Image: Francesca Woodman, “House #3”, Providence, Rhode Island, (1976)

මෙම ප්‍රශ්නය මගින් යෝජනා කරන ආකාරයට දෙමළ ජාතික අරගලය පදනම් වන්නේ මෙවැනි තර්කයක් මතයි. පළමුවෙන් සිංහලයන් අතින් දෙමළ ජනතාවට අසාධාරණයන් සිදු වී තිබේ. ඉන් පසුව ඒවාට විරුද්ධව දෙමළ ජනතාව සටනක් ආරම්භ කරයි. නමුත් දෙමළ ජනතාවට එරෙහිව සිංහලයන් විසින් කර තිබෙන අසාධාරණයක් නොමැති වන්නේ නම්, දෙමළ ජනතාවගේ අරගලය මුළුමනින් අර්ථ විරහිත වෙයි. සිංහල ජාතිවාදීන් වසර ගණනක් වාදනය කරන සින්දුව මෙයයි.

නමුත් මෙය කිසි සේත්ම දෙමළ ජාතික අරගලයේ ඉතිහාසය පිළිබඳව නිවැරදි අර්ථකථනයක් නොවේ. ඒ සමගම මෙය නූතන ලංකාවේ ඉතිහාසය පිළිබඳව සාධාරණ අර්ථකථනයක් ද නොවේ. ඒ සම්බන්ධ වඩා සාධාරණ අර්ථකථනය වන්නේ කුමක්ද?

පළමුවෙන් කිව යුතු වන්නේ අප දැන් තේරුම් ගන්නා ආකායට ‘සිංහල’, ‘දෙමළ’, මුස්ලිම්’ ආදී අනන්‍යතාවයන්, අවම වශයෙන්, විසිවෙනි සියවස ආරම්භයේ දී හෝ පවතින්නේ නොමැති වන බවයි. මේ සම්බන්ධයෙන් ටොන් ගණන් ඓතිහාසික සාක්ෂි තිබේ. සත්‍ය වශයෙන්ම මෙහිදී සිංහල ජාතිකවාදයට සැකයේ උපරිම වාසිය ලබා දීමට අප කැමතිය. ඉතිහාසඥයන්, මානව විද්‍යාඥයන්, පුරා විද්‍යාඥයන් බහුතරයක් අතින් විවේචනය වන ‘නුවර සිංහල විඥානය’ පිළිබඳව මයිකල් රොබට්ස් ගේ තිසීසය වෙත අප කැමති වන්නේ එම නිසාය.

එවැනි අර්ථයකින් ගත්ත ද අපට කිව හැකි වන්නේ රජු වෙනුවෙන් සටන් කිරීමට කැඳවිය හැකි සාමූහික විඥානයක්, බුදු දහම පිළිබඳව ගැලවුම්කාරී විශ්වාසයක් සමග බැඳුනු ආකෘතියකින් පැවති බවයි. මයිකල් රොබට්ස්ම පිළිගන්නා ලෙසට මේ අර්ථයෙන් වුවත් අපට දාසය වන සහ දාහත් වන සියවස් වල සාමාන්‍ය මිනිසුන් සිතු ආකාරය සම්බන්ධයෙන් තිබෙන්නේ අතිශය දුර්වල සාක්ෂිය (අප ඉදිරියේ ඇති වස්තුව මනසින් තොරව පවතිනවා ද කියා සැක කරන ජාතිකවාදී සංශයවාදියා මෙහිදී 16 වැනි සියවසේ ඈත ගම් වල සිටි මිනිසුන් සිතු ආකාරය ටක්කෙටම වටහා ගන්නා ආකාරය දාර්ශනිකව තේරුම් කිරීම මෙහිදී වැදගත් වුවත්, දැනට එය අපි අත්හරිමු).

ඉතාම පැහැදිළි දෙය වන්නේ 19 වන සියවස අවසන් වන විට සිංහල සහ දෙමළ ලෙස සමාජය දෙකඩ වී නොතිබුණු බවයි. ඒ වෙනුවට තිබෙන්නේ අතිශය විශාල අනන්‍යතා කණ්ඩායම් ගණනක් අතර බෙදී වෙන් වුනු සමාජයකි. 19 වෙනි සියවස පුරා ගැටුම් ඇති වන්නේ බෞද්ධයන් සහ ක්‍රිස්තියානි ආගමිකයන් අතරයි. විසිවෙනි සියවසේ මුල සිංහල මුස්ලිම් ගැටුම් ඇති වෙයි (මේවායේ මූලයන් සම්බන්ධයෙන් අපට තිබෙන්නේ අතිශය ව්‍යාකූල අවබෝධයන් ය – දාර්ශනිකව රැඩිකල් සංශයවාදී වන ජාතිකවාදීන් මෙතනදී පුදුමාකාර නියතවාදීන් වනවා යන කරුණ පමණක් මෙහිදී ලකුණු කළ යුතුය).

බොහෝ දෙනා දන්නා ලෙස 1912 නියෝජිත මණ්ඩලයට උගත් ලාංකිකයා ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමේ පළමු අවස්ථාවේ දී මාකස් ප්‍රනාන්දු පරදා පොන්නම්බලම් රාමනාදන් ජයග්‍රහණය කරන්නේ කුල බෙදීම වාර්ගික බෙදීමට වඩා ප්‍රමුඛ වන නිසාය. මෙය ඩොනමෝර් කොමිසම දක්වා – අවම වශයෙන් – දිව යයි. ඩොනමෝර් කොමිසමේ දී මෙරට පළමු ෆෙඩරල් ඉල්ලීම ඉදිරිපත් කරන්නේ උඩරට සිංහලයන්ය. ඒ පහත රට සිංහලයන්ගෙන් ස්වායත්ත අනන්‍යතා කණ්ඩායමක් ලෙසයි.

මේ කාලයේ උඩරට, පහතරට, ගොයිගම, කරාව, වහුම්පුර, බත්ගම, දුරාව, නැකත්, ලාංකික දෙමළ, කඳුරට දෙමළ, මැලේ ආදී බහුවිධ අනන්‍යතා කණ්ඩායම් සිය අනන්‍යතා කණ්ඩායම් සඳහා විශේෂ නියෝජනයන් ඉල්ලා සිටියි. වෙනත් ආකායකට කියන්නේ නම් සිංහල – දෙමළ ලෙස දේශපාලන බෙදීමක් මේ කාලයේ කිසි සේත් ප්‍රමුඛ වන්නේ නැත. සිංහල යනුවෙන් තනි අනන්‍යතා කණ්ඩායමක් මෙහිදී පවතින්නේ ද නැත.

මේ සියලු ඉල්ලීම් ඉදිරිපත් වන්නේ සිය අනන්‍යතා කණ්ඩායම රාජ්‍යයේ නියෝජනය වීමේ දී සංඛ්‍යාත්මක බහුතරවාදයෙන් යටපත් වීමට එරෙහිවයි. මෙය කිසි සේත් දෙමළා ගේ විශේෂ කුමන්ත්‍රණයක් නොවේ. මෙය ‘බෙදා පාලනය කිරීමේ’ සැඟවුණු බටහිර සැලැස්මක ප්‍රතිඵලයක් නොවේ. සත්‍ය වශයෙන්ම සර්වජන ඡන්ද බලය වැනි දේ ලබා දීමේ දී යටත් විජිත පාලනයට සැබෑ අභියෝගයක් වූ වාම දේශපාලනයට එරෙහිව ලාංකික ප්‍රභූ දේශපාලනය බල ගැන්වීම තිබුණි (අපි මෙරට විමුක්ති සාර්වත්‍රිකවාදයන්ගේ ඉතිහාස කතාව සම්බන්ධයෙන් ඉදිරි කාලයේ දී ධර්ම සංගායනාවක් කරන්නෙමු).

මේ අනන්‍යතා ගැටුම තුළින් බොහෝ ගැටුම් පරාජය වී අවසන් විය. උතුරේ දෙමළ අරගලය ඉතිරි වන්නේ එය විශාල භූමියක බහුතරය ලෙස දෙමළ ජනයා පවතින සුවිශේෂ ඓතිහාසික තත්වය නිසාය (අනෙක් ඉතිරි වන මූලික අනන්‍යතා කණ්ඩායම් දෙක වන්නේ කඳුරට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවයි – මේවායේ දේශපාලන උපාය මාර්ග ඓතිහාසිකව වෙනස් වෙයි).

සිංහල ජාතිවාදී ව්‍යාපාරයට මේ උතුරේ අරගලය පෙන්වා දකුණේ දේශපාලනය පාලනය කළ හැකි බව අපි පිළිගනිමු. එම හැකියාවේ තීව්‍රතාවය උච්චාවචනය විය හැකි වුවත් (මේ කාලයේ එය පවතින්නේ අතිශය දුර්වල ලෙසයි) එය විභවාත්මක ලෙස නැති වී යන්නේ නැත. නමුත් මෙහි විලෝමය වන්නේ විග්නේශ්වරන් වැනි අයට දකුණේ ජාතිවාදය පෙන්වා උතුරේ ජනතාව සංවිධානය කිරීමේ හැකියාවයි. එල්. ටී. ටී. ඊ වැනි විශාල සංවිධානයක් පරාජය කිරීමෙන් පසුව පවා දකුණේ ජාතිවාදයට උතුරේ ජාතිවාදය මුළුමනින් අවසන් කළ නොහැකි බව පැහැදිළි වේ. එයට ඉන්දියාව වැනි සාධක බැඳී තිබෙනා නිසා මෙය නුදුරු අනාගතයේ දී නැති වී යන්නේ නැත. එනිසා මේ ඉල්ලීම නිරන්තරයෙන් දේශපාලන පා පන්දුවක් ලෙස දෙපැත්තට පාස් කළ හැකිය. රනිල්, මහින්ද වැනි ප්‍රභූ නායකයන්ට අවශ්‍ය වෙලාවට සංවාදය යටපත් කිරීමට යොදා ගත හැක.

උතුරේ ජනතාවට රාජ්‍ය පාලනයේ සාධාරණ පංගුවක් ලබා දී මෙය අවසන් කිරීමේ දේශපාලන වැදගත්කම මෙයයි. මෙය අප කියන්නේ සිංහල ජාතිවාදීන්ට නොවේ. ඔවුන්ට මෙය කියා දෙනවාට වඩා මී හරකෙක්ට හේගලියානු දයලෙක්තියකය කියා දීමට කාලය වැය කිරීම ප්‍රයෝජනවත් ය. මෙය කියන්නේ දකුණේ විකල්ප කතිකාව නියෝජනය කර අයටයි.

ප්‍රශ්නය අප පළමුවෙන් තේරුම් ගත යුතුය. දෙමළ ජනතාවට දෙමළ වීම නිසා සිදු වී ඇති අසාධාරණ ලැයිස්තුවක් දිය හැකි වුවත් දෙමළ අනන්‍යතා දේශපාලනයේ පදනම වන්නේ එය නොවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ බහුතරයේ සංඛ්‍යාත්මක ආධිපත්‍යය මගින් යටපත් නොවන ලෙස ඔවුන් රාජ්‍ය පාලනයේ කොටසක් කිරීමයි. මෙම ඉල්ලීමේ ප්‍රජාතන්ත්‍රවාදී මානයක් තිබේ. හැකි ඉක්මනින් මෙය විසඳා ගන්නේ නම් අපට විමුක්ති දේශපාලනයේ මාලිමාව උතුරට දිශානත කිරීම පහසු වනු ඇත!