HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිනීමරු ගිගුරුමෙන් බේරුණු විස්මිත දරුවෝ!

තුර්කිය හා සිරියාව යන රටවලට පසුගියදා පෙබරවාරි 6 වැනිදා දරුණු භූකම්පන දෙකකට හා පසුකම්පන 120කට පමණ මුහුණ දෙන්නට සිදුවුණා. මෙයින් රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයක් ඇති පළමු භූකම්පනය සිදුවූයේ පාන්දර 4.17ටයි. එවේලේ ඒ නගරවල බොහෝ දෙනා සිටියේ නින්දේයි. දැවැන්ත. තට්ටු ගොඩනැඟිලි, නිවාස සංකීර්ණ බිමට කඩා හැළුණේ ඒවා තුළ සිටි අය සුන්බුන් අතර සිරකරමින්. ඒ මහා කම්පනයෙන් පසු ආ පසුකම්පන මාලාව නිසා තත්වය තවත් උග්‍ර වුණා. එදා සවස 1.47ට තවත් 7.5ක ප්‍රබලත්වයක් ඇති දෙවන භූකම්පනයක් ඇති වුණා. එයින් ඉතිරිව තිබූ ගොඩනැඟිලිත් බිමට සමතලා වුණා. 

දැවැන්ත. තට්ටු ගොඩනැඟිලි, නිවාස සංකීර්ණ බිමට කඩා හැළුණේ 
ඒවා තුළ සිටි අය සුන්බුන් අතර සිරකරමින්.

මේ භූකම්පන හටගත්තේ තුර්කියට යටින් පෘථිවියේ කබොල්ලෙහි ඇති භූචලන තැටි තුනක් එකට ගැටීම නිසයි. ඒ අනුව තුර්කිය සිරියාව දෙස මීටර තුනක් (අඩි 10ක්) විතර තල්ලු වෙලා තියෙනවා. ඇනටෝලියානු තැටිය, අරාබි තැටිය හා යුරේෂියානු තැටිය තුන තමයි, එකට ගැටී ඇත්තේ. එයින් ඇනටෝලියානු හා අරාබි චලන තැටි අතර වූ ගැටීම නිසා කිලෝමීටර 225ක විභේදනයක් ඇති වෙලා තියෙනවා. කිලෝමීටර් 18ක් පොළොව යටින් සිදු වූ මේ ගැටීම තමයි තුර්කියේ ගේෂියන්ටෙප් නගරය අපි කේන්ද්‍රය කර ගෙන භූකම්පනයක් වෙමින් පොළොව මතුපිටට ආවේ. මේ විධියේ භූකම්පනයක් ඇති වීම කල් ඇතිව දැන ගන්න ක්‍රමයක් නැහැ. හැබැයි භූචලන තැටිවල පිහිටීම අනුව භුකම්පන ඇති විය හැකි ප්‍රදේශ හඳුනා ගෙන තියෙනවා. ඒ අනුව ඒවායින් අවම හානි ලබා ගැලවෙන උපදෙස් දෙන්න පුලුවන්. 

මෙය මේ කලාපයේ පසුගිය සියවස තුළ සිදු වූ දරුණුම භූකම්පන දෙක ලෙස සැලකෙනවා. ඒ නිසා ඇති වූ පසුකම්පන මාලාවකට ඒ දෙරටේ වැසියන්ට මුහුණ දෙන්න සිදු වුණා. දැවැන්ත ගොඩනැගිලි පොළොවට සමතලා වුණා. දැන් ජනතාව දහස් ගණනින් ඒ සුන්බුන් අතර සිර වී සිටිනවා. තුර්කි ජනාධිපතිවරයා කියා තියෙනවා, මේ භූකම්පන නිසා එරට වැසියන්ගේ නිවාස 1,30,000ක් පමණ විනාශ වී ඇති බව. ‍දැනටමත් මරණ 19,000ක් ඉක්මවා ගිහින්. එය 20,000ක් වෙතැයි කලින් පළ කළ අනාවැකි බොරු කරමින් එය ඊට වඩා බොහෝ වැඩි වීමට ඉඩ ඇති බවයි දැන් කියැවෙන්නේ. 

සුන්බුන් අතර හිර වී සිටි මවක් මියයන්නට මොහොතකට පෙර 
ප්‍රසූත කළ දරුවා බේරා ගත් අයුරු.

‍අහමඩ් නම් මේ ළමයා ගලවා ගත්තේ සුන්බුන් අතරින් මතු වූ ඇඟිලි තුනක් නිසයි.
සිරියාවේ ඇෆ්රින්වල තට්ටු නිවාසයක සුන්බුන් අතරින් එළියට 
ගෙ‍න එන කුඩා දරුවෙක්.

අධික ශීතලත්, හිම පතනයත් නිසා තවදුරටත් සුන්බුන් අතර සිර වී ඇති අය වෙත මාරයා ළඟා වීමට කලින් දිවි ගැලවුම්කරුවන්ට ළඟා විය හැකි යැයි කීම අසීරුයි. සුන්බුන් අතර සිර වී සිටින අය මුදා ගැනීමට දැන් රටවල් ගණනාවකින් පැමිණි ස්වේච්ඡා සේවකයන් ඒ සඳහා දැඩි වෙහෙසක් ගන්නවා. මෙහි අනුවේදනීය තත්වයක් දකින්නට ලැබුණේ ඊට අසුවූ කුඩා දරුවන් බේරා ගැනීමේ දීයි. 

ඒ දැවැන්ත භූකම්පාවට අසුවූ සිරියාවේ ජින්දේරිස් හි නිවසක සුන්බුන් අතර හිර වූ මවක් දරුවකු ප්‍රසූත කළාය. දරුවා ජීවතුන් අතර සිටියි. එහෙත් දරුවාගේ මව පමණක් නොව පවුලේ අය සියලු දෙනාම මරණයට පත්වූහ. අසල්වැසි ඥාතීන් සුන්බුන් අවුස්සද්දී කටහඬක් ඇසී තිබේ. පසුව දිවි ගැලවුම් කරුවන් කොන්ක්‍රීට් කපා බලද්දී උපන් හැටියේ බිළිඳා හමු වී තිබේ. ඒ වන විටත් දරුවා පෙකණිවැලෙන් මවට සම්බන්ධව සිටි අතර මව මියගොස් සිටියාය. 

තවත් තැනක අහ්මඩ් නම් ළමයා මුදා ගෙන ඇත්තේ කොන්ක්‍රීට් සුන්බුන් අතරින් මතු වූ කකුලක ඇඟිලි තුනක් දැකීමෙන්. ඒ සිරියාවේ ක්වාටාමාවලයි. දකුණුදිග තුර්කියේ හුල්යා යිල්මාස් සහ අයිස් වේරා නම් ඇගේ දරුවා ගලවා ගනු ලැබුවේ භූ කම්පාවෙන් පොළොවට සමතලා වූ ගොඩනැඟිල්ලට යටවී පැය 29කට පසුවය. 

සිරියාවේ ඇෆ්රින්වලින් ආ වීඩියෝවකින් දැක්වුණේ දිවි ගැලවුම්කරුවන් කොන්ක්‍රීට් සුන්බුන් අතරින් කුඩා දැරියක මුදා ගනිද්දී ඇගේ අතින් අල්ලාගෙන ඇගේ පියා ඇයව සනසමින් සිටි ආකාරයයි. පින්තූරයේ පියා පෙනෙන්නට සිටියත් ඇය වෙනුවට, පෙනෙන්නට තිබුණේ ඇගේ අත පමණයි. ‘ඩැඩ් ඔයා ළඟ ඉන්නවා. බය වෙන්න එපා!’ පියා කොඳුරමින් සිටියා. 

තවත් වීඩියෝවකින් දැක්වුණේ හඳුනා නොගත් තැනක සිට ඔවුන් ගලවා ගන්නා ලෙස ඉල්ලමින් කුඩා දැරියන් දෙදෙනකු එවූ ට්විටර් පණිවිඩයකි. සුන්බුන් අතර සිර වී සිටින ඔවුන් ඉක්මනින් ගලවා ගන්නා ලෙස ඒ පණිවිඩයෙන් ආයචනය කර තිබුණා. 

සිර වී උන් දරුවාට වතුර පොවන අයුරු මේ විඩියෝවෙන් බලන්න. 

තවත් තැනක සිර වී සිටි දරුවකු මුදා ගන්නට වේලාව ගත වන නිසා දරුවා සනසවමින් වතුර බෝතලයක මුඩියෙන් වතුර ටිකක් පෙවීමට දිවි ගැලවුම්කරුවකු සමත් වුණා. 

කුඩා දැරියක් අසලට ආ දිවි ගැලවුම්කරුවකුට ‘මාත් මගේ සොහොයුරියත් 
මෙතැනින් එළියට ගන්නැ’යි කී අයුරු.

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments