තැලුණ පෙති.

ඒක අපේ අක්කා පැල කරපු වැල. අක්කා ගිහින් දවස් කිහිපයක් වුණාට පස්සෙයි  ඒ වැලේ මල් පිපෙන්න ගත්තේ.. ඈතින් ඇහෙන හිනා හඬ මගේ යාලුවොන්ගේ..  අක්කගේ හත් දවසේ බණට ඇවිත්.. හාමුදුරුවෝ බණ කියලා ගියා විතරයි.. මිනිස්සු පෝලිමට ගියේ කෑම කන්න. "බුෆේ තියෙන්නේ.. " කවුරුහරි කියනවා මට ඇහුනා. මට මේ සිය ගාණක් මිනිස්සු හිටියා වුණත් මහා තනිකමක් දැනෙනවා..

"අක්කේ..." මගේ ඇතුල් හිත කෑගහනවා..
ඒත් මට තාමත් කෑගහලා අඬන්න පුළුවන් වුණෙ නැහැ. දුක හිර වෙලා පපුව අස්සේ ගිනි බුර බුරා නැගෙනවා විතරයි මට දැනෙන්නේ. අම්මා කොහෙද, තාත්තා කොහෙද මට ඕන වුණත් එයාලව හොයන් යන්න. මට ශක්තියක් තිබුන් නැහැ. අම්මා තවම අඬ අඬ කාමරේ ඇති. තාත්තා සමහර විට බොනවා ඇති. ඒත් මම කොහොම මේ දුක යවන්නද.. එක කඳුලක් වැටෙන් නැතිව වේලුන හිතක් එක්ක මට දැනුනේ හිස් කමක් විතරයි. ඒ වෙනකොටත්,  මටත් අක්කා වගේ මේ ලොකෙන් අයින් වුණා නම් කියලා සියදහස් වෙනි වතාවටත් හිතිලා තිබුණේ.. 

මං මල්වැල ළඟ බිම ඉඳගෙන මල් ඇහිඳ ඇහිඳ මල් එක්ක කතා කරන්න පටන් අරන් තිබුනේ. වේලිච්ච මල් පෙති බිම තිබුනා. ඒ අතර මුකුත් හානියක් නොවුණ මලුත් බිම තිබුනා. පර මල් ගැන නම් මට දුක හිතුනේ නැහැ. ඒත් හොඳ මල්.. කවුරුහරි කඩලා.. 
අනේ මගේ අක්කේ,  දුක කියන්න කවුරුත් හිටියේ නැද්ද.. කවුන්සිලින් හරි යන්න තිබුණා. ඔයා කලෙත් සයිකොලොජිනේද.. 

"ඒක සූසයිඩ් එකක් නෙවෙයි. මිනී මැරුමක්.. සමාජය.. රස කරපු මිනිස්සු කරපු මිනීමැරුමක්."

 මං මුහුණුපොතේ පබ්ලිෂ් කලේ ඒක. මිනිස්සු රස කර කර අක්කගේ  වීඩියෝ බලපු, ශෙයාර් කරපු හැමකෙනෙක්ම,, පෝස්ට් හදපු හැම කෙනෙක්ම, කතා හදපු හැම කෙනෙක්ම.. මගේ අක්කගේ මිනීමරුවෝ.. උන්ට කවදා හරි අඬන්න වෙනවා. උන්ගෙම අම්මගේ, අක්කගේ වයිෆ්ගේ විඩියෝ එකක් ලීක් වුණ දවසට. නැත්තම්,, උන් ඊළඟ ආත්මේ ගෑනියෙක් වෙලා උන්ගේ  ලීක් වුණ දවසට. මට අක්කා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න වුවමනා වුණත්,, කවුද වැරදී කියලා මට තාම හිතාගන්න බැහැ. අක්කා ආදරෙ කරපු එක වැරදිද,, වීඩියෝ කරපු අචින්ත අයියද වැරදිද, ලීක් කරපු කම්පියුටර් කඩේ එකාද වැරදිද, නැත්තම් ගෲප් වලට දාපු හැම නරුම මිනිහෙක්මද වැරදි, එහෙමත් නැත්තම් ගෑනු දිහා බලන මේ සමාජේ ද වැරදි.. මේක ඇමරිකාවේ හරි යුරෝපයේ හරි වුණා නම්, මේ තරම් මානසික ප්‍රශ්නයක් අපේ ජීවිත වලට වෙන් නැහැ. එහෙනම් මගේ අක්කා මගේ ළඟ තාමත් ඉන්නවා.


සීතලම සීතල රාත්‍රී කිහිපයක් පසු කරලා, අව්ව හොයන් මං ගියා. හොඳට ඇඳලා, මූණෙ නැතිවෙලා තිබ්බ හිනාව හොයන්.. සමාජෙට බම්බු ගහගන්න කියලා.. සේපාලිකා මං වැටිලා තිබුණා පාරේ.. මං සේපාලිකා මල් කිහිපයක් ඇහිඳන්, පන්සලට ගියා. ආයේ කොළඹ යන්න ඕනා. අන්තිම දවස් ටික,  කැම්පස් එකේ..ඒක  ඉවරකරන් මේ ජරා සමාජයෙන් යන්න ඕනා.. පන්සලේ ගෑනු මිනිස්සු කිහිප දෙනෙක් හිටියා. උන් උන්ගේ වැඩ. පන්සලේ හාමුදුරුවෝ දැකලා මං ඒ දිහාවට ගිහින් වැන්දා. 

"ඔය දරුවාවත් හරියට හැදෙන්න.. කර්ම ශක්තිය ඉවර වුණාම, මේ ජීවිතයෙන් යන්න වෙනවා. කරන්න තියෙන්නේ ඒ දැරවිට පින් රැස් කරන එක විතරයි දැන්.."

හාමුදුරුවෝ කියන්නේ කොහොමද හරියට හැදෙන්න කියලා. වයස විසි අටක් වෙන අක්ක සෙක්ස් කරපු එක වැරදී කියලද හාමුදුරුවෝ කියන්නේ..  ඒවද බණ. මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිත වලට ගරු කරන්න ඕනා කියලා නෙවෙයිද බණ වලින් කියන්න ඕනා.

මං ඒ කතාව එතනම වල දාලා පන්සලෙන් පිට වුණා. අට ලෝ දහමින් හිත සනස ගන්නවා ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ ජීවිතයේ හිත හදාගන්න. 

මං කැම්පස් එක ඇතුලට යද්දි, කාටවත් ගාණක් වුණේ නැහැ. මං හිතුවේ මං දිහා බලන් අනික් අයටත් පෙන්නයි කියලා.. දිනයේ මාතෘකාව මායි මගේ අක්කගේ මරණයයි වෙයි කියලා. ඒත් කවුරුත් මුකුත් කිව්වේ නැහැ. එයාලා එයාලගේ වැඩ. පාරදිගට අලුත් මල් පිපිලා තිබුණා.. ඒවා වැටිලා අලුත් මාවතක් හදලා තිබුනා. මල් පෙති නොතැලෙන්න මං අඩියෙන් අඩිය තිබ්බා.

Comments

  1. Replies
    1. කාලෙකින් නේ.. ඔයා තමයි හේතුව මේක ලියන්න.🙈

      Delete
  2. හ්ම්... මරු. දුකයි, සමාජ යතාර්ථය ඕක තමයි ඉතීම් අපේ 💔

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ස්තූතියි

      Delete

Post a Comment

Popular Posts