HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

2046 ආදරවන්තයන්ගේ දා මිහිකත සිපගන්න ග්‍රහකයක් එනවා!

පෘථිවියේ හැපෙන්න අලුත් ග්‍රහකයක් එනවා! ඒ නිසා 2046 වැලන්ටයින් දිනයට සැලසුම් කිසිවක් කරන්නට එපා කියා ඇමරිකන් නාසා ආයතනය කියනවා. ඔවුන් ඒ ග්‍රහකයේ ප්‍රමාණයත්, එන එල්ලයත්, වේගයත් නිර්ණය කළත් එය පෘථිවියේ වැටෙන්නේ කොතැනටදැයි කියන්න තවමත් ඔවුන්ට හැකියාවක් නැහැ. ඔවුන් කියන විදියට ඒ ග්‍රහකය ඉතාලියේ පීසාහි ඇළවුණු කුලුන තරම් ඇති. 2023 DW කියා නම් කර ඇති මේ ග්‍රහකය දිගින් අඩි 165ක්. එය 2046 පෙබරවාරි 14 වැනිදා පෘථිවිය හා ගැටෙන්නට ඇති ඉඩකඩ ඇත්තේ 560කට එකක් වශයෙනුයි. ඔවුන් විශ්වාස කරන විධියට එය වැටෙන්නට ඉඩ ඇත්තේ ලොස් ඇන්ජලීස් නගරයට හෝ වොෂින්ටන් ඩීසීවලට හෝ හවායි දූපතටයි. නාසා ආයතනය මේ අනතුරුදායක ග්‍රහකය පිළිබඳව හෙළිදරවු කළේ පසුගිය අඟහරුවාදායි. 

පෘථිවියේ හැපෙතැයි විශ්වාස කෙරෙන 2023 DW ග්‍රහකයේ ගමන් මඟ. එය පතිත වෙතැයි සැලකෙන තැන් දැක්වෙන චිත්‍ර සටහනක්.

මේ 2023 DW ග්‍රහකය වැටෙතැයි විශ්වාස කරන කලාපය වැටී ඇත්තේ ඉන්දියන් හා පැසිපික් සාගරය හරහායි. එය පෘථිවිය හා හැපෙන විට එය මීට වසර 144කට පෙර රුසියන් සයිබීරියාවේ තුන්ගුස්කාවට පතිතවුණු අඩි 160ක් දිග උල්කාපාතය ඇති කළ මැගටන් 12කට සමාන පසුගියදා කම්පනයක් ඇති කරාවි. එහි දී ඇති වූ න්‍යෂ්ටික පිපිරුමෙන් මිලියන 80ක් පමණ ගස්වලින් සමන්විත විශාල බිම් ප්‍රදේශයක වනාන්තරයක් පොළොවට සමතලා වුණා. 

මේ ග්‍රහකය පෘථිවියෙහි හැපෙන්නට ඇති සම්භාවිතාව ටිකෙන් ටික වෙනස් වෙමින් යනවා. ඒ එක එක තරකා විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් අනුවයි. මාර්තු 1 වැනිදා එක් ඉතාලි තාරකා විද්‍යාඥයකු කීවේ එය පෘථිවියෙහි ගැටෙන්නට ඇති සම්භාවිතාව 12,000කට එකක් ලෙසයි. එය පසුව 710ට එකක් ලෙස වෙනස් වුණා. දැන් කියන්නේ ඒ සම්භාවිතාව 560කට එකක් ඇති බවයි. 

2023 DW ග්‍රහකය අභ්‍යවකාශයේ යද්දී පසුගිය පෙබරවාර 28 වැනිදා නාසා ආයතනය ලබා ගත් මුල්ම ඡායාරූපය.

2023 මාර්තු 4 වැනිදා හා 7 වැනිදා අතර කාලයෙහි එහි කක්ෂය නිරීක්ෂණය කළ විද්‍යාඥයන් 62 දෙනකුගේ නිරීක්ෂණ අනුව හෙළි වූයේ, එය කක්ෂයක් සම්පූර්ණ කිරීමට දින 6.8487ක් ගත වන බවයි. 2023 DW ග්‍රහකය නාසා ආයතනයේ අවදානම් ලැයිස්තුවේ ටොරිනා මානයේ අංක 1හි පසු වෙතත්, ඒ ගැන මහජනයා අනියත බියක් ඇති කරගත යුත් නැතැයි නාසා ආයතනය කියනවා. 

2013 පෙබරවාරි 15 වැනිදා රුසියාවේ චෙල්යාබින්ස්ක්වලට 
ග්‍රාහකය කඩා වැටුණු අවස්ථාව.

මේ 2023 DW ග්‍රහකයේ කක්ෂගත වෙනස්වීම් නිරන්තරව අවේක්ෂණය කරනු ලබනු අතර ඒ පිළිබඳ නවතම දත්ත ලැබුණු විට ඒවා ප්‍රසිද්ධියට පත් කරන බව නාසා ආයතනය පවසනවා. 2023 DW ග්‍රහකය ටොරිනා මානයේ තවමත් අංක එකෙහි පසුවන අතර එය 10 දක්වා ගිය විට ‘ස්ථිරවම ගැටෙන’ තත්වයක් ඇති වන බව කිවහැකි යැයි නාසා ආයතනය තවදුරටත් සඳහන් කරනවා. 

ස්ථිරවම ගැටෙන තත්වයක් ඇති වූ විට එය බිය විය යුතු කරුණක් වනු ඇතැයි ද එවැනි ගැටීමකින් ගෝලීය කාලගුණික ව්‍යසනයක් ඇති වීමේ හැකියාවක් පවතින බවත්, එයින් අනාගත ශිෂ්ටාචාරයක් වුවත් විනාශ වී යා හැකි බවත් නාසා ආයතනයේ මතයයි. ‘ඒත් එවැන්නක් සිදු වන්නේ වසර ලක්ෂයකට වරක් හෝ ඊටත් වැඩි කාලයකට වතාවක් විතරයි.’ නාසා ආයතනය කියනවා. 

නාසා ආයතනය වැඩිදුරටත් කියන්නේ 2023 DW ග්‍රහකය අංක 3ට ළඟා වූ විට අවදානම් සංඥා නිකුත් කරන බවයි. 

නාසා සාර්ථකව DART මෙහෙයුම මගින් 
කුඩා ග්‍රහකයක් විනාශ කළ අයුරු.

මෙවැනි ග්‍රහකයක් අවසාන වරට වැටුණේ 2013 පෙබරවාරි 15 වැනිදායි. එහි විස්තර එවේලේ ‘මල් කැකුළු’වලින් අපි ඔබ වෙත ගෙනාවා. අඩි 60ක් පමණ දිගින් යුත් ඒ ග්‍රහකය පෘථිවියේ හැපීමේ දී ටීඑන්ටී ටොන් පන් ලක්ෂයක පිපිරීමකට සමාන බලපෑමක් ඇති වූ අතර ඉන් පැතිරී ගිය කම්පන පෘථිවිගෝලය වටා ගිය බව සඳහන් වෙනවා. එයින් 1,600ක් පමණ දෙනා තුවාල ලැබුවා. මීළඟට එන 2023 DW ග්‍රහකය ඊට වඩා දෙගුණයක් විශාල එකක්. 

නාසා ආයතනය පසුගියදා ස්ථිරවම පෙන්වා දුන්නා, තමන්ට එවැනි ග්‍රහකයක ගමන් මඟ වෙනස් කර වෙනතකට හරවා යැවිය හැකි බව. 2021 දී නාසා ආයතනය ආරම්භ කළ DART මෙහෙයුම මගින් තමයි, ඔවුන් පෙන්වා දුන්නේ තමන්ට සාර්ථකව එවැනි අනතුරුදායක ග්‍රහකයක් හරවා යැවිය හැකි බව. 2022 සැප්තැම්බර් 26 වැනිදා සිදු කළ ඒ DART- Double Asteroid Redirection Test (ද්වි ග්‍රාහක හරවා යැවීමේ පරීක්ෂණය) මෙහෙයුම මිනිසා විසින් උඩුගුවනට යවන ලද ප්‍රථම ආරක්ෂක මෙහෙයුමයි. 

එය නාසා විසින් හඳුන්වනු ලැබුවේ ‘ආමගෙඩෝන් මෝමන්ට්’ කියායි. අත්හදා බැලීමට කළ මුල් මෙහෙයුමට යොදා ගත්තේ ඩිඩයිමොස් (Didymos) ග්‍රහකය වටා යමින් තිබුණු ‘ඩිමෝෆස්’ (Dimorphos) නම් කුඩා චන්ද්‍රයායි. පැයට හැතැප්ම 15,000ක වේගයෙන් උඩුගුවනට ගොස් ‘ඩිමෝෆස්’ නම් ඒ කුඩා චන්ද්‍රයා එහි කක්ෂයෙන් ඉවතට තල්ලු කළ ආකාරය 2022 සැප්තැම්බර් 26 වැනිදා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් පොළොවේ සිට ටෙලිවිශනයෙන් නැරඹුවා. 

එදා ඒ මෙහෙයුම අතිශයින් ම සාර්ථක වූ බව සිහිපත් කරන නාසා ආයතනය පසුගිය 2023 මාර්තු 1 වැනිදා කීවේ එවැන්නක් ඔවුන්ට යළිත් සිදු කළ හැකි බවයි. එදා නාසා ආයතනය යැවූ සාමාන්‍ය ශීතකරණයක් තරම් විශාල චන්ද්‍රිකාවක් යවමින් අඩි 520ක් පළල ඒ කුඩා ‘ඩිමෝෆස්’ චන්ද්‍රිකාව ඉවතට තල්ලු කර එහි කක්ෂයෙන් මිනිත්තු 33ක් කපා හරින්නට හැකි වීම ඇත්තෙන්ම විස්මයජනක සංසිද්ධියක්. 

ඇමරිකාවේ උතුරු ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කියන්නේ, ‘ග්‍රහලෝක ආරක්ෂණ කටයුතුවලට චාලක ශක්තිය භාවිත කළ හැකි බව DART මෙහෙයුම මගින් දැනටමත් සාර්ථකව පෙන්වා දී තියෙනවා. අධි වේගයෙන් අහසේ ගමන් කරන අභ්‍යවකාශ යානයක් (චන්ද්‍රිකාවක්) යොදා ගෙන එය හැප්පීමෙන් ග්‍රහකයක ගමන් මග වෙනස් කළ හැකි බව ඔප්පු කළ යුතුව තිබෙනවා.’ කියායි. 

- පර්සි ජයමාන්න

 

Post a Comment

0 Comments