HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

භාරතයෙන් ගිය භාතියා ලෝකයේ ලියුම් හුවමාරුවේ කළ පෙරළිය!

ඇමරිකාවේ සිලිකන් නිම්නයට (Silicon Valley) එන දිළින්දන් එක රැයෙන් දෙකෙන් ලෝකයේ මහා ධනකුවේරයන් බවට පත්වන හැටි කියැවෙන විස්මිත කතා රැසක් ලොව පුරා ප්‍රසිද්ධව තියෙනවා. ඒ නිසා මේ නිම්නයට එන්නට සිහින දකින අය ලොව පුරා සිටින බව පළ වෙනවා. මේ එවැනි එක් කතාවක්. 

සබීර් භාතියා ව්‍යවසායකයකු ලෙස.

සබීර් භාතියා (Sabeer Bhatia) කියා ඉන්දියානු තරුණයෙක් 1988 සැප්තැම්බර් 23 වැනිදා සවස හයට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් බැස්සා. ඒ ඉන්දියාවේ බැංගලෝර්වල ඉඳලා පැය 22ක දිර්ඝ ගුවන් ගමනකින් පස්සෙයි. ඒ ඔහුගේ පළමු ගුවන් ගමනයි. ඔහුට ලොකු විඩාවක් වගේ ම කුසගින්නත් ඒ සියල්ලට ම වඩා තනිකමකුත් දැනුණා. 

ඔහු මේ ආවේ කැලිෆෝනියා තාක්ෂණික විද්‍යායතනයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මතයි. ඒ ගැන දැන්වූ පණිවිඩයෙන් කියැවුණේ ‘ගුවන්තොටු පොළන් එළියට විත් ෂටලයෙන් කැම්පස් එක‍ට එන’ ලෙසයි. ඒ වන විට භාතියා ‘ෂටලය’ කියන්නේ කුමක්ද කියාවත් දැන සිටියේ නැහැ. ඇමරිකාවේ දන්නා අඳුනන කවරුන්වත් හිටියේ නෑ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 19යි. ඔහුගේ අතේ තිබුණේ ඩොලර් 400කට සමාන ඉන්දියානු රුපියල් ටිකක් විතරයි.

භාතියා බලපොරොත්තුව වුණේ ශිෂ්‍යත්වය අනුව උපාධි සම්පූර්ණ කර ආපසු ඉන්දියාවට ගිහින් ඉංජිනේරුවකු හැටියට රස්සාව කරන්නයි. ඔහු බොහොම සරල ජීවිතයකට පුරුදු වෙලා හිටියෙ, බැංකු කළමනාකාරියක වූ ඔහුගේ මවගේ මග පෙන්වීම මතයි. ඔහුගේ පියා ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ අතර එකම අභිලාෂය වූයේ ඉගෙනීම අවසන් කර ගොස් ඔවුන් හා එක්වීමටයි. නිලධාරිවාදය අගයන රටක් වූ ඉන්දියාව වැනි රටක උපන් දරුවකු වූ භාතියා එදා විශ්වාස කළේ නෑ, ඉන්දියාවේ සාමාන්‍ය පවුලකින් ආ තමා වැනි ළමයකුට ආයතනයක රැකියාව කරනු මිස සමාගමක් ආරම්භ කිරීම කිසිදාක කළ හැකි දෙයක්ය කියා. 

ඇමරිකාවට ගොස් වසර හතරකට පසු, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධර සිසුවකු වූ භාතියා, එහි දිවා ආහාර විවේකයේ දී එහි ආ අමුත්තන්ගේ ‘දේශන’වලට සවන් දීමට ගියා. ඒ දේශන හඳුන්වනු ලැබුවේ ‘දුඹුරු මලු දිවා ආහාර දේශන (brown-bag luncheons) කියලයි. ඒවා පැවැත් වූයේ සාමාන්‍ය විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් නොවෙයි, බැහැරින් එන අත් දැකීම බහුල ව්‍යවසායකයන් වැනි අයයි. සරල ආහාරයක් ඇතුළත් මේ දුඹුරු මලු රැගෙන ගොස් ආහාර ගන්නා ගමන් ඒ කතා බහට සවන්දීම සාමාන්‍ය සිරිතයි. ඒ දේශනවලට ආ, සන් මයික්‍රොසිස්ටම්ස්හී ස්කොට් මැක්නීලි, ඇපල් ආයතනයේ ස්ටීව් වොස්නික් වැනි අය ඔහු සිත් ගත්තා. ඔවුන් තමන්ගේ අත්දැකීම් ඔවුන් සමග බෙදා ගන්නා ගමන් හැම විටම කීවේ, ‘ඔබට මේවා කළ හැකියි’ කියායි. දැවන්ත ව්‍යාපාරිකයන් වුවද භාතියා ඔවුන් දුටුවේ සාමාන්‍ය, සරල මිනිසුන් ලෙසයි. 

උපාධිය ලබා ගන්නා අවස්ථාව වන විට භාතියා ආ පසු ගෙදර යන අදහස අත්හැර ගෙන සිටියා. ඔහු සිය පන්ති සගයකු වූ ජැක් ස්මිත් සමග ඇපල් පරිගණක ආයතනයේ දෘඪාංග ඉංජිනේරුවකු ලෙස බැඳුණා. එහි රැකියාව කරන කාලයේ ඔහුට අවස්ථාව ලැබුණා, සිලිකන් නිම්නයේ ඉන්දියානු සම්භවයක් ඇති ව්‍යවසායකයන් පැවැත්වූ කොක්ටේල් සාදවලට යන්නට. එහිදී ඔහුට හමු වූ ඉන්දියානුවන් සාමාන්‍ය මිනිසුන් වූ අතර ඔවුන් හැම දෙනකු ම අති ශූර ව්‍යාපාරිකයන් වුණා. 

සබීර් භාතියා ගැන විශේෂ ලිපියක් පළ කළ
 ‘රීඩර්ස් ඩයිජෙස්ට්’ සඟරාවේ කවරය

මෙවැනි රාත්‍රිවලින් පසු හැමදාම උදේට භාතියා සිය මිතුරු ස්මිත්ට කීවේ එහිදී ඔහුට හමුවුණු ඉන්දියානුවන් ඔවුන්ගේ ව්‍යාපාරික අදහස් සමාගම් බවට පත් කොට විකුණා කෝටිපතියන් බවට පත් වූ හැටියි. “ජැක්, අපි මේ කරන්නේ ජීවිතයේ වටිනා කාලය කා දැමීමක් නේදැ”යි මිතුරාගෙන් ඒ හැම අවස්ථාවකදීම භාතියා ප්‍රශ්න කළා. ජැක් ස්මිත්ට දරුවන් දෙදෙනකු හා බිරිඳක් සිටි අතර ඔහු එකවරම රැකියාවෙන් ඉවත් වී ව්‍යවසායකයන් වීමට කැමැත්තක් දැක් වූයේ නැහැ. “මේ තරම් අවස්ථාවක් තිබිලත් අපි ඒකෙන් ප්‍රයෝජනයන් නොගන්නේ නම් අප සදහටම අසාර්ථක වූවන් වෙනවා.” භාතියා නැවත නැවතත් කියන්නට වුණා. 

අන්ත‍ිමේදී භාතියාගේ යෝජනාවට ජැක් එකඟ වුණා. අලුත් අදහසක් ක්‍රියාවට නැංවීමට එකඟ වුණා විතරක් නොවෙයි, ඒ නව සමාගමේ ව්‍යාපාර කළමනාකරු ලෙස භාතියාත්, තාක්ෂණික සැලසුම්කරු ලෙස ස්මිතුත් වැඩ කිරීමට එකඟ වුණා. 

දෙදෙනා එක්ව නොයෙකුත් අදහස් ගැන විමසා බැලුවා. නොයෙක් පැතිවලින් සිතා බැලුවා. ඔවුන් ආයතනයේ දෙපොළක සේවය කළ නිසා අදහසක් සිතට ආ මොහොතේම ඔවුන්ට එකිනෙකා හා කතා කිරීමට අවශ්‍ය වුණා. ඒ නිසා ඔවුන් කල්පනා කළා ඊ-මේල් යොදා ගෙන ඒ කටයුත්ත කරන්න. ඒත් සිය ප්‍රධානීන් ඒ ඊ-මේල් එකතු කරගෙන ඔවුන් රාජකාරි වේලාවල පුද්ගලික ව්‍යාපෘතිවල යෙදෙන්නේ යැයි චෝදනා කරතැයි බිය වුණා. 1995 දෙසැම්බරයේ දිනෙක ජැක් ස්මිත් වාහනයෙන් නිවෙස බලා යද්දී ඔහුට කල්පනා වුණා, වෙබ් ජාලයෙහි ඇති නිදහස් ඊ-මේල් ගිණුම්වලට නිර්නාමික ඇතුළු විය හැකි බව. 

ස්මිත්, භාතියාට කාරයේ ෆෝනයෙන් කතා කළා. භාතියා මුල වාක්‍යය කියද්දීම කතාව නවතා ලූ භාතියා කීවේ, ‘ඒ සෙලියුලර් ෆෝනයෙන් කතා නොකොට නිවසට ගිය ගමන් ම නිවසේ දුරකතනයෙන් කතා කරන ලෙස’යි. විනාඩි 15 කට පසු ස්මිත්, භාතියාට කතා කළා. ඔවුන් දෙදෙනා කතා කරද්දී ඔවුන් දෙදෙනාගේ මනස් විස්මිත අයුරින් එකිනෙකට පැහුණා. ඔවුන් කතා කළ දේට වඩා දේවල් දෙදෙනාට ම අවබෝධ වුණා. අදහස් හුවමාරුව අතු ඉති බෙදී යමින් එක එක පැතිවලින් සිදුවුණා. 

එදා රාත්‍රියේ භාතියා නිදි මරාගෙන සිය කුඩා නිවසේ කෑම මේසය මත වාඩි වී එහි ව්‍යාපාර සැලැස්ම සම්පූර්ණයෙන් ලියා අවසන් කළා. පසුවදා ඔහු වැඩට ගිය අවස්ථාවේ ප්‍රධානියා ඔහුගේ මුහුණේ විඩාබර ගතිය දැක, “සබීර් රාත්‍රි සාදවලට යන එක ටිකක් අඩු කරන්න ‍වෙයි” කීවා. ඔහු බිය වුණා, තමන්ගේ කට වැරදිලා ඔහු අතින් එළිවෙනකම් ලියූ ව්‍යාපෘතිය ගැන කියැවෙයි කියා සිතා ඔහු තදින් කට පියා ගෙන සිටියා. 

භාතියාගේ නව ඊ-මේල් ව්‍යාපෘතිය දියත් කිරීමට ඩොලර් 300,000ක ආයෝජනයක් අවශ්‍ය වුණා. අන්තර්ජාල ව්‍යාපාරවලට ආයෝජනය කරන සමාගම් ගණනාවක් සමගම ඒ ගැන සාකච්ඡා කළා. ඔවුන් එක් වරම එය සාර්ථක වේවි යැයි පිළිගත්තේ නැහැ. ඒ අතරින් ඩ්‍රේපර් පිෂර් ජර්වෙට්සන් සමාගමේ ස්ටීව් ජර්වෙට්සන් ඒ ගැන උනන්දුවක් දැක්වුවද ඔහුත් භාතියාගේ සැලැස්මට ඇතුළත් ආදායම් ඇස්තමේන්තු පිළිගත්තේ නැහැ. ඒ තරම් ඉක්මනින් ඒ තරම් ලාභයක් ලැබෙතැයි ඔහු පිළිගත්තේ නැහැ. ඉතිහාසයේ කිසිම සමාගමක් නොලද වේගයකින් මේ ව්‍යාපාරයට ඉල්ලුමක් ලැබෙනවා කියා ඔහු විශ්වාස කළේ නැහැ. 

ඒ නිසා ඔහු ඒ මුදල ආයෝජනය කරන්න සියයට 30ක් ප්‍රතිලාභ වශයෙන් ඉල්ලා සිටියා. ඒත් භාතියා එයට එකඟ වුණේ නැහැ. භාතියා කීවේ සියයට 15ක් පමණක් දිය හැකි බවයි. එදා සාකච්ඡාවලින් පලක් වුණේ නැහැ. ඒත් පසුවදා ඒ සමාගම භාතියාගේ සියයට 15ට එකඟ වුණා. 

ඒ අනුව භාතියා හා ස්මිත් දෙදෙනා ඇපල් පරිගණක ආයතනයෙන් ඉල්ලා අස්වුණා. ඔවුන් කැලිෆෝනියාවේ ෆර්මන්ට්වල කුඩා කාර්යාලයක් පටන් ගත්තා. වැඩට 15 දෙනකු බඳවා ගත්තා, පඩි නැතිව වැඩ කර පසුව ඒ නව සමාගමේ කොටස් ලබා දෙන පොරොන්දුව මත. 1996 ජූනි මාසය වන විට ඔවුන්ට මුදල් අගහිඟතාවකට මුහුණ ‍දීමට සිදුවුණා. ඒ අවස්ථාවේ හවුල්කාරිත්වයකට ඩග් කාලයිල් සමාගම ඉදිරිපත් වුනත් ඔවුන් කල්පනා කළා කෙසේ හෝ තමන් දෙදෙනා මේ ව්‍යාපෘතිය දියත් කර අයිතිය තහවුරු කර ගත් පසු ඔවුන් කර ගැනීමට වඩා සුදුසුයි කියා. ඒ අනුව ඔවුන් බැංක්වක් සමග කතා කොට ඩොලර් ලක්ෂයක බැංකු ණයක් ලබා ගත්තා. 

1996 ජූලි 4 වැනිදා, ඇමරිකන් නිදහස් දිනය දා, භාතියා හා ස්මිත් දෙදෙනා ඔවුන් අලුත් ව්‍යාපාරය ‘හොට්මේල්’ (Hotmail) නමින් පටන් ගත්තා. නිදහස් දවස නිසා ඔවුන් මේ ඊ-මේල් සේවාව නිදහස් එකක්, එනම් ඕනෑම කෙනෙකුට ලොව කොතැනක සිටියත් නොමිලයේ භාවිත කළ හැකි නිදහස් ඔන්ලයින් සේවාවක් ලෙස ප්‍රසිද්ධ කළා. ඒ වන විට ඊ-මේල් පාවිච්චි කළ හැකි වූයේ පරිගණකයක් ඇති කෙනකුට පමණයි. නමුත් මේ හොට්මේල් සේවය ලබා ගැනීමට පරිගණකයක් හිමි කර ගතයුතු වූයේ නැහැ. ඔබට දුර රටක ඇති මැක්ඩොනල්ඩ් ආහාර හලක හෝ අවන්හලක හෝ ඇති පොදු පරිගණකයකින් ඒ සේවාව නොමිලයේ ලබා ගත හැකිවුණා. හොට්මේල් මුලින් භාවිත කළ පිරිස් එය අනිත් අයට හඳුන්වා දුන්නා. පළමු පැයේදීම 100ක් අනුග්‍රාහකයන් එක්වුණා. දෙවැනි පැයේ දී තවත් 200ක් ද ඊළඟ පැයේ දී තවත් 250ක් ද එක්වුණා. 

භාතියාගේ ස්මිත්ගේ මේ අදහස කෙතරම් බලවත් ලෙස සමාජය වැළඳ ගත්තාද කීවොත් හොට්මේල් හා එක් වූ අයගෙන් සියයට 80ක් ම කීවේ මේ ගැන තමන් දැනුවත් වූයේ තවත් හිතවතෙක් ඒ ගැන කී නිසා බවයි. ‘වයිරල් මාකටිං’ යන වදන බිහි වූයේ ද මේ නිසයි. ඔවුන් ඩග් කාලයිල් සමාගමට ඔවුන්ගේ ආයෝජනයට එකඟ වන විට ඔවුන් හා එක් ව සිටි මුළු අනුග්‍රාහකයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබුණා. එහි වටිනාකම ඩොලර් මිලියන 18ක් ලෙස තක්සේරු කර තිබුණා. 

ඉතිරි කොටස හෙට 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments