Image: https://20brm.nsd.gov.in/my-sweet-rotten-heritance/

‘සංකල්පයකින් තොරව අපව සතුටු කරනා දෙය සුන්දරත්වය‘ ලෙස නූතන දර්ශනයේ සමාරම්භක දාර්ශනිකයා වන ඉමැනුවල් කාන්ට් අපට පෙන්වා දුන්නේය. මෙහිදී සතුට සහ සංකල්පයක් යනු කුමක්දැයි වටහා ගැනීමෙන් අපට මෙම ප්‍රකාශය වඩා හොඳින් තේරුම් ගත හැකිය. මෙරට සුන්දරත්වය නැතිනම් සෞන්දර්ය යන්න සමග නාට්‍ය හා රංග කලාව සම්බන්ධ වන්නේ ඉතාම අඩුවෙනි. මනමේ, සිංහබාහු නාට්‍යවල මේ සඳහා යම් යම් අඩංගු තිබුණද සමස්තයක් ලෙස මෙරට නාට්‍ය හා රංග කලාව මූලිකව අර්ථ කථනවලට ලක් වන්නේ සමාජ දේශපාලනික අදහස් මත පිහිටාය. දාර්ශනික විග්‍රහ පැවතුණද ඒවා සුන්දරත්වය සමග සම්බන්ධ වන්නේ නොමැති තරම්ය.

අනසූයා සුබසිංහගේ ‘My Sweet Rotten ‘Heritance’ නාට්‍යය වේදිකාවේ සුන්දරත්වය පිළිබඳ අපට සංවාදයක් ඇරඹීමට දොරටුවක් විවර කරයි. මෙරට ජන රංගයෙහි මූලික රංග විශේෂයක් වන කෝළම් නාට්‍ය ආකෘතිය භාවිතයට ගනිමින් මෙම නාට්‍ය නිර්මාණය කර ඇත. නෛසර්ගිකව ම කෝළම් නාට්‍ය තුළ අතිශය නාටකීය වේදිකාබවක් (Theatreness) පවතියි. අනසූයා මෙම නෛසර්ගික ලක්ෂණ මනාව කළමනාකරණය කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි. එලෙස නිෂ්පාදනය කර ඇති රංගය තුළ සුන්දරත්වය අප වෙත නිරාවරණය වන ආකාරය පහත පරිදි විස්තර කළ හැකිය.

මෙම නාට්‍ය නැරඹීමෙන් අප ඉමහත් සතුටට පත් වේ. ඒ මෙහි එන සංවාද කොටස් මත පමණක් නොවන බව ඉතාම පැහැදිලිය. එම සතුට කුමන ආකාරයේ සතුටක්ද? අප සතුට අත්විඳින ආකාර තුනක් සඳහන් කළ හැකිය. ඉන් එකක් වන්නේ යමක් අත්පත් කර ගැනීම හේතුවෙන් ඇති වන සතුටයි. අපට යමක් අයිති කර ගැනීමේ ආශාව මත එම සතුට පදනම් වූවද එම දෙය අයිති කරගැනීමෙන් පසුව අප තුළින් එම සතුට වියැකී යයි. මෙහි තවත් ආකාරයක් වන්නේ යමෙකුට උපකාර කිරීමෙන් ලබා ගන්නා සතුටයි. මෙහිදී කිසිවක් අත්පත් කරනොගත්තද එමගින් අපට යම් ආකාරයක සතුටක් ලැබෙයි. ආගමික අර්ථයෙන් මෙහිදීද යමක් අත්පත් කරගැනීමේ මාඳිලිය තිබෙනා බව අයෙකුට පෙන්වා දිය හැකිය. මෙම ආකාර දෙකටම වඩා – අප කිසිවක් අත්පත් කරගැනීම හෝ උපකාර කිරීමෙන් සතුට ලැබෙන ආකාර දෙකටම වඩා – නිදහස්ව අපව සතුටු කිරීමට ‘My Sweet Rotten ‘Heritance’ නාට්‍යයට හැකියාව තිබේ. තවත් ආකාරයකට කියන්නේ නම් අපට මෙම නාට්‍ය ගෙදර ගෙන යාමට හෝ අත්පත් කරගැනීමේ ආශාවකින් තොර නිෂ්කාම සතුටක් අපට ලබා දෙයි. එම සතුට රැඳී තිබෙන්නේ මෙම අභිවහන (Performance) ක්‍රියාවලිය හා සමස්තයක් ලෙස ප්‍රෙක්ෂාව තුළයි. එය අපව ගැඹුරු ලෙස කළඹවයි, අනෙක් අතට අපව සන්සුන් කරයි. එය එකවරම අප තුළ ආතතියක් මෙන්ම තෘප්තියක් ඇති කරයි.

සුන්දරත්වය යන්න සංකල්පයකට ගත නොහැකි වන්නේ මේ නිසාය. සුන්දර දෙයක් අපට අභිමුඛ වන විට අප එය අවබෝධ කරගැනීමට දරණ සෑම ප්‍රයත්නයක් ම අර්ථ විරහිත වේ. ‘My Sweet Rotten ‘Heritance’ හි අප වෙත එල්ල කරන අභියෝගය මෙයයි. එමගින් අපට සුන්දර දෙයක් මුණ ගස්වයි. එහෙත් එය අපට අල්වා ගැනීමට හෝ යළි යළිත් අප අසල තබාගෙන රසවිදිය නොහැකිය.

මෙම අභියෝගය මගින් අපට යෝජනා කරන්නේ වේදිකාවේ සෞන්දර්ය විස්තර කරන ආකාරයක් පිළිබඳ සොයා බැලීමටයි. එනම් සමකාලීන රංගය තුළ සෞන්දර්ය පවතින්නේ කෙසේද? එම සෞන්දර්ය වේදිකාව වෙතින් අපට සන්නිවේදනය වන්නේ කෙසේද? එම සෞන්දර්ය සහ වේදිකාවේ අනෙකුත් අංග, එහි අන්තර්ගතය සමග සම්බන්ධ වන්නේ කෙසේද? මේ සම්බනධයෙන් නව දාර්ශනික කතිකා මගින් අපට මෙම සංවාද බොහෝ දුර දිග රැගන යා හැකිය. එහෙත් අනසූයාගේ මෙම නිර්මාණය මගින් අපට යළිත් නූතන සෞන්දර්ය කථිකාව සමග අභිමුඛ වීමට දොරටුවක් විවර කරයි.

අප මෙම කළාපය වෙත තවත් අයුරකින් ප්‍රවේශ වන්නට උත්සාහ කරමු. මෙහිදී විවිධ කෝළම් මුහුණු පැලදගත් චරිත පැමිණ කථකයා (මෙම නාට්‍යයෙහි තීරණාත්මක හා රැඩිකල් වෙනසක් ලෙස කථකයා වන්නේ කාන්තා චරිතයකි) සමග සංවාද කරයි. එම සංවාදවල අන්තර්ගතය පශ්චාත් යුධ සමයේ සහ මෙරට සමාජ විද්‍යා කථිකාව තුළ බොහෝ සෙයින් සංවාදයට ලක් කර ඇති ජනප්‍රිය ඒවා යැයි අයෙකුට සමහර විට පෙන්වා දිය හැකිය. එහෙත් මෙම ක්‍රියාකාරකම් සියල්ල වෙලා ගන්නා නැතිනම් මේ සියල්ලට ඉහළින් සෞන්දර්ය අදහසක් ප්‍රබල ලෙස නියෝජනය වෙයි. සෞන්දර්ය අදහසක් මගින් සිදු කරන්නේ පරිකල්පනය නියෝජනය කිරීමයි. කිසිදු නිශ්චිත චින්තනයකට, සංකල්පයකට ඌනනය නොවී සහ භාෂාව තුළ තවදුරටත් අවබෝධ කරගත නොහැකි වුවද එය බොහෝ හැගීම් ඇති කරවන දෙයකි. රොමෑන්ටිකවාදී අර්ථයෙන් කලාව තුළ වඩා වැදගත් වන්නේ මෙයයි.

මෙම නිර්මාණයේ පවතින සෞන්දර්ය ඉදිරියේ අපගේ දැනුමේ ලෝකය තවදුරටත් කෙතරම් පරිමිතද යන්න නිරාවරණය වන ආකාරය තවදුරටත් වර්ධනය කළ හැකිය. එනම් කාන්ටියානු අර්ථයෙන් මෙම නිර්මාණය රසවිදීමේදී පවතින අරමුණ සහ අරමුණු නොමැති වීම අතර ඇති අන්තර්ක්‍රියාකාරිත්වයයි. සුන්දර වස්තුවක් යනු එක නිශ්චිත අරමුණක් හෝ නිශ්චිත අරමුණු කීපයක් හෝ වෙනුවෙන් තිබෙනා දෙයක් නොවන බව පැහැදිළි වේ. නමුත් මෙයින් අදහස් කරන්නේ එය හුදු අහම්බයක් පමණක් වන, අර්ථවිරහිත දෙයක් වන බව නොවේ. අපට සුන්දර දෙයක් හමු වන්නේ කිසියම් ආකාරයක අරමුණක් තිබෙනා ආකාරයකටයි. අපට සිතෙන්නේ එය නිශ්චිත අවසානයක් වෙත වර්ධනය වන බවයි. නමුත් අවසානයේදී එය කුමක්ද කියා කිව නොහැකි වේ. ඒ නිසා අපට එය නම් කළ හැකි වන්නේ අරමුණක් නොමැති අරමුණුකාරිත්වයක් ලෙසයි. මන්ද කාන්ට්ට අනුව සුන්දර දෙය යනු අපට පුද්ගලිකව වාසියක් ලබා නොදෙමින් අපව සතුටු කරනා දෙයයි. සුන්දර දෙය යනු තාර්කික හේතුවකින් තොරව විශ්වීයව සතුටු කරනා දෙයයි. සුන්දරත්වය යනු අවසාන අරමුණක් නොමැති අරමුණුකාරිත්වයකි. අනසූයා උත්සාහ කරන්නේ මෙවැනි බලපෑමක් සිදු කරන අතරේ ඇයගේ සමාජ දේශපාලන මතවාදය සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමටයි. නමුත් සමහරවිට ඇයවත් අතරමං කරමින් රංගය වඩා ශක්තිමත්ව සහ ප්‍රබලව ඉස්මතු වෙයි. තවත් ආකාරයකට කියන්නේ නම් කලා කෘතියක් නිර්මාණය කිරීමේදී කලාකරුවා අරමුණු කරනා දෙය සෑම විටම ඉක්මවා යයි. මෙහිදී අයෙකුට මෙවැනි පැනයක් ඇසිය හැකිය. ‘දේශපාලන සමාජ මතවාද දෘෂ්ටිවාද මගහැර රංගය තුළින් සෞන්දර්ය වඩා සක්‍රීය ලෙස ඉස්මතු වීමේ ඇති අර්ථය කුමක්ද?‘ එවැනි අයෙකුට අපට දිය හැකි පිළිතුර වන්නේ කුමක්ද? තරමක් සන්සුන්ව අපට ඔහුට මෙවැනි ආකාරයේ ප්‍රතිචාරයක් දිය හැකිය. අප බොහෝ සවස් යාමයන්වල තේ කෝප්පයක් පානය කරමින්, අපගේ දැනුමේ කලාපයේ අද සංවාදයට ලක් කරන සමාජ දේශපාලන මතවාද, ඒවා රැඩිකල් හෝ ප්‍රගතිශීලී ලෙස වෙන් කරගෙන බොහෝ සේ කතා බස් කර ඇත. එවැනි සමාජ දේශපාලන සංවාද තුළ මෙවැනි ආකාරයේ හැගීම් ඇති කරන ආකාරයේ අත්දැකීමක් අපට ලැබෙන්නේද!

උදාහරණයක් මගින් කියන්නේ නම් හස්තිරාජ පෞරෂයක් ඇති විසුළු වෙස් මුහුණක් පැළදගත් චරිතයක් වේදිකාවට පිවිසෙයි. ඔහු නර්තනයේ යෙදෙයි. මුඛරි බස් දෙසයි. ප්‍රේක්ෂකයින් සමග සම්බන්ධ වෙයි. යළි නර්තනයේ යෙදෙයි. ඔහුගේ වෙස් මුහුණ, ඇදුම් ආයිත්තම්, පසුබිමෙහි නැගෙන බෙර හඩ සහ සංගීතය, අවට ආලෝකය මේ සියල්ල විසින් අප ගිලගන්නා සුන්දරත්වයක් නිර්මාණය කරයි. සමකාලීන වේදිකාව පිළිබඳ සංවාදය ආරම්භ කිරීමට මෙම නිර්මාණය වඩා තියුණු ලක්ෂ්‍යය යැයි විටක අයෙකු යෝජනා කිරීම යුක්ති යුක්ත වන්නේ මේ නිසාය.  

අවසානයේ කාන්ට් උත්කෘෂ්ටභාවය (sublimity) ලෙස නම් කළ අදහසින් අප මෙම සටහන අවසන් කරමු. වේදිකාවේ සුන්දරත්වය අප වෙත අභිමුඛ කරමින් අපේ කුදු බව පසක් කළ අනසූයා සුබසිංහට සහ මෙම අගනා නිර්මාණය වෙනුවෙන් කැපවුණු සියළු දෙනාට ස්තූතියි. ‘‘සුන්දරත්වය සීමිත වුවත්, උත්කෘෂ්ටභාවය අසීමිත ය, එවිට උත්කෘෂ්ටත්වය ඉදිරියේ සිටින මනස, තමන්ට කළ නොහැකි දේ ගැන සිතීමට උත්සාහ කරයි, අසාර්ථක වීමේ වේදනාව ඇති නමුත් උත්සාහයේ දැවැන්තභාවය ගැන මෙනෙහි කිරීමෙන් සතුටක් ලබයි.‘‘  උත්කෘෂ්ඨභාවය යනු අවසානයේ දී පරම ඒකීයත්වයක් (absolute singularity) ගොඩනැගීමට කලාවට ඇති විශිෂ්ඨ හැකියාවයි. කලාවේ දේශපාලනය පිළිබඳව අව්‍යාජ සංවාදයක් ආරම්භ කළ හැකි වන්නේ මෙය ලකුණු කිරීමෙන් පමණි. එතැනින් නම් අනසුයා සුභසිංහ අත්‍යන්තයෙන් සාර්ථක වී ඇති බව අපට කිව හැකිය.

රංග මනුප්‍රිය