මූවර්ස් යෞවනයෝ U23 කුසලානය මුත්තයියා පාරට රැගෙන යයි

SLC Major Clubs U23 Cricket Tournament 2023

179

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ප්‍රමුඛ පෙළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මූවර්ස් ක්‍රීඩා සමාජය පසුගිය දා සමත් වුනා.

ඔවුන් වෙතින් අවසන් මහා තරගයේ දී පසු බැස්සේ රාගම ක්‍රිකට් සමාජයයි. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගයේ දී මූවර්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගනිමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා.

මූවර්ස් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය
1 හලාවත මේරියන්ස් මූවර්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.
2 BRC මූවර්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.
3 බ්ලූම්ෆීල්ඩ් මූවර්ස් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 71ක ජයක්.
4 කෝල්ට්ස් මූවර්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.
අවසන් පූර්ව තරගය
5 SSC මූවර්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.
අවසන් මහා තරගය
6 රාගම මූවර්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.

අවසන් මහා තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් කාසියේ වාසිය දිනා ගත් රාගම ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දුන්නා. තරමක් කඩා වැටුණ ඉනිමකින් ආරම්භය ලබා ගත්ත ද, දුලාජ් බණ්ඩාර, රනිමිත් ජයසේන සහ ශෂික දුල්ශාන් එක් ව ලබා ගත් අර්ධ ශතක හේතුවෙන් ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 293ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යවන තීසාන් විතුසාන් ලකුණු 102කට කඩුලු 5ක් දවා ගනිද්දී, ආරම්භක වේගපන්දු යවන්නා ලෙසින් කටයුතු කළ දිනුක ඩිල්ශාන් ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මූවර්ස් කණ්ඩායමේ ද ආරම්භය එතරම් සාර්ථක වූයේ නැහැ. නමුත් දෙවැනි කඩුල්ලට පිටියේ එක් වූ දිනුක ඩිල්ශාන් සහ සොහාන් ද ලිවේරා එක් ව එම කඩුල්ලට ලකුණු 112ක සබඳතාවක් එක් කළා.

නැෂනල් සුපර් ලීග් (NSL) එක්දින තරගාවලියේ ගාල්ල කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් මෙතෙක් මූවර්ස් කණ්ඩායම හා එක් නොවූ සොහාන් ද ලිවේරා අවසන් තරගය හා තම කණ්ඩායම සමඟ එක් වෙමින් පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින්  ලකුණු 72ක් ලබා ගත්තා.

අනතුරුව ජනිශ්ක පෙරේරා සහ නායක මොහොමඩ් ශමාස් ද අර්ධ ශතක ඉනිම් ගොඩ නගමින් මූවර්ස් කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කළ ද, මැදපෙළත් පසුපෙළත් විනාශ කර දැමීම රාගම පන්දු යවන්නෝ සමත් වුනා.

ලකුණු 15ක් තුළ මූවර්ස් කණ්ඩායමේ කඩුලු 5ක් දවා ගත් රාගම ක්‍රීඩකයෝ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට පැමිණීමට සමත් වුනා. මේ අතර 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 15ක සබඳතාවක් එක් කිරීමට ශාකූර් රශ්නි සහ සිසිත මදනායක සමත් වුනා. එම කඩුල්ල බිඳ වැටීමත් සමඟින්  රාගම කණ්ඩායමට ජයග්‍රහණය සඳහා එක් කඩුල්ලක් අවශ්‍ය වූ අතර මූවර්ස් කණ්ඩායමට අවශ්‍ය වූයේ ලකුණු 2ක් පමණයි. එම අවශ්‍යතාව හයේ පහරකින් සපුරා ගැනීමට ශාකූර් රශ්නි සමත් වුනා.

මූවර්ස් ඉනිම ඒ තරමින් පාලනය කිරීමේ දී රාගම නායක ඩෙලෝන් පීරිස් ලකුණු 102කට කඩුලු 5ක් දවා ගත් අතර ශෂික දුල්ශාන් ලකුණු 92කට කඩුලු 3ක් දවා ගත්තා.

අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව

  • රාගම ක්‍රිකට් සමාජය – සියලුම දෙනා දැවී 293 (101.5) දුලාජ් බණ්ඩාර 73, රන්මිත් ජයසේන 72, ඩෙලෝන් පීරිස් 27, ශෂික දුල්ශාන් 52, දිනුක ඩිල්ශාන් 2/19, තීසාන් විතුසාන් 5/102
  • මූවර්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී 298 (62.5) දිනුක ඩිල්ශාන් 44, සොහාන් ද ලිවේරා 72, ජනිශ්ක පෙරේරා 72, මොහොමඩ් ශමාස් 73, ශෂික දුල්ශාන් 3/92, ඩෙලෝන් පීරිස් 5/102

මූවර්ස් ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක්.

මූවර්ස් කණ්ඩායමේ පිතිකරු දක්ෂතා
Player Match Inns NO Runs HS Avg 100 50
1 ජනිශ්ක පෙරේරා 6 8 1 338 72 48.28 0 3
2 දිනුක ඩිල්ශාන් 6 8 0 292 78 36.5 0 3
3 මොහොමඩ් ශමාෂ් 4 5 0 224 78 44.8 0 2
4 ඉම්තියාස් ස්ලාසා 5 6 2 192 103* 38.4 1 0
5 ඔමේෂ් මෙන්ඩිස් 5 5 0 174 72 44.8 0 2

මූවර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගිය ගමනේ දී වඩාත් දක්ෂතා දැක්වූ පිතිකරුවා වූයේ තවමත් 21 වැනි වියේ පසුවෙන ජනිශ්ක පෙරේරා. මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ජනිශ්ක මෙම තරගාවලියේ දී තරග 6ක ඉනිම් 8කට සහභාගී වෙමින් ලකුණු 338ක් ලබා ගන්නවා.

ඊට අවසන් තරගයේ දී පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින්  ලබා ගත් ලකුණු 72කට අමතර ව බ්ලූම්ෆීල්ඩ් සහ SSC කණ්ඩායම්වලට එරෙහිව ද අර්ධ ශතක 2ක් වාර්තා කරනවා.

ඊට අමතරව කණ්ඩායමේ උපනායකයා ලෙසින් කටයුතු කරන දිනුක ඩිල්ශාන් මෙම ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන් කර ගන්නේ තරග 6ක ඉනිම් 8ක දී ලකුණු 292ක් ලබා ගනිමින්. ඔහු අවසන් තරගයේ දී පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින්  ලකුණු 44ක් ලබා ගන්නා ලද අතර ඊට පෙර හලාවත මේරියන්ස්, බ්ලූම්ෆිල්ඩ් සහ කෝල්ට්ස් කණ්ඩායම්වලට එරෙහිව අර්ධ ශතක වාර්තා කරනවා.

මූවර්ස් පිතිකරු ලැයිස්තුවේ තෙවැනි අසුන වෙන් කර ගන්නේ නායක මොහොමඩ් ශමාස්. ඔහු අවසන් මහා තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණ අතර එම තරගයේ දී පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින්  ලකුණු 73ක් ලබා ගත්තා.

ඊට පෙර ද මෙම තරගාවලිය පුරාවට පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක්වූ ශමාස් තරග 5කට සහභාගී වෙමින් ඉනිම් 6ක දී ලකුණු 224ක් ලබා ගන්නවා.

ශමාස් 2020 දකුණු අප්‍රිකාවේ දී පැවති වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ද එක් ව සිටි අතර 2021 වසරේ දී පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ දී Galle Gladiators කණ්ඩායම ද නියෝජනය කළා.

ඊට අමතර ව මේ දිනවල පැවැත්වෙන් නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (NSL) දී ගාල්ල කණ්ඩායම හා එක් ව සිටින ඔහු තමන් මුහුණ දුන් පළමු තරගයේ දී ම කොළඹ කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කිරීමට ද සමත් වුනා.

මූවර්ස් ඉනිමේ තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූයේ ඉම්තියාස් ස්ලාසා. ඔහු මෙම තරගාවලියේ දී මූවර්ස් වෙනුවෙන් වාර්තා කරන ලද එක ම ශතකයේ හිමිකාරයා ද වෙනවා. BRC කණ්ඩායමට එරෙහිව පන්දු 95කට මුහුණ දෙමින් නොදැවී ලබා ගත් ලකුණු 103ත් සමඟින් ඔහු තරගාවලියේ ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 192ක්.

ඊට අමතර ව පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ස්ලාසා දකුණතින් පිට දඟපන්දු යවමින් ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 24ක්.

ඊට අමතර ව මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය නියෝජනය කරන තවමත් 19 වැනි වියේ පසුවෙන ඔමේෂ් මෙන්ඩිස් මූවර්ස් කණ්ඩායම හා එක් වෙමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 174ක්. ඊට හලාවත මේරියන්ස් සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම්වලට එරෙහිව ලබා ගත් අර්ධ ශතක 2ක් ද ඇතුළත්.

මොවුන්ට අමතර ව ශාකූර් රශ්නි තරග 6ක ඉනිම් 6ක දී BRC කණ්ඩායමට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 163ක් ද, රිසිර වීරසූරිය තරග 6ක ඉනිම් 7ක දී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයක් ද සමඟින්  ලකුණු 152ක් ද, රසීන් රම්ලාන් තරග 5ක ඉනිම් 6ක දී ලකුණු 112ක් ද සහ යසිත සමරරත්න තරග 2ක ඉනිම් 3ක දී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද අර්ධ ශතකයක් ද සමඟින්  ලකුණු 72ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක්වූවන්ගේ ලැයිස්තුවට එක් වුනා.

පන්දු යවන්නන්ගේ දක්ෂතා
Player Match Inns Balls Runs Wkts BBI BBM 4s 5s
1 තීසාන් විතුසාන් 6 7 929 440 34 7/27 11/89 2 3
2 ඉම්තියාස් ස්ලාසා 6 8 821 562 24 6/85 6/93 0 2
3 දිනුක ඩිල්ශාන් 6 8 367 166 6 2/19 2/19 0 0
4 ශාකූර් රශ්නි 3 3 82 36 4 2/07 2/07 0 0
5 දේශාන් ගමගේ 3 5 120 81 4 3/39 3/54 0 0

මූවර්ස් කණ්ඩායමේ වඩාත් දක්ෂතා දැක්වූ පන්දු යවන්නා වූයේ වමතින් පා දඟපන්දු යැවූ තීසාන් විතුසාන්. ඔහු තරගාවලිය නිමා කරන්නේ තරග 6ක ඉනිම් 7ක දී පන්දු යවමින් කඩුලු 34ක් ලබා ගනිමින්.

ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ලකුණු 27කට දවා ගත් කඩුලු 7යි. එම තරගයේ දී ම දෙවැනි ඉනිමේ දී ද ලකුණු 62කට කඩුලු 4ක් දවා ගන්නා විතුසාන් එම තරගයේ දී ලකුණු 89කට කඩුලු 11ක් දවා ගනිමින් තරගයක හොඳම පන්දු යැවීම ද වාර්තා කළා.

ඊට අමතර ව ඔහු කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 53කට කඩුලු 6ක් ද සහ අවසන් මහා තරගයේ දී ලකුණු 102කට කඩුලු 5ක් ද දවා ගැනීමට ඔහු සමත් වෙනවා. මෙම දක්ෂතාත් සමඟින් විතුසාන් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ද නම් කෙරෙනවා.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 21 හැවිරිදි විතුසාන් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දී Jaffna Kings කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්. එමෙන් ම මූවර්ස් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරග 8කට මුහුණ දී ඇති විතුසාන් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 39ක්.

මූවර්ස් කණ්ඩායමේ අනෙකුත් කඩුලු ලැබූවන් අතරින්  දෙවැනි අසුන කඩුලු 24ක් ලබා ගත් ඉම්තියාස් ස්ලාසා හිමි ගන්නා අතර ඊට පසුව ලැයිස්තුගත වෙන්නේ කඩුලු 6ක් දවා ගත් දිනුක ඩිල්ශාන්. ඉන් අනතුරුව කඩුලු 4 බැගින් දවා ගත් ශාකූර් රශ්නි, දේශාන් ගමගේ සහ ජනිශ්ක පෙරේරා මෙම ලැයිස්තුවට එක් වෙනවා.

මූවර්ස් ක්‍රීඩා සමාජ ක්‍රිකට් සංචිතය: මොහොමඩ් ශමාෂ් (නායක) දිනුක ඩිල්ශාන්, ඔමේෂ් මෙන්ඩිස්, ඉම්තියාස් ස්ලාෂා, ජනිශ්ක පෙරේරා, රිසිර වීරසූරිය, ශාකූර් රෂ්නි, තීසාන් විතුසාන්, රෂීන් රම්ලාන්, දේශාන් ගමගේ, යසිත අයාශාන්, සිසිත මදනායක, සොහාන් ද ලිවේරා, රංජිත්කුමාර් නිව්ටන්, පැතුම් මලිත්, උපේන්ද්‍ර වර්ණකුලසූරිය, අශේන් සල්ගාදු, අබ්දුල් මජීඩ්, මොහොමඩ් යුසුෆ්, නවෝද්‍ය විජයකුමාර, ශවීන් හත්වැල්ල, ජේශන් චාල්ස්, තිසර සචින්තන, පුලිඳු පෙරේරා.

නිලධාරීන්: මොහොමඩ් නව්රූස් (කළමණාකරු) චාමර කපුගෙදර (ප්‍රධාන පුහුණුකරු) ඩී.එච්. මොහොමඩ් (සහාය පුහුණුකරු)  අයන සිරිවර්ධන (සහාය පුහුණුකරු) කවිඳු කුලසේකර (සහාය පුහුණුකරු) ෆර්නාස් නවාස් (Strengthen Coach) ශාලික රාජපක්ෂ (සම්භාහක)

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ප්‍රමුඛ පෙළ  අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගත් මූවර්ස් ක්‍රීඩා සමාජයට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<