Main Logo

Friday 10 March 2023

බටහිර වෙදමහත්තුරු හා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු

 බටහිර වෙදමහත්තුරු හා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු

 

මා උගතකුවත් බුද්ධිමතකුවත් දක්‍ෂයකුවත් නො වෙයි. බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු දන්නවා.  මට යම්තම් මහාචාර්යකමක් ලැබුණෙ හැට පැන්නටත් පස්සෙ. අර සම්මානිත (සේවාර්ජිත) මහාචාර්යකමට මා සුදුස්සකු නොවන බව විශ්වවිද්‍යාල දන්නවා. මට බොහෝ දේ තේරෙන්නෙ නැහැ.

 

මට නොතේරෙන එක දෙයක් තමයි වැඩ වර්ජනය කරල ඉන්න විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු පශ්චාත් උපාධි පරීක්‍ෂණ කටයුතුවල නිරත වෙන්නෙ කොහොමද කියන එක. එක් මහාචාර්යවරයකු කියල තිබුණෙ වැඩ වර්ජනය කරන බටහිර වෙදමහත්වරුන් පෞද්ගලික රෝහල්වල රෝගීන් බලන විධියට තමනුත් පෞද්ගලික සේවයේ යෙදෙන බව.

 

මා බටහිර වෙදමහත්වරුන් වෙනුවෙන් කතා කරනවා නො වෙයි. මට නොතේරෙන දෙයක් උගත් මහාචාර්යවරයකුගෙන් හරි මහාචාර්යවරියකගෙන් හරි දැන ගන්න ඕන නිසයි මේ සටහන ලියන්නෙ. ඒත් මෙය පිළිතුරු සඳහා විවෘත කරන්න බැහැ. අතිවිශිෂ්ට උගතුන් මේ පිටුවෙ පඬි කුණුහරුප ලියනවා. නිසා ඔය ජනමාධ්‍යවේදියකුට කිවුව ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය කරාවි.

 

බටහිර වෙදමහත්වරු මා දන්නා තරමින් රජයේ රෝහල්වල පෞද්ගලික සේවයේ යෙදෙන්නෙ නැහැ. ඔවුන් කරන්නෙ පෞද්ගලික රෝහලවල. පෞද්ගලික රෝහල් තමයි සේවය පවත්වා ගෙන යන්නෙ. පෞද්ගලික රෝහල් සඳහා රෝගීන්ගෙන් මුදල් අය කරනවා. ලැබෙන මුදලින් යම් ප්‍රමාණයක් බටහිර  වෙදමහත්වරුන්ට ගෙවනවා තමන් බටහිර වෙදමහත්වරුන්ගෙන් ලබා ගන්නා සේවය වෙනුවෙන්. බටහිර වෙදමහත්වරුන් සේවය කරන්නෙ පෞද්ගලික ආයතනයකට.

 

මාත් කාලයක් එක් විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි ආයතනයෙහි අධ්‍යක්‍ෂ මොකක් තනතුරක් දැරුවා. අනෙක් කටයුතුත් කරන අතර. මා දන්නා තරමින් විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි ආයතන පවත්වා ගෙන යන්නේ පෞද්ගලික අංශයෙන් නො වෙයි. එය විශ්වවිද්‍යාලයෙන් කෙරෙන්නක්. විශ්වවිද්‍යාලය පශ්චාත් උපාධි අපේක්‍ෂකයන්ගෙන් මුදල් අය කරනවා. ඉන් කොටසක් විභාග හා අනෙක් කටයුතු සඳහා ආචාර්යවරුන්ට ගෙවනවා. එහි දී දආචාර්යවරුන් සේවය කරන්නේ විශ්වවිද්‍යාලයට. ඔවුන් දිමනාවක් ලබන්නේ විශ්වවිද්‍යාලයෙන්. පෞද්ගලික ආයතනයකින් නො වෙයි