අනුකම්පාව නොවේ



මං උපැස් යුවල ගැලෙව්වා. ආයේ කියවන්න ඕනා ලිව්ව පරිච්ඡේදයම. මං ලිව්වට පස්සේ එක පාර කියවන් නැත්තේ වැරදි අහුනොවෙන නිසා.. ඒ නිසා පස්සෙ කියවන්න ඕන කියලා හිතුවා.. ජනේලෙන් එලිය චුරු චුරුව.. මං ආසයි මේ සීතලට.. ඒ ශබ්දෙට... ඒ සසලතාවයට..

"මනු ආ...!"

දේවී උණුසුම් කෝපි කෝප්පයක් මේසේ උඩින් තිබ්බා. මේ පස් වෙනි කෝප්පය වෙන්න ඕනා, සවස ඉඳන්. මං ඇය දිහා බැලුවා හිනා වී ගෙන. ඇය හිටියේ මට පිටුපස හරවගෙන.දිග කෙහෙරැලි පිට දිගේ පහලට වැටිලා තිබුනා. ඇත්තටම ඒ දිග කෙහෙරැලි ඇගේ රෑ ඇඳුමටත් වඩා දිගට තිබුනේ.  ඈ ජනේලෙන් අත දාලා වැහි වතුර ඇල්ලුවා.. අත්ලට පිරෙන වතුර උඩට විසි කලා.. මට ඕන උනා මේ සීතලේ ඇයව තුරුලට අරන් ආදරේ කරන්න.. ඒත් අපේ දුරස්ථභාවය මගේ අදහස ඈතටම ඇද්දා.

"ඇය ඇත්තටම මට ආදරේද...."
මිනිහෙක් කැමති නැහැ ප්‍රතික්ෂේප වෙන්න. මිනිහෙක් කැමති නැහැ ඊටත් පසුතැවිලි වෙන්න.. මං දැන් ඇයට ආදරේ කරන්න අරන්. අපි විවාහ වුනේ යෝජනාවකින්, මං වගේම ඇයගෙත් කැමත්තක් තිබුනා කියලා මං හිතන් නෑ මේ විවාහයට.

අම්මා අප්පච්චි දෙන්නගෙම කියවිල්ල අඬවැඩියාවක් වෙද්දී, මට මගේ ප්‍රේමය සදහටම නැති වෙලා ජීවිතෙත් නැති වෙන්න තිබුන මොහොතක දේවී බලන්න අප්පච්චි එක්ක ගියේ මාව, මරන්න ගෙනියන හරකෙක් වගෙයි. ඒත් දේවී දුටු මුල් වතාවෙම ඇයට කැමති වෙන්න මං හිතා ගත්තේ ඇගේ තිබුන අවංකකමට වගේම ඇය එක්ක මිශ්‍ර වෙලා තිබ්බ අහිංසකකමට.

" ඔයා මට අකමැති නම් දැන්ම කියලා යන්න. නැත්තම් අපේ අම්මලා පව්. බලාපොරොත්තු තියා ගනි, අයියා..."

"ඔයා බලාපොරොත්තු තියා ගන් නැද්ද..."

මං එහෙම ඇහුවේ ඇගේ ඇස් දෙක දිහා බලාගෙන එක එල්ලේ..

" බලාපොරොත්තු විනාශ වෙච්ච කෙනෙක් මං...කොටින්ම මං කාවවත් බලාපොරොත්තු වෙන් නැහැ.. ඒක මට සුදුසුත් නැහැ."

ඇය එහෙම කිව්වේ මගේ දෑස් මඟ හරිමින්.. ඒ වාක්‍ය ඇය අවසන් කලේ මහා බරට සුසුමක් යවමින් හීල්ලුමක් එක්ක. ඒ වචන වල තිබ්බේ මොකද්දෝ නොදැනෙන පසුතැවිල්ලක් එක්ක දුකක්. මට මතක් කලේ ඒ වචන මිනුව.

අපි එදා එච්චරමයි කතා කලේ..

"අපි දන්වලා එවන්නම් විස්තර. මේ දැරිවිට අපි නම් බොහොම කැමතියි. ඒත් අපේ පුතාගේ අදහසුත් එපැයි මේ කාරනා වලට.."

අප්පච්චි එහෙම කිව්වේ මං දිහා බලාගෙන. ඒ වගේම තරහත් තියෙන බව මං දැනන් හිටියා, මොකද හැම යෝජනාවකම වරදක් දකින මම ගුරුවරියක් වෙච්ච දේවීගේ වරදක් සොයා නොගනී කියලා අප්පච්චිට කිසිම විශ්වාසයක් නොතිබුනා වෙන්න පුලුවන්.

"මටත් අකමැති වෙන්න හේතුවක් නැහැ." බිම බලාගෙන මම කියලා දැම්මේ, අම්මයි අප්පච්චියි පුදුම වෙනවා දැනගෙන. එහෙම කියලා මං ආයේ ඇගේ දිහා බැලුවේ ඇගේ ඉරියව් බලාගන්න. ඇය ඉතාම යටහත් පහත් විදියට මං දිහා බලාගෙන බිම බලා ගත්තා.

"බලාපොරොත්තු විනාශ වෙච්ච කෙනෙක් මම..."  තාමත් මගේ කනේ දෝංකාර දෙනවා ඒ වචන ටික..බලාපොරොත්තු නැතිවුන කෙනෙක්ම තමයි ඒකේ වේදනාව දන්නේ. මං කලේ එදා දේවීට බලාපොරොත්තුවක් ඇති කල එක. පුංචිම පුංචි බලාපොරොත්තුවක් ඇති ජීවිතය ගැට ගහගෙන තව අඩියක් ඉදිරියට තබන්න... මං ඒක දැනන් හිටියා.

"ඔයා මට කැමති වුණේ ඇයි.." මධුසමයෙදි ඇය විමසුවේ මගේ තුරුලට වෙලා, ඇස් දෙකට එබීගෙන. පුදුමයෙන් වගේ...

බලාපොරොත්තුවක් දෙන්න ජීවත් වෙන්න. මං එහෙම කිව්වේ නැහැ.

" මං ඔයාගේ වරදක් දැක්කේ නැහැ. එකයි."

"ඒකද හේතුව... "

" හ්ම්.."  ඊට එහාට අපි කිසිම දෙයක් විවෘතව කතා කලේ නැහැ. ඇය මගේ විදියට පුරුදු වෙන්න ගත්තා.

එයා කොයි වගේද...කොයි තරම් ආදරේ කලාද... කී පාරක් එයා නිසා දේවී හෝටල් කාමර ගානේ රිංගුවද... මට දැන ගන්න වුවමනයි..  ඒත්... මාව මගෙන්ම හංගනවා... මගේ හැම හැඟීමක්ම. මං මිනූට කල දේම දේවීට තවත් මං වගේ පාහරයෙක් කලා කියලා විතරයි මං දන්නේ.. ඒ නිසා මට අයිතියක් නැහැ කිසිදෙයක් අහන්න.

දේවී නින්දට ගිහින්.. දිග කෙහෙරැලි දේවීගේ වුවනට වැටිලා. මං ඒවා කන පිටි පස්සට කලා. මාත් ලයිට් ඕෆ් කරලා ඇඳේ හාන්සි වුණා. ඇයව තුරුලු කරගන්න වුවමනා වුණත් මං එහෙම කලේ නැහැ.

උදේ බත් එක මගේ බෑග් එකට දාන ගමන් දේවී මං දිහා බැලුවේ  මොනවා හරි කියන්න වගේ..

"අපි අද රෑට එලියට යනවා. රෑට උයන්න එපා. මං කලින් එන්නම් ඔයාව ගන්න."

"අපි කොහෙද යන්නේ."

පොඩි එකෙක් වගේ සතුටින් මගේ අතේ එල්ලිලා ඇය එහෙම ඇහුවේ. මට හිනාවක් ආවත් මං ඒක තද කරන් හිටියා.

" හැමදාම එකම ශෙඩියුල් එකට ඉඳලා එපා වෙලා.පොඩි වෙනසකට එලියට යමු."

ඇගේ ඇස් දිලිසුනා.

************************************

සමහර දේවල් වෙන්නෙ වෙන්න තියන විදියට.  මං පාසල් ගිහින් ආවේ සතුටින්. අද මනු එක්ක රාත්‍රී භෝජනයක්.

"සමහරවිට ඔහු මට අනුකම්පා කරන එකට මං ආස නැහැ. මට ඕනා දැන් වේලිලා ගිය හිතට ආදරණීය පැන් පොදක්... මනු කිව්වට මනුරංග මට වඩා අවුරුදු අටක්ම වැඩිමල්, මගේ වෛවාහක පිරිමියා. කෙල්ලෙක් කියලා කිසිම දෙයක් නැති ගැණියෙක් වුණ මාව එයාගේ වෛවාහක බිරිඳ කරගන්න තරම් පරිත්‍යාගයක් කරපු මිහිපිට දෙවියන් ඉන්නවා කියලා පසක් කරපු පිරිමියා මනු... මට සමහර වෙලාවට හිතෙනවා, මං මනුට සලකනවා මදි කියලා.. තව වෙලාවකට හිතෙනවා මාව ඔහුට අප්පිරියද කියලත්.."

මං හැමදාම සාරි අඳින නිසා එදා ගවුමක් ගන්න ඇඳුම් සාප්පුවකට ගියේ සුමේධා එක්ක...

" පුදුමයි බන් උඹේ පිලිමෙට උඹව ඩිනර් එකකට එක්ක යන්න  හිතිලා... '

"  එයා ආපු වෙලේ ඉඳන් ලියනවා.. කියවනවා.. ඒ ජීවිතය එයාගෙනේ මං ඒකට දැන් පුරුදු වෙලා..."

" ඔව් ඔව්ව්.. ඔහොම ලියන් නැත්තම් අරම සම්මාන ගනිවීයෑ..."

"ඒකනේ..." මට දැනුනේ මනු ගැන ආඩම්බරයක්...

ලියන කවියෝ, නවකතාකරුවන්, කෙටි කතා කරුවන් කොපමණ හිටියත් ඒවලින් සීමිත පිරිසක් පමණයි සම්මාන, ගන්නේ... මනුරංග තරුණ නිර්මාණකරුවෙක් විදිහට හුඟක් ඉදිරියෙන් ඉන්න එක ඇත්තටම මට සතුටක් එක්ක පුංචි ආඩම්බරයකමක් තියෙනවා. කොහොම වුණත් ඔහු මගේ විවාහක ස්වාමියා...

මං අලුතින් ගත්ත දිග රතු පැහැති ගවුමත් ඇඳන් ඔහු එනකම් බලන් හිටියේ රාත්‍රී ආහාරයට යන්න.. වෙනදා වෙලාවටම ආපු ඔහු මං දිහා බැලුවේ එකපාරට අකුණක් ගැහුවා වගේ.. කිසිම වචනයක් නැතුවා.. කවදවත් මනූ ඒ වගේ බලන් හිටිය දවසක් මගේ මතකයේ නැහැ.. තත්පර දහයකට වඩා ඔහු මගේ දිහා බලන් හිටියා.. නිහඬවම ඉන් පස්සේ බිම බලාගෙන ඉක්මන්ට වොෂ් එකක් දාගන්න ගියා. මොනව හරි කියයි කියලා හිතුවත් කිසිම දෙයක් නොකිව්ව නිසා මගේ හිතත් ටිකක් කළබල වෙලා තිබුණේ.. මං ලැහැස්ති වෙලා හිටියට යන එකක් නැහැ කියලා කොහෙවත්... මං ඔහු වෙනුවෙන් ඇඳුම් දෙකක් ලැහැස්ති කරලා තිබ්බේ කොයි වගේ ඔහු අඳිද දන් නැති නිසා...

"මේ දෙකෙන් ඔයා කැමති මොන ඇදුමටද..?"

ඔච්චර හොඳ ඇඳුමක් ඕන නැහැ. ඔයත් සාමාන්‍ය ඇඳුමක් අඳින්න... 

ඔහු සාමාන්‍ය කමිසයක් හා කලිසමක් ඇඳ ගත්තේය. මමත් රතු ගවුම ගලවා අල්මාරියේ තබා සාමාන්‍ය ගවුමක් ඇඟලා ගතිමි.

ඔහු ගියේ ගෝල්ෆේස් එක දෙසටය. 

"මගේ අලුත් පොත ලියන්න ගෝල්ෆේස් එකේ සිද්ධි දාමයක් ඕනා.. ඒක නිසා අපි මෙතනට වෙලා පැය දෙක තුනක් ඉමු..." 

ඔහු වඩේ කිහිපයක් මිලට ගෙන මගේ දෑත් මත තැබුවේය. 

Comments

Popular Posts