වේගවත්ම ක්‍රීඩකයා චමෝද්: ක්‍රීඩිකාව රුමේෂිකා

ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලිය 2023

625

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය (කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ) සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පැවැත්වෙන පළමු මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය අද (21) අවසන් වුනා.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ (20) ආරම්භ වූ මෙම තරගාවලියේ පළමු දිනයේ දී කනිෂ්ඨ වාර්තාවක් සහ ජාතික වාර්තාවක් බිඳ වැටුණා.

තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද තරගාවලියේ වේගවත් ඉසව් වන මීටර් 100 සහ මීටර් 400 අවසන් තරග පැවැත්වුනා.

කාන්තා මීටර් 100 ඉසව්වේ කලකට පසු නැවත ආධිපත්‍ය සියතට ගැනීමට රුමේෂිකා රත්නායකට (තත්පර 12.04) හැකි වූ අතර එම තරගයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට Safiya Yamicට (තත්පර 12.25) හැකි වුනා.

දේශීය පිටියේ මීටර් 100 ආධිපත්‍ය නැවත රඳවා ගනිමින් පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.37ක කාලයකින් අවසන් කර ජයග්‍රහණය කිරීමට චමෝද් යෝධසිංහට හැකි වූ අතර තත්පර 10.59ක කාලයකින් තරගය අවසන් කළ එස්. ධර්මකීර්ති එහි දෙවැනි ස්ථානය දිනා ගත්තා.

තරගාවලිය ආරම්භයේ සිටම පෙන්නුම් කළ පෙරළිකාරී දස්කම් නැවත ප්‍රදර්ශනය කරමින් කාන්තා මීටර් 400 ඉසව්ව ජය ගැනීමට තරුෂි කරුණාරත්නට (තත්පර 53.41) හැකි වුනා.

පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 46.27ක කාලයකින් අවසන් කළ සිය ආධිපත්‍ය නැවත ප්‍රදර්ශනය කිරීමට ජාතික ශූර කාලිංග කුමාරගේට හැකි වූ අතර එන්. රාජකරුණා (තත්පර 46.49) දෙවැනි ස්ථානය දිනා ගත්තා.

දිනය ආරම්භ කරමින් පැවති පිරිමි මීටර් 5000 ඉසව්ව මිනිත්තු 14:46.66ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට එම්. සමරකෝන්ට හැකි වූ අතර කාන්තා තරගය ජයග්‍රහණය කිරීමට චාමිනී හේරත්ට හැකි වුනේ මිනිත්තු 17:32.08ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

කාන්තා මීටර් 1500 තරගයේ සුපුරුදු ආධිපත්‍ය රඳවා ගනිමින් ජයග්‍රහණය කිරීමට ගයන්තිකා අබේරත්නට (මිනිත්තු 4:12.53) හැකි වූ අතර එහි දෙවැනි ස්ථානය නිලානි රත්නායක (මිනිත්තු 4:15.30) දිනා ගත්තා.

1st Selection Trial Results (20,21.03.2023) (1)

ක්‍රීඩකයින් 20 දෙනෙකු සහභාගී වූ පිරිමි මීටර් 1500 තරගය මිනිත්තු 3:48.62ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට ඩී. එච්. කුමාරට හැකි වුනා. කාන්තා උස පැනීම තරගයේ ජයග්‍රහණය හිමි වුනේ මීටර් 1.60ක දස්කමක් දැක්වූ ටී. දිනුෂිකා හටයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<