HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද ඔස්කා සම්මාන රාත්‍රියයි! මෙන්න ඒ සම්මාන ගැන ඔබ නොදත් දේ!

අද ඔස්කා සම්මාන පිදෙන රාත්‍රියයි! ලෝක සිනමාවේ ඔස්කා සම්මානවලට ලැබෙන්නේ ඉතා සුවිශේෂී තැනක්. ලොව පුරා චිත්‍රපට කර්මාන්තයේ නිරතව සිටින සෑම කෙනෙකු මෙන්ම සිනමාලෝලීන්ද ලොකු අවධානයක් දෙන මෙම සම්මාන උළෙල 1929 සිට මේ දක්වා නොකඩවා පවත්වනවා. මේ සම්මාන පිරිනමන චලනචිත්‍ර කලා හා විද්‍යා ඇකඩමිය (Academy of Motion Picture Arts and Sciences) 1927 දී පිහිටුවා ගන්නා ලද සංවිධානයක්. ‍ 

මේ ඇකඩමියෙහි සිනමාවේ විවිධ අංශ වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද කමිටු තියෙනවා. සම්මාන පිරිනැමන කමිටුව එහි ඇති කමිටු අතුරින් එකක් විතරයි. සම්මාන පිරිනමන්නට ඔවුන් තීරණය කළේ 1928 මැයි මාසයේදියි. එහිදී තෝරා ගත් අංශ 12ක් වෙනුවෙන් කුසලතා සම්මාන පිරිනමන්නට තීරණය කෙරුණා. 

ඒ සම්මාන සඳහා නාම යෝජනා කිරීම ඒ ඒ කමිටුවලින් සිදු කෙරෙන අතර අවසානයේ දී සම්මාන තෝරා ගැනීමට ඡන්දය දීම සිදු කරන්නේ ඒ ඇකඩමියේ සාමාජිකයන් විසින් පමණයි. හොඳම චිත්‍රපටයට මෙන්ම ප්‍රධාන සම්මාන සඳහා නාම යෝජනා කිරීමටත් මුළු සාමාජිකත්වයම සහභාගි වෙනවා. 

මේ ඔස්කා සම්මාන උළෙල ඇමරිකාවේ විනෝද කලා මාධ්‍යයන් සඳහා පිරිනැමෙන සම්මාන උත්සව අතරින් පැරණිතම උත්සවයයි. ඒ සම්මාන උළෙල පිළිබඳ මේ විස්මිත තොරතුරු පළවෙන්නේ එබැවිනි. 

1. මේ ඔස්කා සම්මානය ඒ නමින් හැඳින්වීමත් විස්මිත තොරතුරක්. ඇත්ත වශයෙන් නම් මේ සම්මානයේ නම කුසලතා සඳහා පිරිනැමෙන ඇකඩමි සම්මානය (Academy Award of Merit) යි. ඒත් මේ සම්මානය ඔස්කා ලෙසින් හඳුන්වන්නේ ඇයිද කියා කියන්න කවුරුත් හරියටම දන්නේ නැහැ. එත් හොලිවුඩ් පුරයේ ප්‍රචලිත ප්‍රවාදයක් තියෙනවා, මේ සම්මානයේ හැඩරුව පසු කලෙක ඇකඩමි සම්මාන උළෙලේ විධායක අධ්‍යක්ෂ වූ කලින් එහි පුස්තකාලයාධිපති වූ මාගරට් හෙරික්ගේ මාමා වූ ඔස්කාගේ රුවට සමාන වූ නිසා ඇය ඒ නම තැබූ බවයි. ඒත් නම් තැබීමේ ගෞරවය සඳහා තව දෙන්නෙක් තරඟ කරනවා. එක් කෙනෙක් බෙටී ඩේවිස් කියන ප්‍රකට හොලිවුඩ් නිළියයි. ඒ සම්මානය දුටු ගමන් ම ඇයට, පසුපස හරවා ගෙන සිටින ඇගේ සැමියා වූ හර්මන් ඔස්කා නෙල්සන්ගේ රුවට සමාන වූ නිසා, ඇය එය ඔස්කා කියා හැඳින්වූ බව කියනවා. අනික් තැනැත්තා ප්‍රකට හොලිවුඩ් ඕපාදූප තීරු රචකයෙක්. ඔහු සිඩ්නි ස්කොල්ස්කි. සිය තීරු ලිපිවලින් මුලින්ම ඔහු ඒ නමින් සම්මානය හැඳින්වු බවයි. 

ලොව ළාබාලම ඔස්කා සම්මානලාභිනිය
 - 10 හැවිරිදි ටැටම් ඕ’නීල්

2. ඔස්කා සම්මාන දිනූ ළාබාලම සාමාජිකයා ටැටම් ඕ’නීල් (Tatum O'Neal) සහාය නිළිය සම්මානය ‘පේපර් මූන්’ (Paper Moon - 1973) චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් දිනා ගන්නා විට වයස අවුරුදු 10යි. 

3. අභාවයෙන් පසු මේ සම්මානය පිරිනමා ඇත්තේ නළුවන් දෙනෙකුට විතරයි. ඒ පීටර් ෆින්ච් (‘නෙට්වර්ක්’ චිත්‍රපටය) හා හීත් ලෙජර් (‘ද ඩාක් නටියිට්’ චිත්‍රපටය) දෙදෙනාටයි. එයින් හීත් ලෙජර්ගේ සම්මානය ගත්තේ ඔහුගේ දියණිය මැටිල්ඩායි. 

4. හොඳම සිනමා නිළියට හිමි වැඩිම ඔස්කා සම්මාන ගණනකට නාම යෝජනා කරනු ලැබුවේ මෙරිල් ස්ට්‍රීප් (Meryl Streep) නිළියයි. ඒ ගණන 21ක්. එයින් හොඳම නිළිය සම්මානය තුන්වරක් විතරයි දිනා ගත්තේ. අවසාන සම්මානය දිනා ගත්තේ, ‘ද අයන් ලේඩි’ (2011) චිත්‍රපටයටයි. 

ඔස්කා සම්මාන තුනක් දිනූ මෙරිල් ස්ට්‍රීප්

5. හොඳම සිනමා නළුවාට හිමි ඔස්කා සම්මාන වැඩිම ගණනකට නාම යෝජනා කරනු ලැබුණේ ජැක් නිකල්සන්ටයි. 1969 දී ‘ඊසි රයිඩර්’ගෙන් පටන් ගෙන 12කට නම් කෙරුණා. එයින් හොඳම නළුවා සම්මානය හිමි වූයේ තුන්වරක් පමණයි. එයින් දෙවරක් ම ඔහු ඒ සම්මානය ඩැනියල් ඩේ-ලුවිස් හා වෝල්ටර් බ්‍රෙනන් හා සමග සමව දිනා ගත්තා. 

6. කැතරින් හෙප්බර්න් තමයි, හොඳම සිනමා නිළියට හිමි වැඩිම ඔස්කා සම්මාන ගණනක් දිනා ගත්තේ. එ් සම්මාන 4ක්. 

7. ඔස්කා සම්මාන ඉතිහාසයේ වැඩිම සම්මාන ගණනක් දිනා ගත් චිත්‍රපට වන්නේ බෙන්හර් (1959), ටයිටැනික් (1997) හා ද ලෝඩ් ඔෆ් ද රින්ස්: ද රිටර්න් ඔෆ් ද කිං යන ඒවායි. ඒ චිත්‍රපට සම්මාන 11ක් බැගින් දිනා ගත්තා. එහි අවසානයට නම සඳහන් වූ චිත්‍රපටය නාම යෝජනා ලද හැම අංශයකටම අයත් හොඳම සම්මාන දිනා ගත්තා. 

8. ඩයාන් කීටන් (Diane Keaton) පිට පිට දශක හතරක් තිස්සේම එකම සම්මානයක් සඳහා නම් කෙරුණු රංගන ශිල්පිනියක්. 1977 දී ඇය ‘ඇනී හෝල්’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා හොඳම නිළිය වුණා. 1981 දී ‘රෙඩ්ස්’ චිත්‍රපටය සඳහා නම් කෙරුණද සම්මානය හිමි වුණේ නෑ. වසර 15කට පසු තුන්වැනි වරට ඇය නම් කෙරුණේ ‘මර්වින්ස් රූම්’ (1996) නම් චිත්‍රපටයටයි. 2003 දී යළිත් වරක් ඇය නම් කෙරුණා ‘සම්තින්ස් ගොට්ට ගිව්’ චිත්‍රපටය වෙනුවෙන්. 

ඔස්කා සම්මාන තුනක් දිනූ ජැක් නිකල්සන්

9. ලිසා මිනෙලි තමයි, එකම ඔස්කා සම්මානලාභිඩි ගාලන්ජනිය, ඔස්කා සම්මානලාභී දෙමාපියන් සිටින. ලිසා හොඳම නිළිය වුණා, ‘කැබරේ’ (1972) චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්. ඇගේ මව වූ ජූඩී ගාලන්ඩ්ට 1939 දී ඔස්කා ගරු සම්මානයක් හිමි වුණා. ඇගේ පියා වූ වින්සන්ට් මිනෙලිට හොඳම නළුවා සම්මානය හිමි වුණා, ‘ගිගි’ (1958) චිත්‍රපටයට. 

ලිසා මිනෙලි ‘කැබරේ’ (1972)

10. හොඳම චිත්‍රපටය සඳහා ඔස්කා සම්මානය හිමි වූ එකම ‘වැඩිහිටියන්ට පමණයි’ වර්ගයට අයත් චිත්‍රපටය ‘මිඩ්නයිට් කව්බෝයි’ (1969) වෙනවා. \

11. කැත්රින් බිගලෝ (Kathryn Bigalow) හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කා සම්මානය දිනා ගත් ප්‍රථම කාන්තාවයි. ඒ සඳහා ඇය අධ්‍යක්ෂණය කළේ ‘ද හර්ට් ලොකර්’(2009) චිත්‍රපටයයි. 

12. විදේශ භාෂාවලින් නිෂ්පාදිත චිත්‍රපට අතරින් වැඩිම ඔස්කා සම්මාන ගණනක් දිනාගත්තේ ඉතාලි චිත්‍රපටයි. එය ගණනින් 10ක්. 

වටිනාම ඇඳුමින් සැරසී ජෙනිෆර් ලෝරන්ස් 2013 දී

13. කොටස් වශයෙන් තැනුනු චිත්‍රපට අතරින් එක් කොටසකට පමණක් හොඳම චිත්‍රපටයට හිමි ඔස්කා සම්මානය ලද එකම සිනමාපටය ‘ද ගෝඩ් ෆාදර් -2’ (1974) වෙනවා. 

14. හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා හා හොඳම සහය නිළිය යන සම්මාන හතරටම නිර්දේශ වී ඒවා එක විට දිනා ගත් සිනමාපටයක් ඇත්තේ නැහැ. ඒත් ඒ ජය ළඟට ම ආ එක් චිත්‍රපටයක් ලෙස 1951 දී ‘අ ස්ට්‍රීට්කාර් නේම් ඩිසයර්’ හඳුන්වන්න පුලුවන්. එහි දී මාලන් බ්‍රැන්ඩෝට හොඳම නළුවා සම්මාන ලැබුණේ නැහැ. අනිත් චිත්‍රපටය ‘නෙට් වර්ක්’ (1976) වූ අතර එහිදි නෙඩ් බියටිට හොඳම සහය නළුවා සම්මානය ලැබුණේ නැහැ. 

15. හොඳම නළුවාට හිමි ඔස්කා සම්මානය දිනා ගත් වයෝවෘද්ධම නළුවා ලෙස මෙතෙක් වාර්තා වී ඇත්තේ ඇන්තනි හොප්කින්ස් වන ඔහු එය දිනා ගත්තේ වයස අවුරුදු 83දියි. ඒ ‘ද ෆාදර්’ (2020) චිත්‍රපටයේ පියාගේ චරිතය රඟපෑම වෙනුවෙන්. 

16. ඔස්කා සම්මාන ඉතිහාසයේ සමානව ඡන්ද ලැබූ අවස්ථා ඇත්තේ හයක් පමණයි. එවිට සම්මානය ඒ අය අතර බෙදී ගියා. 1950ට පෙර ඡන්ද තුනක් ඇතුළත ලැබූ අයත් සම සම්මානයට සලකනු ලැබුවා. ඒත් දැන් කෙළින් ම ඡන්ද සමාන වුණොත් පමණයි, සම සමානය ලබා දෙන්නේ. 

වැඩිම ඔස්කා සම්මාන දිනූ වෝල්ට් ඩිස්නි

17. ඔස්කා සම්මාන ඉතිහාසයේ වැඩිම ඔස්කා සම්මාන දිනා ගෙන ඇත්තේ වෝල්ට් ඩිස්නියි. නිර්දේශ වුණු සම්මාන 59කින් ඔහු තරඟකාරී සම්මාන 22ක් දිනා ගෙන තියෙනවා. ඊට අමතරව ගෞරව සම්මාන තුනක් ලබා තියෙනවා. 1942 සිට 1963 අතර කාලය තුළ සෑම වසරකම අනිවාර්යයෙන්ම ඔහු එක ඔස්කා සම්මානයකට නිර්දේශ වෙලා තියෙනවා. 

18. 1929 දී ප්‍රථම ඔස්කා සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය සිදු කෙරුණේ අමුත්තන් 270ක් සමඟ පැවැත්වුණු පුද්ගලික රාත්‍රි භෝජන සංග්‍රහයකදියි. ඒ සම්මාන උළෙල 1953 දී රූපවාහිනි තිරයෙන් ලොවට දැක ගැනීමට හැකි වුණා. අද මෙය ලොව පුරා රටවල් 200කට අධික ජනතාවක් රූපවාහිනියෙන් හා අන්තර්ජාලයෙන් නරඹනවා. 

19. දැන් ඔස්කා සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කරන්නේ මුද්‍රා තැබූ ලියුම් කවරයක් ලබාදී ඒ මොහොතේදියි. ඒ සාම්ප්‍රදාය ආවේ 1940 දී ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත එම සම්මාන උළෙලේ එතෙක් පවත්වා ගෙන ආ රහස්‍ය භාවය අහෝසි කරමින් උළෙලට කලින් දා ඒ ජයග්‍රාහක නාමාවලිය පළ කිරීම නිසයි. 

20. සුප්‍රකට ඇමරිකන් නළු බොබ් හෝප් ජීවත්ව සිටිය දී වැඩිම වාර ගණනක් ඒ වැඩ සටහන මෙහෙයවූ ප්‍රයුංජක ලෙස තැබූ වාර්තාව මෙතෙක් කිසිවකුවත් බිඳ දමා නැහැ. ඒ වාර ගණන 19ක්. 

21. දැන් මේ උළෙල පැවැත්වෙන තැනට අමුත්තන් කැඳවා ගෙන එන රතු පලසෙහි දිග මීටර් 500ක්. එහි විශාලත්වය වර්ග අඩි 16,500ක්. මේ වතාවේ පළමුවරට රතු පලස ඉවත් කර තියෙනවා. ඒ වෙනුවට යොදා ගන්නේ ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක්. 

22. ඔස්කා උළෙල දා රාත්‍රිය එක් ආකාරයකට විචිත්‍ර ඇඳුම් ආයිත්තම් විලාසිතා දැකිය හැකි විසිතුරු එකක්. මෙතෙක් ඒ ඉතිහාසය තුළ එහි ආ අමුත්තන් අතරින් වැඩිම වටිනාකම් ඇති ඇඳුම ඇඳ සිටියේ 2013 උළෙලට සහභාගි වූ ඇමරිකන් නිලි ජෙනිෆර් ලෝරන්ස්. ඇය එදා සැරසී සිටියේ නිල්මුසු රෝස පැහැති ඩියෝ කූට දිග බාල් ගවුමකින්. එහි වටිනාකම ඇයට දුන් අවස්ථාවේ තක්සේරු කර තිබුණේ ඩොලර් මිලියන 4ක් ලෙසයි. 

චිත්‍රපට අධ්‍යක්ෂ ඇල්ෆ්‍රඩ් හිච්කොක්

23. ඔස්කා සම්මාන උළෙලේ කළ කථා අතරින් කෙටිම ප්‍රකාශය කර ඇත්තේ සුප්‍රකට පුද්ගලයන් දෙදෙනකු විසිනුයි. ඒ චිත්‍රපට අධ්‍යක්ෂ ඇල්ෆ්‍රඩ් හිච්කොක් හා සිනමා නළු විලියම් හෝල්ඩන් යන දෙදෙනායි. ඔවුන් දෙදෙනාම කියා ඇත්තේ එකම වදනක් පමණයි. ඒ "Thank you."යන්නයි. 

24. පැය හතරක් හා මිනිත්තු විසිතුනක් දිග ඔස්කා සම්මාන උළෙලක් 2002 දී පැවැත්වුණා. එයින් පසු සම්මාන කමිටුව එහි කෙරෙන කතා සඳහා තත්පර 45ක සීමාවක් පැනෙව්වා. 

25. මේ පිරිනැමෙන ඔස්කා සම්මානය සැබැවින් ම එය ලබන අයට ඒවායේ අයිතිය හිමිවන්නේ නැහැ. ජයග්‍රාහකයන් ගිවිසුමක් මගින් කැමති වෙන්න ඕනෑ ඒ සම්මානය ඇකඩමියට එකම එක ඩොලරයකට විකුණන්න. ඒකට අකමැති නම් ඔවුන්ට සම්මානය ළඟ තබා ගන්නට අවසර ලැබෙන්නේ නැහැ. ඒ ගිවිසුම අත්සන් කර දී ජයග්‍රහකයන්ට ඒ සම්මානය තමන් ළඟ තබා ගන්න අවසර ලැබෙනවා. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments