ත ආනා 39 වැනි ඇතුගල්පුර සටන

වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මලියදේව නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ආනා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 164ක් ලබා ගනිමින් සෑහීමකට පත් වුනා.

ඉන් අනතුරුව පිටියට පිවිසි මලියදේව ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 34ක් ලබා සිටියා.

දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ මලියදේව විද්‍යාලයේ ගයන වීරසිංහ. ඔහු ලකුණු 35කට ප්‍රතිවාදී කඩුලු 6ක් බිඳ දැමුවා.

සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 164 (83.4) කුශාන් සුබසිංහ 26, මනාන් මුසම්මිල් 22, මහිම කොටුවිල 24, ආදිත්‍ය නිර්වාන් 21, ගයන වීරසිංහ 6/35, දිමත් අබේසිංහ 2/75

මලියදේව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 34 (10) පසිඳු මේනක නොදැවී 21

කෑගලු විද්‍යාලය – සාන්ත මරියා 41 වැනි රන් මහා සටන

කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත මරියා විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෑගලු විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 91ක් පමණයි.

ඊට පිළිතුරු ලෙසින් සාන්ත මරියා විද්‍යාලය දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 121ක් ලබා සිටියා.

  • කෑගලු විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 91 (31.4) කසුන් බණ්ඩාර 37, සුපුන් ලක්මාල් 3/22, චමොද් ආකාශ් 4/30, තනුජ සම්පත් 3/29
  • සාන්ත මරියා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 121 (42) සමිත සඳරුවන් 23, නවීන් තේමිය නොදැවී 26, මලීෂ ආකාශ් 21, කවිඳු ජයන්ත 2/32

සාන්ත ඇලෝසියස් සහ ප්‍රින්ස් – වංශාධිපතියන්ගේ සටන

රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ප්‍රින්ස් විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලය තම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 149ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙසින් දිනය අවසන් වන විට ප්‍රින්ස් ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 47ක් ලබා සිටියා.

  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 149 (54.3) චනුක ධනංජය 47, තුහින හඳගල 27, කල්ප බානුක 39, පසුඳු මල්ශාන් 3/32, මොහොමඩ් මින්හාජ් 3/15
  • ප්‍රින්ස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 47 (29) තේජාන් ජයරත්න නොදැවී 27

සාන්ත තෝමස් – සාන්ත සර්වේශස් 123 වැනි රුහුණු නිල් මහා සටන

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 193ක් ලබා සිටියා.

ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ ඔචින්ත චාමික. ඔහු පන්දු 231කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තා. ඊට අමතර ව පෙසඳු සංජන පන්දු 57ක දී ලකුණු 35ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා අතර 4 වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කළා.

පන්දු යැවීමේ දී තිසන් දෙව්මිත් ලකුණු 38කට කඩුලු 4ක් දවා ගත්තා.

• සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 193 (88) ඔචින්ත චාමික 79, පෙසඳු සංජන 35, සෙනුර පෙරේරා නොදැවී 18, කුශාන් විජේරාම 2/36, තිසන් දෙව්මිත් 4/38

මෙම තරග සියල්ල ම හෙට (25) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<