මතීෂ අරාබියේ වැඩ පෙන්වද්දී, කුසල් දකුණු අප්‍රිකාවේ දී වැඩ පෙන්වයි!

ILT20 2023 , SA20 2023

1452

ඊයේ (04) දිනයේ ILT20 තරගාවලියේ තරග දෙකක් සහ SA20 තරගාවලියේ එක් තරගයක් පැවැත්වුණු අතර එම තරගවල දී කුසල් මෙන්ඩිස්ගේ සහ මතීෂ පතිරණගේ දස්කම් කැපී පෙනුණා.

Gulf Giants සහ Desert Vipers

ILT20 තරගාවලියේ 27 වැනි තරගය ලෙස ඊයේ පැවැත්වුණු මෙම තරගයට Vipers නිත්‍ය සාමාජික වනිඳු හසරංග ක්‍රීඩා නොකළ නමුත් මතීෂ පතිරණ තරගයට ක්‍රීඩා කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Giants නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන්ගේ ඉනිම වෙනුවෙන් Shimron Hetmeyer විසින් වේගවත් ලකුණු 54ක් එකතු කළා.

පන්දු යැවීමේ දී Vipers වෙනුවෙන් සාර්ථක ම පන්දු යවන්නා වූ මතීෂ පතිරණ සිය පන්දුවාර 4 තුල දී ලකුණු 36ක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. එහි දී සිය පළමු පන්දුවාරයේ දී ම ප්‍රවේගකාරී පිතිකරු Chris Lynn දවා ගත් පතිරණ තරගයේ අවසන් පන්දුවාරයේ දී සාර්ථක ඉනිමක් දියත් කළ Shimron Hetmeyerගේ කඩුල්ල ද බිඳ හෙළීමට සමත් වුනා.

නමුත් සිය පිළිතුරු ඉනිම දියත් කළ Vipers කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලබා ගැනීමට හැකි වුනේ කඩුලු 6ක් දැවී ලකුණු 155ක් පමණයි.

ඒ අනුව Desert Vipers ලකුණු 25කින් පරාජය කළ Gulf Giants තරගාවලියේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ තව දුරටත් රැඳී සිටීමට සමත් වී ඇති අතර ඔවුන් මේ වන විටත් තරගාවලියේ මීළඟ වටය වන Qualifiers වෙත තේරී පත් වී අවසානයි.

Sarjah Warriors සහ Abu Dhabi Knight Riders

මේ අතර තරගාවලියේ 28 වැනි තරගය ලෙස ඊයේ පැවැත්වුණු මෙම තරගයේ දී අඛණ්ඩව තරග 9ක් පරාජය වෙමින් පැමිණි Knight Riders තරගාවලියේ ලබා ගත් එකම ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ දිනයේ සමත් වුනා.

එහි දී තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Warriors කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලබා ගැනීමට හැකි වුනේ කඩුලු 9ක් දැවී ගොස් ලකුණු 130ක් පමණයි.

එහි දී Warriors ඉනිම වෙනුවෙන් Tom Kohler-Cadmore ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Knight Riders තරගාවලියේ පළමු ජයග්‍රහණය හඹා යමින් පන්දුවාර 16 පන්දු 4ක් පමණක් වැය කරමින් කඩුලු 5ක් දැවී තරගයේ ජයග්‍රහණය සටහන් කර ගත් අතර එහි දී Knight Riders ඉනිම වෙනුවෙන් Joe Clarke වේගවත් ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුනා.

Knight Riders නියෝජනය කළ චරිත් අසලංකට මෙම තරගයේ දීත් පිත්තෙන් ඒ හැටි යමක් කළ නොහැකි වූ අතර ඔහුගේ ඉනිම ලකුණු 6කට සීමා වුනා.

ඒ අනුව තරගාවලියේ තමන්ට නියමිත තරග 10ම අවසන් කළ Knight Riders ලකුණු සටහනේ අවසන් ස්ථානයේ ම පසු වන අතර, අද දිනයේ ILT20 තරගාවලියේ 29 වැනි තරගය ලෙස Dubai Capitals සහ MI Emirates කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

මෙම තරගය Capitals කණ්ඩායමට අතිශයින් ම වැදගත් තරගයක් වන අතර, ඔවුන්ට Qualifiers තරග වටය වෙත පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් රඳවා තබා ගැනීම අවශ්‍ය නම් ඔවුන් අද තරගය ජයග්‍රහණය කළ යුතු ම එකක් බවට පත් වී තිබෙනවා.

ILT20 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන අතර, දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලිය ද මද විරාමයකින් අනතුරුව (එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු එක් දින තරගාවලිය නිසා) නැවත ක්‍රියාත්මක වී තිබෙනවා.

MI Cape Town සහ Pretoria Capitals

ඊයේ දිනයේ තරගාවලියේ තරග දෙකක් පැවැත්වීමට නියමිත ව තිබුනත්, Sunrisers Eastern Cape සහ Durban’s Super Giants කණ්ඩායම් අතර තරගය වර්ෂාවට සේදී ගිය අතර තරගාවලියේ 26 වැනි තරගය Cape Town සහ Capitals කණ්ඩායම් අතර පැවැත්වුණා.

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහට දුන් Cape Town කණ්ඩායම පන්දුවාර 19.4ක දී සියල්ලන් ම දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් වුනා.

එහි දී Cape Town වෙනුවෙන් Rassie van der Dussen ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි Capitals වෙනුවෙන් කුසල් මෙන්ඩිස් විසින් වේගවත් ආරම්භයක් ලබා දුන් අතර ඔහු පන්දු 25කින් ලකුණු 39 ක් රැස් කිරීමට සමත් වුනා.

පසුව පිටියට පිවිසි Rilee Rossouw විසින් තවත් වේගවත් ලකුණු 40ක් Capitals වෙනුවෙන් එක් කළ අතර, ඉන්පසුව ඔවුන්ගේ කඩුලු එකින් එක බිඳ වැටුණා.

තරගයේ අවසන් පන්දුවාරය වන විට තරගයේ ජයග්‍රහණය සඳහා Capitals කණ්ඩායමට කඩුලු දෙකක් අතැතිව ලකුණු 3ක් පමණක් අවශ්‍ය ව තිබූ අතර Cape Town වෙනුවෙන් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ Sam Curran සිය පන්දුවාරයේ මුල් පන්දු පහම එක් ලකුණක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් ද දවා ගනිමින් යොමු කිරීමට සමත් වුනා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා Capitals කණ්ඩායමට අවසන් පන්දුවට ලකුණු දෙකක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර Josh Little එම පන්දුවට ලකුණු දෙකක් ලබා ගැනීමට සමත් වීමත් සමඟ තරගයේ ජයග්‍රහණය Pretoria Capitals කණ්ඩායමට හිමි වුනා.

මෙහි දී Capitals කණ්ඩායම් නායක Wayne Parnell විසින් පාදයේ ආබාධයක් ද සහිතව Capitals කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් මොහොත තෙක් පිටියේ රැඳී සිටීම විශේෂයෙන්ම අගය කළ යුතුයි.

මෙම ජයග්‍රහණයත් සමඟින් SA20 තරගාවලියේ ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය තව දුරටත් තහවුරු කර ගැනීමට Pretoria Capitals සමත් වී ඇත්තේ ක්‍රීඩා කළ තරග 8න් 6ක්ම ජයග්‍රහණය කරමිනුයි.

ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් උණුසුම ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<