HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බෘහස්පතී ග්‍රහයා සෙනසුරු ග්‍රහයා පරාජය කළ හැටි!

අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළ සිටින ග්‍රහයන් අතරින් සෙනසුරු ග්‍රහයා තමයි, මේ වන තෙක් වැඩි ම පරිවාර චන්ද්‍රයන් සංඛ්‍යාවක් ඇතැයි සලකනු ලැබුවේ. ඒ චන්ද්‍රයන් ගණන 83ක්. දැන් ඒ තැන අරන් තියෙන්නේ බෘහස්පතී හෙවත් ගුරු ග්‍රහයායි. තාරකා විද්‍යාඥයන් දැන් සොයා ගෙන තියෙනවා, පරිවාර චන්ද්‍රයන් වැඩි ම ගණනක් ඇත්තේ බෘහස්පතී ග්‍රහයාට බව. ඔවුන් විසින් අලුතින් සොයා ගනු ලැබූ චන්ද්‍රයන් 12 දෙනාත් සමග සම්පූර්ණ චන්ද්‍රයන්ගේ ගණන 92ක්. 

බෘහස්පතී හෙවත් ගුරු ග්‍රහයා

දැන් සොයා ගෙන ඇති අලුත් චන්ද්‍රයන් බොහොමයක් ඉතා කුඩා ඒවායි. ඒවා කිලෝමීටර් 1 සිට 3.2 ක් දක්වා වූ විෂ්කම්භයක් ඇති ඒවායි. එයින් වැඩි හරියක් විශාල කක්ෂවල ගමන් කරන අතර ඒවාට බෘහස්පතී වටා එක් වරක් යාමට දින 550ක් විතර කාලයක් ගන්නවා. ඒ සමහර චන්ද්‍රයන් බෘහස්පතී හිරු වටා යන අතට නොවෙයි, අනික් අතටයි. බෘහස්පතීට බොහෝ දුරින් ගිය මේවා කලින් සලකනු ලැබුවේ ග්‍රාහක හැටියටයි. දැන් බෘහස්පතී කක්ෂයක ස්ථිර වූ පසුවයි, මේ චන්ද්‍රයන් ලෙස සැලකෙන්නේ. 

මේ චන්ද්‍රයන් සොයා ගනු ලැබුවේ 2021 හා 2022 අවුරුදුවලයි. ඒවා පසුගිය දා තමයි, තහවුරු කර ගත්තේ. වොෂින්ටනයේ කානගී විද්‍යායතනයේ තාරකා විද්‍යාඥ ස්කොට් ශෙපර්ඩ්ට තමයි මේවා මුලින් ම සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ. ඔහු ඒ බව අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ කුඩා ග්‍රහලෝක පිළිබඳ මධ්‍යස්ථානයට වාර්තා කළා. ඒ ආයතනය තමයි, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති කුඩා ග්‍රහ වස්තූන් පිළිබඳ විද්‍යාත්මක නිරීක්ෂණ සිදු කරන්නේ. ඔවුන් මේ පිළිබඳ නිරික්ෂණය කොට ඒවා චන්ද්‍රයන් බවට තහවුරු කළා. 

ඉන්පසු ඒවා බෘහස්පතීගේ චන්ද්‍රයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවා. 1610 වසරේදී ගැලීලියෝ ගැලිලි විසින් සොයා ගන්නා ලද ඉයෝ, යුරෝපා, ගැනිමීඩ්, කැලිස්ටෝ චන්ද්‍ර නාමාවලියට ඒවාත් ඇතුළත් වෙනවා. ඒ චන්ද්‍රයන් අතරින් ගැනිමීඩ් බුද ග්‍රහයාටත් වඩා විශාලයි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ලොකුම සඳත් එයයි. 

තවමත් මේ අලුත් චන්ද්‍රයන්ට නම් තබා නැහැ. ඉදිරි කාලයේ දී ඒවාට කුඩා ග්‍රහලෝක පිළිබඳ මධ්‍යස්ථානයෙන් අංක ලබා දේවි අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය නම් තබන්නේ කි.මී. 2.4කට වඩා විශාල ඒවාට පමණයි. අනිත් ඒවාට ලැබෙන්නේ අංකයක් පමණයි. ඒ නිසා මෙයින් අඩකට විතරයි නම් ලැබෙන්නේ. අනෙක්වා හැඳින්වෙන්නේ අංක වලිනුයි. 

බෘහස්පතී හා සෙනසුරු වගේ යෝධ වායු ග්‍රහයන් වන නෙප්චූන් හා යුරේනස් අපට වඩා බොහෝ ඈතින් ඇති නිසා තවත් චන්ද්‍රයන් හඳුනා ගැනීමට ඇති. දැනට නෙප්චූන්ට චන්ද්‍රයන් 14ක් ද, යුරේනස්ට චන්ද්‍රයන් 27ක් ද ඇතැයි තහවුරු කර ගෙන තියෙනවා. 

ෂෙපර්ඩ් ඇතුළු කණ්ඩායම මේ නිරීක්ෂණය සඳහා යොදා ගත්තේ හවායිහී පිහිටුවා ඇති සුබාරු දුරේක්ෂයත්, චිලි රටේ පිහිටුවා ඇති බ්ලැන්කෝ දුරේක්ෂයත් යන අභ්‍යවකාශ දුරේක්ෂ දෙකයි. 

ෂෙපර්ඩ් කියන්නේ මෙසේ යෝධ ග්‍රහයන් වටා චන්ද්‍රයන් එකිනෙක ගැටීම නිසා දෙකඩ වී තවත් චන්ද්‍රයන් ගණන අනාගතයේ දී වැඩි වේවි කියායි. මෙයට එක් හේතුවක් වන්නේ ඇතැම් චන්ද්‍රයන් විශාල කක්ෂවල යනවා පමණක් නොව ප්‍රතිවිරුද්ධ අතට යන නිසයි. 

බෘහස්පතී හෙවත් ජුපිටර් සූර්යයාගේ සිට පස් වැනි ග්‍රහයායි. එය පිහිටා ඇත්තේ කි.මී. මිලියන 750ක් දුරින්. එය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ හයිඩ්‍රජන් හා හීලියම් යන වායුවලින්. එය හිරු වටා යාමට වසර 12ක් ගන්නවා. දවසක කාලය පැය 9කුත් මිනිත්තු 56ක්. එහි මතුපිට පෘෂ්ඨය වර්ග කි.මී. බිලියන 61.42ක් වෙනවා. 

 - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments