නිදහස හා වැසිකිළි ප්‍රශ්නය

අජිත් පැරකුම් ජයසිංහ

75වන නිදහස් දිනය සමරනු වස් ප්‍රධාන උත්සවය පැවැත්වෙන ගාලුමුවදොර පරිශ්‍රයේ රාජ්‍ය ප්‍රධානීන්, විදේශ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් සකස් කරනු ලබන තාවකාලික වැසිකිළි වෙනුවෙන් යන වියදම ගැන සංවාදයක් ඇති වී තිබේ.

2022දී ගාලු මුවදොර අරගලයට සහභාගී වූ පිරිස් වෙනුවෙන් ද මෙවැනි වැසිකිළි පෞද්ගලික සමාගමක් විසින් සපයා තිබුණු අතර ඒ වෙනුවෙන් වියදම් දැරුවේ කවුරුද යන්න ප්‍රසිද්ධ වූයේ නැත.

නිදහසින් 75 වසරක් ගතවන වර්තමාන සමයේදී අප අත්පත් කරගෙන තිබෙන සමාජ සංවර්ධනය ප්‍රකාශයට පත්වන එක් ප්‍රධාන ආකාරයක් වන්නේ සනීපාරක්ෂාවයි. එහිදී අප වැසිකිළි භාවිතා කරන ආකාරයේ සිදුවී තිබෙන වෙනස ඉතා වැදගත්ය.

අතීතයේදී මළපහ කිරීමේ ක්‍රියාව සඳහා භාවිතා කළ පදයක් වූයේ එළිබැසීමයි. එයින් අදහස් කරන්නේ එම කාර්යය කරන්නේ එළිමහනක බවයි. ඒ වෙනුවෙන්ම වෙන් කළ බිම් කට්ටි ද එකල තිබිණි. එය නිවසින් බඹ තිහක් ඈතින් තිබුණු නිසා එම භූමිය තිස්බඹේ ලෙස ද හැඳින්විණි.

අනුරාධපුර, පොළොන්නරු යුගවලට අයත් නටබුන් අතර අතීතයේ පැවති ඉතා දියුණු වැසිකිළි හා කැසිකිළි හමුවේ.

ඒ කෙසේ වෙතත්, 1948දී ලංකාව නිදහස ලබාගන්නා සමය වන විට ලංකාවේ සාමාන්‍ය, ගැමි ජනයා අතර වැසිකිළි භාවිතය එතරම් දියුණු තත්වයක පැවතියේ නැත. 1920-1930 ගණන්වල ලංකාවේ මිනිස්සුන්ට වැසිකිළි යාම පුරුදු කරවන්නට රජය රටේ නොයෙකුත් පළාත්වල ප්‍රසිද්ධ වැසිකිළි ඉදි කළ බව ද, එබඳු වැසිකිළියක් මාතලේ-දඹුල්ල මහාමාර්ගයේ මඩවල ග්‍රාමයේ මෑතක් වනතුරුම තිබුණු බව ද අපගේ පාඨකයකු විසින් පවසන ලදි.

එළිමහනේ මළපහ කිරීම, වැසිකිළි යාමෙන් පසු ගුද මාර්ගය නිසි පරිදි පිරිසිදු නොකිරීම හා ගුදය පිරිසිදු කිරීමට භාවිතා කරන ලද අත සේදීමට සබන් භාවිතා නොකිරීම නිසා අපේ රටේ මිනිසුන් අතර බරපතල සනීපාරක්ෂක ප්‍රශ්න අතීතයේදී තිබිණි. කොකු පණු රෝගය ඒ අතරින් ප්‍රධාන ගැටලුවකි.

කේ. ජයතිලකගේ ‘අපටත් වැසිකිළියක්’ කෙටි කතාවේ කොකු පණු රෝග වසංගතය වළක්වන්න ගැමි ගෙදරකට වැසිකිළියක් හදාගන්න ආණ්ඩුව පහසුකම් ලබාදෙයි. සෑදූ වැසිකිලිය ලස්සනට තිබෙන අතර පවුලේ අය එය භාවිතා කිරීමට ලැජ්ජා වෙති. හැමෝම පුරුදු විදියට සොබා සෞන්දර්යය නරඹමින් වැඩේ කරන අතර වැසිකිළියට මුලින් ම යන්නේ ගෙදර ඉන්න කැරැළිකාර කොල්ලෙකි.

මුලින් නිවසට දුරින් තිබුණු වල වැසිකිළි හෝ ඇල්බොරාදා චිත්‍රපටයේ ඇති ආකාරයේ බාල්දි වැසිකිළි වෙනුවට පසුව ජල මුද්‍රිත උක්කුටික පෝච්චි සහිත වැසිකිළි ආදේශ විය. පසුව, නිවසට යාබදව කොමෝඩ් සහිත වැසිකිළි සාදන ලදී. වර්තමානය වන විට වියළි වැසිකිලි ගැන අපි සැලකිලිමත් වන්නෙමු. නිවසක් ඉදිකරන විට වැසිකිළිය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්නෙමු. ඒ අප අත්පත් කරගත් භෞතික සංවර්ධනයයි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%කට වැඩිදියුණු කළ සනීපාරක්ෂක ආවරණය ලැබෙන මුත්, නල මාර්ගයෙන් මළාපවහනයට ප්‍රවේශය තිබෙන්නේ ජනගහනයෙන් 2% කට පමණක් බව ශ්‍රී ලංකාවේ වඩත් මෑතදී සිදුකරන ලද ජනගහන සෞඛ්‍ය සමීක්ෂණය (DHS) පෙන්වා දෙයි. ජල පහසුකම් වැඩිදියුණු කිරීමට අරමුදල් වෙන් කළ ද මළ බැහැර කිරීමේ පහසුකම් වැඩි කිරීමට ශ්‍රී ලංකාව මුදල් වැය කරන්නේ අඩුවෙන් බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව, සංස්කෘතික කාරණයක් විය හැකිය.

ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ ළමයින්ට නිසි පරිදි වැසිකිළි භාවිතා කරන හැටි උගන්වන්නේ නැතිකමයි. බොහෝ පාසල්වල වැසිකිළි අපාය වැනිය. පොදු වැසිකිළිවල හා පොදුවේ භාවිතා වන හෝටල්වල වැසිකිළි වැනි ඒවායේ තත්වය ද එයයි.

රෝං ජෙනරේෂන් එක අරගලයෙන් අත්පත් කරගත් මන්දිරවල පවා වැසිකිළි කඩා බිඳදමා තිබීම අපගේ අවධානයට යොමු වූ කරුණකි.

නිදහසින් 75 වසරකට පසුවත් ලාංකික නව පරපුර පවා ශරීරයේ ගුද ප්‍රදේශය නොවැදගත් ප්‍රදේශයක් ලෙස තවමත් සලකන්නේ ඒ නිසා විය හැකිය.