HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

භාතියා හොට්මේල් සංකල්පයට ඩොලර් බිලියන බාගයක් ඉල්ලයි!

එකුන් විසි වියේ දී ඉන්දියාවෙන් ඇමරිකාවට ආ සබීර් භාතියා පරිගණක විද්‍යාව හදාරා නව ජීවන ගමනකට මුල පිරූ හැටි ඊයේ අපි ඔබට කීවා. සිලිකන් නිම්නයට එන භාරතී පුත්‍රයන් විශාල පිරිසක් සිලිකන් නිම්නයේ දී සිය හැකියාව පෙන්වමින් ලෝකයට නව කවුළු විවර කර දෙමින් විශාල ධනවතුන් බවට පත් වී ඇති බවත් කීවා. ඒ අය ඇසුරු කරත්ම භාතියාටත් ආපසු සිය රටට යාමට සිත් දුන්නේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ නව ව්‍යවසායකයන්ට තෝතැන්නක් වූ ඇමෙරිකන් ව්‍යාපාරික ලෝකය තුළ පෙරළිකාර යමක් කරන්නයි. ඊට ඔහු සමඟ ඉගෙන ගත් ඇමරිකන් මිත්‍රයා වූ ජැක් ස්මිත් ද ඔහු සහය දුන්නා. 

මයික්‍රොසොෆ්ට් සමග එක්වූ භාතියා

ස්ටැන්ෆර්ඩ් සරසවියෙන් පරිගණක විද්‍යාව හදාරා ඇපල් පරිගණක සමාගමට බැඳී දෘඪාංග ඉංජිනේරුවකු‍ වශයෙන් සේවය කරද්දී තමයි, භාතියාට ඔහුගේ නව සංකල්පය පහළ වුණේ. හොට්මේල් ආරම්භ වූයේ අන්තර්ජාල‍ පිටු අතරට එක්වූයේ කොටුවක් හැටියටයි. ඒ සේවාව අන්තර්ජාලය ඔස්සේ අනුග්‍රාහකයන්ට සම්පූර්ණයෙන් ම නොමිලේ සැපයෙන්නක්. ඒ සමඟම ඒ කොටුව ඔස්සේ ප්‍රවෘත්ති හා වෙනත් දැනුවත් කිරීම් අනුග්‍රාහකයන්ට නොමිලයේම සපයනු ලැබුවා. භාතියා ඔහුගේ හොට්මේල් අනුග්‍රාහකයන්ට අන්තර්ජාලයේ විවිධ ව්‍යාපාර හා වෙබ් අඩවිවලින් එන පුවත් ලබා දීම සඳහා මුදල් ඉල්ලුවා. ඔවුන් ඒ සඳහා එකඟත්වය පළ කළා. හොට්මේල් ඉතා වේගයෙන් වර්ධනය වුණා. ඒ වන විට ඔවුන්ගේ සේවක පිරිස 25ක්ව තිබුණා. හොට්මේල්වලින් ගලා ආ ඉල්ලීම ඉටු කරන්නට සමහර වෙබ් අඩවිවලට එසැණව ක්‍රියා කිරීමට බැරි තරමට ඒවා වේගයෙන් ගලා ආවා. 

1997 දෙසැම්බරයේ දිනක භාතියා සිය මිතුරු ස්කොට් වීස් සමඟ කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ නම් චීන හෝටලයේ පැවති දේශනයකට සහභාගි වුණා. දේශනය කළේ යාහූ සම ආරම්භක ජෙරී යං. අන්තර්ජාලයට මුලින් ම පැමිණීමේ වාසිය ගැන කතා කළා. එහි අති විශාල වටිනාකමක් ඇති බව ඔහු කීවා. තරඟකාරිත්වයක් ඇති වන්න මාස තුනක්වත් යනවා. ඒ කාලය තුළ ස්ථාවරත්වයක් ඇති කර ගන්න පුලුවන්. යාහූවලට තරඟකාරයෙක් එන්න මාස තුනක් ගත වුණා. 

එයින් භාතියා යමක් හිතට ගත්තා. ඊළඟට හොට්මේල්වලට අනුකරණයක් එන්න පුලුවන්. ඊට කලින් යමක් කළ යුතු යයි ඔහු සිතා ගත්තා. පසුගිය මාස හය තුළ ඔවුන් හොට්මේල් ග්‍රාහකයන් හැට ලක්ෂයක් එක් රැස් කරගෙන සිටියා. 1997 වසර අවසානයේ දී තමයි, මයික්‍රොසොෆ්ට් ආයතනයේ නෙත හොට්මේල් වෙත යොමුවුණේ. වොෂිංන්ටනයේ රෙඩ්මන්ඩ් වල සිට මයික්‍රොසොෆ්ට් ආයතනයේ විධායකයන් පිරිසක් ආවා, හොට්මේල් ආයතනයට, ඇවිත් ඔවුන්ගේ නීතිඥවරුන් හමු වුණා. ඔවුන් භාතියාට යෝජනා කළා, කෝටියක මුදලක් හොට්මේල් සඳහා ලබා දෙන්නට. ඒත් භාතියා ඊට එකඟ වුණේ නැහැ. සතියකට පස්සේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ පිරිස යළිත් ආවා. 

මේ විධියට මාස දෙකක් තිස්සේ වරින් වර ඔවුන් ආවා. ඒත් භාතියා එකඟ කරවා ගන්නට ඔවුන්ට බැරිවුණා. අන්තිමේ දී ඔවුන් ඉල්ලා සිටියා භාතියාගෙන්, ඇවිත් මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් හමුවන ලෙස. භාතියා බිල් ගේට්ස් හමු වීමට ගියා. ඔහු කතා බහ සාමාන්‍ය එකක් වුණා. “ඔහු මගෙන් ඇහුවේ සාමාන්‍යයෙන් ආයෝජකයන්ගෙන් මම අහන ප්‍රශ්නමයි. එයින් මං තේරුම් ගත්තා ඔහු සුපිරි මානවයෙක් නොව මා වැනිම සාමාන්‍ය අයකු බව. ඔහු කෙරෙහි මා තුළ විශ්වාසයක් ගොඩ නැඟුණා.” භාතියා කීවා. ඔහු කල් අරගෙන තීරණය පසුව දැනුම් දෙන්න පොරොන්දු වී ආවා. 

සබීර් භාතියා හා ඔහු සමග 
හොට්මේල් ඇරඹූ ජැක් ස්මිත්

ඊළඟට ඔහු කළේ එතෙක් ඔහු සමඟ හොට්මේල්වලට දායක වූ ආයෝජකයන් හැමෝගේම අදහස් විමසීමයි. ඩග් කාලයිල් කීවේ “මං හිතන්නේ නෑ. අපට ඩොලර් මිලියන 200කට වඩා ලබා ගන්න පුලුවන් වෙයි කියලා” කියායි. භාතියා විහිළුවට වාගේ කීවේ ඒ සඳහා ඔහුට ඩොලර් බිලයනයක් අවශ්‍ය බවයි. එවේලේ කාලයිල් සිනාසෙමින් කීවේ, “ සබීර්, ඔයාට මං කිව්ව ගාන ලැබුණොත් මං ඔයාගේ ප්‍රමාණයේ ම ලෝකඩ පිළිරුවක් හදලා මගේ කාර්යාලයේ ඉස්සරහින් ම තැන්පත් කරනවා” කියලයි. 

භාතියා නියෝජිත පිරිසක් සමඟ නැවත මයික්‍රොසොෆ්ට් ආයතනයට ගියේ ඩොලර් බිලියන භාගයක් ඉල්ලමින්. ඒ කතා බහට එක්වූ අය මවිතය පළ කළා. “ඔයාට පිස්සු ද ඩොලර් මිලියන 500ක්!” ඔවුන් කෑ ගැසුණා. ඔවුන් ලංසු තිබ්බා. ඩොලර් මිලියන 200ක්.. ඩොලර් මිලියන 250ක්.. ඩොලර් මිලියන 300ක්.. කාලයිල් කීවා, “මං ඔයාගේ පිළිරුව හදන ගාන දැන් පැන්නා. කැමති වෙන්න” ඒත් භාතියා කැමති වුණේ නැහැ. අන්තිමේ දී ලංසුව ඩොලර් මිලියන 350කට නැග්ගා. හොට්මේල් පිරිසෙන් වැඩි දෙනෙක් ඒ ගාණට කැමති වුනත් භාතියා කැමති වුණේ නැහැ. 

1997 වසර අවසානයේ දී නව වසරට එළඹෙද්දී ගනුදෙනුව අවසන් කෙරුණා. මයික්‍රොසොෆ්ට් ආයතනය ඩොලර් මිලියන 400ක් වටිනාකම වෙනුවෙන් හොට්මේල් ආයතනයේ කොටස් 2,769,148ක් හුවමාරු කර ගැනීමට කැමැත්ත පළ කළා. 

ඩග් කාලයිල් භාතියාගේ පිළිරුවක් තැනීමට ලොස් ඇන්ජලීස්හි ශිල්පියකුට බාර දුන්නා. ඒත් ඒක භාතියා වැළැක්වූයේ “අපේ අම්මා ඒක එපා කියනවා, ඔය වගේ ගෞරවයක් ඉන්දියාවේ දෙන්නේ ගාන්ධි වැනි මහා පුරුෂයකුටයි. ඒක නිසා එපා කියන්න” ඔහුගේ මව කී දෙයක් සිහිපත් කරමින්. 

මයික්‍රොසොෆට් ආයතනය භාතියාගේ සමාගම මයික්‍රොසොෆට් වෙබ් එසෙන්ෂියල්ස් නමින් උප ආයතනයක් ලෙස සම්බන්ධ කර ගත්තා. එහි ප්‍රධානියා වූයේත් සබීර් භාතියාමයි. ඒ වන විට එහි සේවක සංඛ්‍යාව 144ක් ව තිබුණා. 

තවත් මාස අටක් ගත වෙද්දී හොට්මේල් අනුග්‍රාහක සංඛ්‍යාව දෙගුණයක් වුණා. ගිවිසුම් අත්සන කරන විට මිලියන 22ක් වූ අනුග්‍රාහක සංඛ්‍යාව ගිවිසුමෙන් පසු දිනපතා 125,000ක් බැගින් වැඩි වෙන්න පටන් ගත්තා. භාතියා මේ හොට්මේල් පදනම සකස් කළේ ලෝක ඉතිහාසයේ මෙතෙක් කිසිම මාධ්‍ය ආයතනයක් වර්ධනය නොවූ වේගයකින් වර්ධනය වන ආකාරයටයි. එය වර්ධනය වූවේ ඇමරිකාවේ සීඑන්එන් හෝ අන්තර්ජාලය හෝ වර්ධනය නොවූ තරම් විස්මිත වේගයකින්. 

“මට මේ තරම් දෙයකට මග පෑදුණේ ඇමරිකාවේ සිලිකන් නිම්නය නිසයි. එවැන්නක් ඉන්දියාවේත් ඇති කරන්න ඕනෑ. ඉන්දියාවේ දක්ෂයන්ට මතුවෙන්න ඒක ලොකු උදවුවක් වේවි” භාතියා එක් සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුණා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments