ILT20 තරගාවලියේ Play – Off තරග වටයට සියල්ල සූදානම්

ILT20 2023

210

ILT20 තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (06) Gulf Giants සහ Sharjah Warriors කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, ඉන් ජය ලැබූ Giants ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයට පත් වුනා.

Warriors ලද පරාජය නිසා Dubai Capitals කණ්ඩායමට ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට හැකි වුනා.

ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Sharjah Warriors පන්දුවාර 18.3ක දී සියල්ලන් ම දැවී රැස් කළේ ලකුණු 107ක් පමණයි. එහි දී Warriors ඉනිම සුනුවිසුනු කර දැමූ David Wiese සිය පන්දුවාර හතර තුල ලකුණු 20කට Warriors කඩුලු 5ක් බිඳ හෙළුවා.

පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Giants පන්දුවාර 16.3ක දී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය අතර ඒ වෙනුවෙන්  Colin de Grandhomme ලකුණු 35කින් සිය දායකත්වය සැපයුවා.

  • Sharjah Warriors – 107 (18.3): Tom Kohler-Cadmore 33; David Wiese 5/20, Carlos Brathwaite 2/15
  • Gulf Giants 108/3 – (16.3): Colin de Grandhomme 35, James Vince 27; Junaid Siddique 2/27

ඒ අනුව ILT20 තරගාවලියේ මූලික වටයට නියමිත තරග 30 නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Gulf Giants සමත් වී තිබුණේ තමන් ක්‍රීඩා කළ තරග 10න් 7ක් ජයග්‍රහණය කරමින් ලකුණු 16ක් හිමි කර ගනිමිනුයි.

වනිඳු හසරංග සහ මතීෂ පතිරණ ක්‍රීඩා කරන Desert Vipers ද තමන් ක්‍රීඩා කළ තරග 10න් 7ක් ජයග්‍රහණය කළ අතර ඔවුන් ලකුණු 14ක් ලබා ගනිමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගත්තා.

තමන් මුහුණ දුන් තරග 10න් 5ක් ජයග්‍රහණය කළ MI Emirates ලකුණු 11ක් සමඟින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිකර ගනිද්දී, පසුගිය ඉරිදා දසුන් ශානකගේ ප්‍රවේගකාරී ඉනිම නිසා තරගාවලියේ සිය සිව්වැනි තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ Dubai Capitals (වැඩිම ශ්‍රී ලාංකික නියෝජනයක් සහිත කණ්ඩායම) ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත් වුනා.

ඒ අනුව මෙම කණ්ඩායම් හතර ILT20 තරගාවලියේ Play – Off තරගය වටයට සුදුසුකම් ලද අතර, එම තරග වටයේ පළමු තරගය (Qualifier 1) හෙට (08) Desert Vipers සහ Gulf Giants කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

Qualifier 2 තරගය Dubai Capitals සහ MI Emirates කණ්ඩායම් අතර බ්‍රහස්පතින්දා (09) පැවැත්වීමට නියමිත අතර එම තරගයේ ජයග්‍රාහකයා ලබන සිකුරාදා (10) දිනයේ Qualifier 1 තරගය පරාජය වූ කණ්ඩායම සමඟ (Eliminator) තරග වදිනු ඇත.

ඒ අනුව මෙම මස 12 වැනිදා (ඉරිදා) ILT20 තරගාවලියේ අවසන් මහා තරගය Qualifier 1 සහ Eliminator තරග ජයග්‍රහණය කළ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

ILT20 තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<