Aaron Finch විස්සයි විස්ස තරග රටාවට ද සමුදෙයි!

349

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ප්‍රවේගකාරී පිතිකරු Aaron Finch සිය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කළ Finchගේ මෙම තීරණය අනුව ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය මෙතෙකින් නිමාවට පත් වනු ඇත.

2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නවසීලන්තය පරාජය කරමින් පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දීමට නායකත්වය දුන් Finch, 2022 වසරේ ද සිය මව්බිමේ දී ම නැවත වරක් විස්සයි විස්ස ලෝක ශූරයින් වීමට බලාපොරොත්තු සහගත ව තරග වැදුණ ද, ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව හිමි වුනේ නැහැ.

එමෙන්ම 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අවසන් තරගය ද (ඇෆ්ගනිස්තානය සමඟ) ක්‍රීඩා කිරීමට ආබාධයක් නිසා Finchට හැකියාව ලැබුණේ නැහැ.

ඉන්පසුව පසුගිය සතියේ නිමාව දුටු BBL තරගාවලියේ දී Melbourne Renegades නියෝජනය කරමින් 38.9ක සාමාන්‍යයක් ද සහිතව ලකුණු 428ක් රැස් කරමින් සාර්ථක තරගාවලියක් නිමා කිරීමට Finch සමත් වුනා.

නමුත් නැවතත් ඕස්ට්‍රේලියාවට විස්සයි විස්ස තරගාවලියක් යෙදී ඇත්තේ මෙම වසරේ අගෝස්තු මාසයේ අග භාගයේ (දකුණු අප්‍රිකාව සමඟ) නිසාවෙන් ඔහු මෙම තීරණයට එළඹෙන්නට ඇති බව අනුමාන කළ හැකියි.

2024 ලෝක කුසලානය තෙක් තමන් කණ්ඩායමේ රැඳී නොසිටින නිසා ඒ වෙනුවෙන් අදාළ සැලසුම් සකස් කර ගැනීමට ඉඩ දෙමින් තමන් මෙම සමුගැනීම ප්‍රකාශ කරන බව Finch සිය සඳහන් කර තිබුණා.

“2024 ලෝක කුසලානය තෙක් මම ක්‍රීඩා කරන්නේ නැති බව වටහා ගනිමින්, නිවැරදි මොහොතේ ඉවත් වෙමින් කණ්ඩායමට ලෝක කුසලානය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට ඉඩ ලබා දීමට තීරණය කළා.

මම කැමතියි මගේ පවුලේ සාමාජිකයින්ට, විශේෂයෙන්ම මගේ බිරිඳ Amyට වගේම මගේ කණ්ඩායම් සාමාජිකයින්ටත්, ක්‍රිකට් වික්ටෝරියා සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙතටත් මගේ ස්තුතිය පිරිනමන්න. ඒ වගේම මගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය පුරාවටම මට විශාල සහයක් ලබා දුන් මගේ රසිකයින්ටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

2021 දී පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ලැබීම සහ 2015 එක්දින ජාත්‍යන්තර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ලැබීම මගේ වඩාත් වටිනා ම මතකයන් දෙක වේවි.

ඒ වගේම වසර දොළහක් තිස්සේ ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් හොඳම ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම මට ඉතාමත් ගෞරවයක්.”

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු ලබා ඇති පිතිකරුවා වන්නේ ද Aron Finch වන අතර ඔහු තරග 103ක දී සාමාන්‍ය 34.28ක් සහ ප්‍රහාරාත්මක වේගය 142.53ක් වැනි ඉහළ අගයක තබා ගනිමින් සමස්ත ලකුණු 3120ක් රැස් කර ගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔහු විස්සයි විස්ස අර්ධ ශතක 19 ක් සහ ශතක 2ක් ද එක් කර ගෙන තිබෙනවා.

එමෙන්ම එම විස්සයි විස්ස ශතක දෙකම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සහිත ඉනිම් තුන අතරේ වැජඹෙනවා. 2013 දී ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු 156ක් රැස් කළ අතර එය තුන්වැනි ඉහළම විස්සයි විස්ස ඉනිම වන අතර, 2018 දී ඔහු විසින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 172ක් රැස් කර ඇති අතර එය මෙතෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ක්‍රීඩකයකු විසින් ඉනිමක ලබා ගත් ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස රැඳී පවතිනවා.

නමුත් පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුල Finchගේ ප්‍රහාරාත්මක වේගය සෑහෙන්න තරමකින් අඩු වුන අතර ඔහුගේ සුපුරුදු පිති කරණ රටාව ද වියැකී යමින් තිබූ බව පෙනී ගියා.

Finchගේ මෙම සමුගැනීමෙන් පසුව ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරග රටාව වෙනුවෙන් නව නායකයකු පත් කිරීමට සිදු වන අතර ඒ සඳහා Adam Zampa, Josh Hazelwood මෙන්ම මෙවර BBL ශූරතාව ජයග්‍රහණය කළ Pearth Scorchers කණ්ඩායම් නායක Ashton Turner වද යෝජනා වනු ඇති බව විදෙස් මාධ්‍ය අනුමාන කරනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<