පාපොච්චාරණය


“පහසුවෙන් ඉඳගන්න. මගේ ඇඟිල්ල දිහා ඔහොම බලා ගෙන ඉන්න. මා ඔබට උදව් කරන්න හදන්නේ. හුස්ම ඉහළ පහළ යවන්න. ඔන්න උඩට ගත්තා. ඔන්න ආපසු හෙළුවා.ඔබේ හිත දැන් සැහැල්ලුයි. ඔබට මා කියන දේ පමණයි ඇහෙන්නේ. ඔබට දැන් නිදි මතයි. ඇස් බර වේගෙන එනවා. ඔබට දැන් හොඳටම නිදිමතයි. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. නිදි… නිදි….”

මානසික රෝහලේ විශේෂඥ වෛද්‍ය තිලක් ප්‍රනාන්දු මහතා මේ නිද්‍රාවට පත් කළේ, මතු පිටින් කිසි අසනීපයක් පෙනෙන්න නැති , එහෙත් අසාමාන්‍ය මානසික ව්‍යාධියකින් පෙළෙන ආරියදාස වීරසිංහ යන අයයි.
ඔහු රජයේ ලිපිකරුවෙක්.දෙදරු පියෙක්. හොඳ සැමියෙක්. හොඳ මිත්‍රයෙක්. හොඳ අසල්වැසියෙක්. යහපත් පුරවැසියෙක්. එහෙනම් මොකක්ද මේ ප්‍රශ්නේ ?…..

උදේ හොඳින් නිවසින් පිටවන ඔහු හවස ආපසු එන්නේ යකා ආරූඪ වෙලා වගේ. වෙනත් කාගෙන් හෝ සිදුවූ වරදකට..සිත් රිදවීමකට කාගේ හෝ එල්ලෙන්න බලා ගෙන. ඉස්සරහට හමුවන්නේ ඔහුගේ බිරිඳද , දරුවන්ද කියන එක ඔහුට ප්‍රශ්නයක් නෙවේ. අතට අහුවන කුමකින් හෝ ඔවුන්ට පහර දුන්නා. ඒත් තත්පර කීපයකින් සියල්ල සමතයකට පත් වෙනවා. පොඩි එකෙක් වගේ පහර කෑ එකා බදා ගෙන වැලපෙනව.

” මම පොරොන්දු වෙනව. ආයෙ නම් මෙහෙම වෙන්නේ නැහැ” ඔහු බිරිඳට පොරොන්දු උනා.
” අනේ ඔයාගෙ පොරොන්දු.. කී දවසක් ඒ පොරොන්දු කඩ කරල ඇද්ද?… මම කියනවට අපි නිකමට වගේ යමුද මානසික වෛද්‍යවරයෙක් බලන්න?”
ආරියදාසගෙ වයසේ අනික් අය කසාද බැඳල ලස්සන පවුල් ජීවිත ගත කරනව. සමහරුන්ට පෙම්වතියන් ඉන්නව. ආරියදාසට පෙම්වතියක් නෑ. එයාට කවුරුවත් කැමති උනේ නැහැ එයාගෙ බාහිර පෙනුම නිසා.
ආරියදාසට හොඳ මතකයක් තිබුණා. එයා පොඩි කාලේ හරි හුරුබුහුටි සාමාන්‍ය පෙනුමැති ළමයෙක්. ඒත් පාසල් යන්න උනාම එයාගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගත්තා. ගමේ සමහරු එයාට චීනා, ජපනා කීවා. ඒත් ඒ ඇයි කියලා එයාට තේරුණේ නෑ. අසල පන්තිවල ගුරුවරුන් , විශේෂයෙන් ගුරුවරියන් එයාගේ තාත්තගෙ නම මොකද්ද කියල ඇහුවා. ඒ එකක්වත් තේරුම් ගන්න කුඩා ආරියදාසට අපහසු උනා.

පුංචි කටත් , පැතලි නාසයත් , හීන් ඇස් දෙකත් නිසා ආරියදාස ශ්‍රී ලාංකිකයෙකුට වඩා පෙනුමෙන් සමාන වුනේ ටිබෙට් හෝ පිලිපීන ජාතිකයෙකුට. කඩවසම් සිරුරක් වත් ඔහුට තිබුනේ නැහැ. ඔහු සමහරදාට කොණ්ඩෙ කොටට කපනව. ආයෙම වවනව. රැවුල් කපනව. පොයින්ට් එක තියනව. හිටි ගමන් සම්පූර්ණයෙන් බූ ගානව.
ආයෙම නිකටට පහළින් එළු රැවුලක් වවනව. මේ එකකින්වත් ආරියදාසගෙ මුහුණේ පෙනුම වෙනස් වුනේ නැහැ. සමහරදාට ආරියදාස ගෙදර කාමරේ දොර වහගෙන මුහුණ බලන කුඩා කණ්ණාඩියක් අරන් ලොකු කණ්ණාඩියක් ළඟට ගිහින් හරහට ඉඳල තමන්ගේ මුහුණේ පැති පෙනුම කොහොමද කියල බලනව.
අවසානයේ ප්ලාස්ටික් සැත්කමක් කරල හරි තමන්ගේ මුහුණේ විසුළු පෙනුම වෙනස් කර ගන්න ඔහු හිතුවා.
අම්ම කීවේ.. ” උඹේ ඔය කියන තරම් කැතක් නෑ. හිටපන් තව ටිකක්.. උඹේ ඉරණම් කාරි කොහේ හරි ඇති.

අම්ම හරි..වැඩි දවසක් ගියේ නැහැ. ආරියදාසට එයාගෙ ඉරණම් කාරි හමුවුනා.

ලංගම බස් එක පොල් පටවල වගේ. ආරියදාස දුවල ගිහින් ෆුට් බෝඩ් එකේ අන්තිම පඩියට ගොඩ උනා. ඊට ඉහලින් සාරි පොටක්. කළු සාරියක්.. රන්වන් පාට බෝඩරයක් තියෙන. කළු හැන්ඩ්බැග් එකක්. මුහුණ පේන්න නෑ. “බියනෙත්‍ර” ඕ ඩි කොලෝන් පුසුඹක්.
” අනේ මං වැටෙන්න යනව”
ආරියදාස වහාම ඇගේ බඳ වටා අත යවල ඈ අල්ල ගත්ත.

නාවලින් බසයට ගොඩවුනු ඇය , නුගේගොඩින් බැහැල , ආරියදාසට මොකද්ද අමුතු සැම්පලේ හිනාවකින් සංග්‍රහ කරල ” තැන්කියු” කියා ගෙනම සුපර් මාකට් එක පැත්තට ගියා.
ඒක හරිම සාමාන්‍ය සිදුවීමක්. කොච්චර සාමාන්‍යද කියනවානං , ආරියදාසට ඒ ළමය හීනෙන්වත් පෙනුනෙ නෑ.පහුවදා.. මෙන්න එයා ආයෙමත්. කළු හැට්ටයක්. සුදු පසුබිමේ පළල කළු තීරු තියෙන සාරියක් ඇඳල.

” ගොඩක් පිං.. ඊයෙ මාව බේරගත්තට. තව ඩිංගෙන් මම පාරට වැටෙනව.”
“???????”
” නෑ අයියො. මම බෝඩ් වෙලා ඉන්නෙ. විජයබා මාවතේ ගෙදරක..”
“??????????”
” කලු අග්ගල.. අවිස්සාවේල්ල බස් එකේ ගිහින් තව බස් එකක යන්න ඕන”
“???????”
” හා…. එන්න..”
එයාගෙ නම කමණි. උසේ හැටියට මහත. කෝපි මල් හිනාව. තළ එළළුයි.
එයා කැමති වෙල තියෙන්නෙ බාහිර පෙනුමට නෙවි. ආරියදාසගෙ කතාවට. අවංක අදහස් වලට.

එක් සෙනසුරාද දිනක ජෝඩුවම කලු අග්ගල ගියා. බස් එකෙන් බහින කොටම පාර අයිනෙ හිටි ගෑණියෙක් කම්මුලේ අත තියා ගත්ත.

ආරියදාස සාලෙ ඇවිදිමින් බිත්තියේ එල්ල තිබුණු පිංතූර නැරඹුව.
” ඇයි අක්කෙ.. ඔයට ඇස් දෙකක් නැද්ද”? ඒ කමණිගෙ නංගි..

” මේක මගෙ කැමැත්ත. මම එයාට කැමති උනේ එයාගෙ බාහිර රූපෙට නෙවි. මට එයා හොඳයි.. එයා හොඳ කෙනෙක්”

ආරියදාසගෙ ළමා කාලය දුක්මුසු එකක්. තරුණ කාලය ඊටත් එහා. ළමා කාලයේ අනෙක් ළමුනට තිබූ රෝද තුනේ බයිසිකළයක්වත් , ඉලංදාරි කාලෙ රෝද දෙකේ බයිසිකළයක්වත් එයාට තිබුණෙ නැහැ. නිදා ගන්න වෙනම කාමරයක් වත්…..තාත්ත ගෙදර ආවෙ ඉඳල හිටල. ඒ ආවාමත් ගෙදර රණ්ඩු. අම්මත් එක්ක. තාත්ත අම්මට වඩා වයසින් ගොඩක් වැඩි. ආරියදාස හැමදාම වගේ උදේට ඇහැරුනේ , එහෙම නැත්නම් රෑ නින්දට ගියේ ළමා මනසට නොගැලපෙන වචන රොත්තක් දෙකන් වල පුරව ගෙන. ඒ එකම මිදුලේ යා බදව පදිංචිව සිටි අම්මගෙ මල්ලියි , නෑනයි එක්ක අල්ලන රණ්ඩු නිසා. වයස අවුරුදු 15 දී විතර ආරියදාස හිතාගත්ත, එයා නම් කවදාවත් අහල පහල අයත් එක්ක රණ්ඩුවට යන්නෙ නෑ, කසාද බැන්දම එයාගේ අම්මට- තාත්තට තමන්ගෙ අයටම වගේ සලකන්නට.

ඒත් එහෙම වුනේ නැහැ.
” අනේ මේහ්.. පොඩි දුවට නං හොඳ උස මහත පෙනුම තියෙන කෙනෙක් හොයල දෙන්න ඕන” ආරියදාස තම නැන්දම්මත් එක්ක වෛර බැඳ ගත්තෙ එදා. හරියටම ඒ දෙන්නගෙ විවාහය රෙජිස්ටර් කළ දා හවස.
” අනේ ඔය උස මහත මට හොඳටම ඇති” අඩු ගානේ කමණි එහෙම කිව්ව නම් මේව මෙච්චර දිග දුර යන එකක් නැහැ.
” මොකද්ද කමණි.. ඔයාට මාව මදිද? ඊයෙවත් කිව්ව නං”….

කාලය ගෙවෙද්දි කමණි නිවුන් දරු දෙන්නෙක් බිහි කළා. දෙන්නම කෙල්ලො. මාස තුනේ නිවාඩුවෙන් පසු කමණි රැකියාවට ගියා. බබාල බලා ගන්න කෙනෙක් හොයා ගත්ත.කමණිගෙ අම්මයි තාත්තයි දෙන්නත් ආව. කොහොම උනත් සේවිකාව වැඩි කලක් හිටියෙ නෑ. හැම තැනම හෙව්වත් , තමන්ට දරා ගන්න පුළුවන් ගානට කෙනෙක් හොයා ගන්න බැරි උනා. තිබුණු එකම විසඳුම ආරියදාසගෙ අම්ම. ඔන්න ඒ අම්මත් ආව බබාල බලා ගන්න.
ඉස්සෙල්ලම දවසෙ කට්ටියම එකට එක මේසෙට වාඩි වෙලා කෑම කෑව. බබාලගෙ විස්තර කිව්ව. දෙවෙනි දවසෙ අම්මල දෙන්න දෙපැත්තක් බලා ගෙන හිටිය. ආරියදාසගෙ අම්ම TV එකේ නාට්‍යක් බල බල ඉන්න කොට කමණි ගේ අම්ම ඇවිත් ඒක් ඕෆ් කළා. ඔන්න තුන්වන ලෝක යුද්දෙ පටන් ගත්තු හැටි.
ආරියදාස උදේ වැඩට යන්න ලෑස්ති වෙලා රේඩියෝ එක දැම්ම. බණ. බණ උනත් වෙලාවකට මහ වදයක්.
” යමක් කරන කොට හොඳට හිතා බලන්න ඕන. නැත්නම් වෙන්නෙ පසුව පසුතැවිලි වෙන්න” අපෙ හාමුදුරුවෝ බණට එහෙම වදාලා.
“ඒක නම් සම්පූර්ණ ඇත්ත” කමණිගෙ අම්මා ලොකු කතාවක් ආරම්භ කලා”
” ඇයි අක්කා අපි පවුලට එකතු උනු එක වැරැද්දක්ද?”

” අම්මේ, අම්ම ගෙදර යන්ට.. මම මොනව හරි කරන්නම්..” ඒ ජනවාරි පළවැනිදාවක්. ආරියදාසගේ අම්ම අඬ අඬා යන්න ගියා. ආරියදාස බාර් එකකට ගිහින් ලා වට ෂොට් එකකුත් දා ගෙන ගෙදර ගියා.
” අද ජනවාරි පළවැනිද..මම අපේ අම්ම දොට්ට දැම්ම. ඒ මනුස්සය ආවෙ මගේ ළමයි බලා ගන්න. මේක මගේ හිතේ හැමදාටම තියෙයි…

“ඔන්න ඔය අනන් මනන් විකාර නෙවෙයි.. මේ දරු දෙන්නට යන කලක් බලා ගන්න” එහෙම කීවෙ කමණිගෙ අම්ම.
“මම කිසි වෙනසක් කරන්නෙ නැතුව හැමෝටම එක වාගෙ සැලකුව. ඒත් මං අහගෙන මෙයා අපෙ අම්මට සැරෙන් කතා කරනව. පොඩි උන් දෙන්න ගැන හිතල මම ඉවසුව, නැත්තම් මම දෙනව එයාගෙ හොම්බ කැඩෙන්ට”
” තමුසෙ කොහොමද එහෙම කරන්නෙ ? එක එකාගෙන් ගුටි කන්න අපි ළමයි හදල නෑ”
ආරියදාසට තද උනා නහුතෙටම අර ” තමුසෙ” කතාවට.
” මේ.. අන්කල්.. ඔය අයිසෙ – තමුසෙ කතාවට නං මං ආස නෑ.. හරිද ?”
එහෙම කියන්න ආරියදාසට ශක්තියක් ආවෙ කොහෙන්ද කියල බලන්න වගේ කමණි ඇස් උඩ තියා ගත්ත.

” ඕං.. මතක තියා ගන්න.. පොඩි දුවට නං හොඳට හොයල බලල කටයුත්තක් හොයන්න ඕන. මේ වගෙ හොල්මනක් නැතුව”

ඒ ටිකත් ආරියදාසට ඇහුන.. ඒත් නෑහුන ගානටම හිටිය. ඊට එරෙහිව යමක් කීවෙ නෑ.
ඒක ගෙදරක් නෙවි කුඩා ඇනෙක්සියක්. එක කාමරයයි. තිබුණේ. තිබුණු එකම කාමරය මහ ජෝඩුවට දීල කමණි-ආරියදාස ජෝඩුව නිදා ගත්තෙ. සාලෙ. එදා රෑ.. කමණි , නිදා ගන්න ලෑස්ති උනා. කමණිගෙ අම්මා..” මෙන්න මෙහාට වෙලා නිදා ගනින්. යනව කාළකණ්ණි බෝ කරන්න”… ආරියදාස මීක් කියන්නෙ නැතිව ඔහේ අහගෙන හිටියා.
තමන්ට සලකන ආකාරය ගැන ආරියදාසගෙ හිතේ තිබුනෙ කැකෑරෙන වෛරයක්.

කාලයත් එක්ක ප්‍රශ්න යටපත් උනා. ආයෙමත් පවුල් දෙකේ උදවිය යන්න එන්න පටන් ගත්ත. කෙල්ලො දෙන්න මොන්ටිසෝරි යන වයසට ලොකු උනා. මොනව වෙනස් උනත් වෙනස් නූනෙ ආරියදාසගෙ හිතෙ තිබුනු වෛරය විතරයි.

” ඔයා මොනවද රෑට තනියම කියවන්නෙ ? ඊයෙ මං බලා ගෙන ඔයා බිත්තියට ගහනව”
” නෑ මොනවත් නෑ.. මම කෙනෙක් එක්ක හිතෙන් සටන් කරනව”

කමණි ඇහැට කණට පේන කාන්තාවක් උනත් , එයාගෙ නංගි නම් පවුලේ කවුරුවත් වගෙ නෙවෙයි. හරියටම පිට ලෑල්ලක් වගේ. එයාට මනමාලයො හොයන එක තමා ප්‍රශ්නෙ.
දවසක් කමණිගෙ නංගි ආරියදාසලගෙ ගෙදර ආවා.. එදා ආරියදාස නිවාඩුවක් දාල ළමයි
බලා ගත්ත.

කමණි උදෙන්ම වැඩට යන්න ලෑස්ති වෙලා පොඩි විහිළුවක් කළා.
“ඔන්න මං වැඩට යනවා.. ඔයයි නංගියි විතරයි ගෙදර”
” ඔයාගෙ නංගි ළඟට මං යන්න.. ? ඊට වඩා හොඳයි දොර මුල්ලට ගිහින් * පාරක් ගහනව” ආරියදාස තමන්ටම කියා ගත්ත.

දවල් කෑමෙන් පස්සෙ පොඩි උන් දෙන්න හොඳ නින්දක් ගැහුව. ආරියදාසට අමුතු අදහසක් ආව.ඒ ක්‍රෝධ ගින්නත් එක්ක ආ පවිටු චේතනාවක්. කමණිගෙ නංගි කාමරෙ.. මොකද්ද වැඩක්.. පිටු පසින් ගිය ආරියදාස ඇය තදින් බදා ගෙන තොල් සිප ගත්තෙ නෑ.. විකුව…
” ඌයි.. මේ මොකද මේ? කවදාවත් මූණවත් නොබලන මිනිහ?”
” අක්ක මොකද ? නංගි මොකද ? ඔන්න ඔහොම ඉන්නව”
විනාඩි කීපයකින් සියල්ල සන්සුන් උනා. පොඩි ඉකියක් ඇහුන.
” මම ලබන මාසෙ බඳිනව. එයා දැන ගනී.. මම මොකද කරන්නේ ?”
” තමුසෙ බය නොවී ඉන්නව.. අක්කට කියල තිබුනොත් මං හොඳ වැඩක් කරනව.. තමුසෙල දන්නෙ නෑ මගෙ හැටි”
ආරියදාසට එදා රෑ හොඳට නින්ද ගියා. ලස්සන හීන ගොඩකුත් දැක්ක.

ආරියදාසගෙ යාළුවෙක් ඉන්නව. මහ රෝහලේ ෆාමසිස්ට් කෙනෙක්. සෝමරත්න.
” මචං මාර වැඩේ”
” ඇයි ආයෙම හිටලද ?”
“උඹට නං දිවැස් තියෙනවද කොහෙද … පොඩි අත් වැරදීමක්. කෙල්ලො දෙන්නත් තාම පොඩියි. අපිට තව බබෙක් ඕන නෑ.. බැරිද මේකට මොනව හරි කරන්න ?”
” මං බෙහෙතක් ලියවල දෙන්නම්. හැබැයි මාස තුන හතරක් ගිහින් නම් අපි දෙන්නම ගස් යන වැඩක්”
කමණිගෙ නංගිගෙ මඟුල්දා , ආරියදාස අර බෙහෙත් පෙති ටිකක් දුන්න ඇයට බොන්න කියල. හරියටම හනිමූන් දා අර මාසෙකට සැරයක් හැදෙන ලෙඩේ හැදුනා. පහුවදා අළුත් මස්සිනාගේ ජයග්‍රාහි හිනාව දැක්කමආරියදාසට පස්ස පැත්තෙනුත් හිනා ගියා.
ආරියදාසට එදා රෑත් හොඳට නින්ද ගියා.

” මචං සෝමෙ..”
” ඒ පාර මොකද ?”
“නෑ බං.. එහෙම එකක් නෙවේ. අපෙ අම්මටයි , තාත්තටයි දෙන්නටම සනීප නෑ. ඩයබිටිස්. හොඳටම නැගල. මාසෙකට සැරයක් ක්ලිනික් යනව. මට නිතරම යන්න එන්නත් බෑ. උඹට බැරිද මාස දෙක තුනකට සෑහෙන්න බෙහෙත් ටිකක් දෙන්න.?”
මහගෙදර කවුරුවත් නැති නිසා ඒක කුලියට දීල කමණිගෙ අම්මයි තාත්තයි දෙන්න ආරියදාසලගෙ ගෙදර ආවා.

දැන් කාලයක ඉඳල ආරියදාස තමයි උදෙන්ම නැගිටල ගෙදර හැමෝටම තේ හදන්නෙ. එක දවසක් මාමණ්ඩිගෙ තේ එකට අර දියවැඩියා පෙති දෙක තුනක් කුඩු කරල දාන්නත් අමතක කළේ නැහැ. මේක මාස දෙක තුන විතර එක දිගට සිදු උනා.
ආරියදාස දවස ගත කළේ හරි ප්‍රබෝධයකින්.

මාමණ්ඩි දවසක් ඇද ගෙන වැටුනා. කලන්තෙ දාල. තාප්පෙ හදන්න ගෙනල්ල තිබුනු කළු ගලක ඔළුව වැදිල ලේ ටිකකුත් ආවා. සිහිය නැති උනා. ඉස්පිරිතාලෙට අරන් ගියා. ආපහු සිහිය ආවෙ නෑ. ඒක ස්වභාවික මරණයක්.
ආරියදාස අවමඟුල් කටයුත් මහත් ඕනෑකමකින් ඉටු කළා. දර සෑයට ගිනි තිබ්බෙත් ආරියදාසමයි.

ඊට අවුරුද්දකට පස්සෙ කමණි ගෙ අම්ම බාත් රූම් එකේ ලිස්සල වැටුනා.ඉස්පිරිතාලෙට අරන් ගියා. සතියක් විතර “කෝමා” එකේ හිටිය. ආපහු සිහිය ගන්න බැරි උනා. ඒකත් ස්වාභාවික මරණයක්.
කමණි -ආරියදාස යුවලගෙ නිවුන් දියණියන් දෙන්නා දැන් ලොකුයි. අවුරුදු 18 ක්. ආරියදාස මොකක් හරි සුළු දෙයක් ලොකු කරගෙන හැමදාම වගේ කමණිත් එක්කයි , දුවලත් එක්කයි රණ්ඩු කළා. බඩු මුට්ටු , පිඟන් කෝප්ප පොළොවේ ගැහුවා.
ඒත් එක් දිනක්, “තාත්තෙ , තව අවුරුදු කීයක් අපි මේව බලන්න ඕනද? තාත්තට මොකක් හරි ප්‍රශ්නයක් – අසනීපයක් තියෙනවද?”

” කමණි මම කැමතියි ඔයාගෙ යෝජනාවට. අපි දොස්තර කෙනෙක් බලන්න යමු”
මනෝ වෛද්‍ය තිලක් ප්‍රනාන්දු , ආරියදාස අවසිහියෙන් කී හැම දෙයක්ම පටිගත කළා.
මේක අවුරුදු 18 කට පමණ පෙර සිදුවූ දෙයක්. ඔහු කල්පනා කළා. අවංක රජයේ සේවකයෙක් ලෙස තම යුතුකම ඉටු කළා. ආරියදාස අත් අඩංගුවට ගැණුනා.

“මිසිස් ආරියදාස , ඔයාගෙ හස්බන්ඩ්ගෙ මේ හැසිරීමට හේතුව… එයා අතින් මිනී මැරුම් දෙකක් වෙලා තියෙන.. සෑහෙන කලකට ඉස්සර. එයා දැන් ඒකට පසුතැවිලි වෙනව. එයා නිතරම බයෙන් ඉන්නෙ. අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබුණොත් අපිට එයාව
සනීප කර ගන්න පුළුවන් වෙයි.
ඉහළ අධිකරණයේ මාස ගණනක් තිස්සේ විභාග වුනු මේ නඩුවට පුවත් පත් වලින් ලැබුණේ මහත් ප්‍රචාරයක්.

” ලංකා අධිකරණ ඉතිහාසයේ මේ වගේ දෙය සිදුවුනු ප්‍රතම වතාව මේ. කෙනෙක් බලෙන් නිද්‍රාවට පත් කරල ඔහුගේ යටි හිතට ඕනෑම දෙයක් ඇතුල් කරන්න දක්ෂ මනෝ විද්‍යාඥයෙකුට පුළුවන්. ඒ වගේමයි එහි අනෙක් පැත්තත්. කෙනෙක් මනෝ විකාරයකින් කියන දේ අධිකරණයේ සාක්ෂියක් හැටියට ගත හැකිවුවත් , කෙනෙක් වරදකරුවෙකු කිරිමට එය ශක්තිමත් මදි.උදාහරණයක් විදියට , බීමත් අයෙක් , උම්මත්තකයෙක් හෝ නින්දෙන් ඇවිදින අයෙක් කළ මිනී මැරුමකට ඔහුට හෝ ඇයට මරණ දණ්ඩණය දීම අසාධාරණයි. මොහු මානසික රෝගියෙක් බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනව. මෙය වසර 18 ක් පැරණි සිදුවීමක්. පිළිගත හැකි සාක්ෂි අද එකක්වත් නැහැ”

විනිසුරුවරයාගේ ප්‍රකාශයත් , අධිකරණ තීන්දුවත් විවාදයකට හේතු උනා. ආරියදාස නිදහස් මිනිහෙක් වුනා.

” ඔයා මට සමාවක් දෙන එකක් නැහැ?”
” අපි දෙන්නම දැන් වයසයි. මේවට මමත් වග කියන්න ඕන. මගෙ අතිනුත් ගොඩක් වැරදි උනා. ඉතිරි කාලෙවත් ලස්සනට ඉන්න බලමු”

කමණි බිඳුණු හඬින් කිව්වා.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Responses to පාපොච්චාරණය

  1. නිර්නාමික පවසයි:

    Wow… Hopefully, people will not take this as a guide.

ප්‍රතිචාරයක් ලබාදෙන්න