HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබේ සුරතලාගේ ඇසින් ඔබ දෙස බලන්න!

ඔබේ සුනඛ සුරතලාට ඔබව පෙනෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට අපූරු උත්තරයක් දෙන්නට පරිගණක විශේෂඥයන් සමත් වෙලා තියෙනවා. ඒ පරිගණකයෙන් ක්‍රියාවට නැංවිය හැකි නවතම අන්තර්ක්‍රියාකාරී මෙවලමක් නිර්මාණය කරමින්. මේ මෙවලම මගින් ඔබේ ඕනෑම ඡායාරූපයක් ඔබේ සුනඛ සුරතලා දකින ආකාරයට පරිවර්තනය කර ගැනීමට ඔබට පුලුවන්. 

බල්ලන්ට, බළලුන්ට මිනිසුන්ට මෙන් වර්ණ විශාල ප්‍රමාණයක් පෙනෙන්නේ නැහැ.

මෙය ඔබේ සුනඛ සුරතලාට පමණක් නොව ඔබ ඇසුරු කරන ඕනෑ සුරතල් සතකුට අදාළයි. බල්ලකුට, බළලකුට, සාවකුට පමණක් නොව කුරුල්ලකුට වුවත් ඔබව ඔවුන්ගේ ඇස්වලට පෙනෙන හැටි මේ නවතම අන්තර්ක්‍රියාකාරී මෙවලමෙන් දැක ගන්න පුලුවන්. ‍ඒ හැම සතකුගේම ඇස් මිනිස් ඇසට වඩා වෙනස්. ඔවුන්ගේ දෘෂ්ටි පථයත් මිනිස් ඇසට වඩා එහෙමපිටින් ම වෙනස්. ඔවුන්ට අපට පෙනෙන හැම වර්ණයක් ම ඒ අයුරින්ම පෙනෙන්නේ නැහැ. ඒ වගේම සමහර සතුන්ට අපට නොපෙනෙන කිරණ පෙනෙනවා. මේ නව මෙවලම ඔබ දෙන ඕනෑම ඡායාරූපයක් ඒ ඒ සතාට පෙනෙන හැටි දැක පුලුවන්. 

මිනිස් ඇස පසුපස ඇති ප්‍රභාප්‍රතිග්‍රහක සෛල තමයි, ආලෝකයට ප්‍රතිචාර දක්වන්නේ. ඇස තුළ තියෙනවා, දෘෂ්ටි කේතු හා යෂ්ටි කියා දෙවර්ගයක්. යෂ්ටි තමයි සංවේදනය වන්නේ චලනයට හා රාත්‍රි පෙනීමට. කේතුවලින් තමයි වර්ණ හඳුනා ගන්නේ. මිනිස් ඇසෙහි තියෙනවා, කේතු සෛල තුන් වර්ගයක්. ඒ තුන් වර්ගය වර්ණ තුනකින් එක් වර්ගයකට සංවේදියි. ඒ වර්ණ තුන තමයි, රතු, කොළ හා නිල්. 

බල්ලන්ගේ ඇස්වල ඇත්තේ කේතු සෛල දෙවර්ගයක් විතරයි. ඒවා නිල් හා කහ වර්ණවලට විතරයි සංවේදී වන්නේ. එයින් අදහස් කෙරෙන්නේ උන්ට පේන්නේ ඒ වර්ණ විතරයි. ඊට අමතරව අළු හා අඳුරු වර්ණ පෙනෙනවා. ඒක හරියට සියයට නවයක් පමණ සිටින, රතු-කොළ වර්ණ අන්ධ මිනිසුන්ට වර්ණ පෙනෙනවා වාගෙයි. ඔවුන් කොළ වර්ණය රතු වර්ණය ලෙස වරදවා දකින්නේ ඒ නිසයි. ‍

කෙසේ වෙතත්, සුනඛ ඇසෙහි දෘෂ්ටිවිතානයෙහි මේ යෂ්ටි සෛල වැඩියෙන් ඇති නිසා ඒ සතුන්ට මිනිසුන් වඩා රාත්‍රී කාලයේ පෙනීමත් චලනයත් දෙකම හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සුනඛයන්ගේ ඇස් අංශක 20 කෝණයකට පිහිටන නිසා හාත්පස පෙනීම අපට වඩා වැඩියි. ඒ නිසා සුනඛයන්ට අංශක 240ක දෘෂ්ටි පථයක් තියෙනවා. මිනිසාට ඇත්තේ අංශක 180 දෘෂ්ටි පථයක් විතරයි. ඒ වුනාට ඔවුන්ට ත්‍රිමාන දේ ඒ ආකාරයෙන් පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ ගැඹුර හඳුනා ගන්නේ නැහැ. 

බල්ලන් තමන්ට පෙනීමෙහි ඇති අඩුපාඩුකම් වෙනත් සංවේදන හැකියාවලින් හරි ගස්සා ගන්නවා. එයින් එකක් තමයි තියණු ඉව. ඔවුන්ගේ ආඝ්‍රාණ ශක්තිය අපේ මෙන් 10,000ත් 100,000ත් අතර ගුණයකින් වැඩියි. ඔවුන්ගේ ඇස් පෙනීම කල්යාමේ දී අඩු වුනත් ඒ අඩුව ඉව තියුණු වීමෙන් සපුරා ගන්න ඔවුන්ට පුලුවන්. 

බල්ලන්ට කහ සහ නිල් වර්ණ විතරයි, පෙනේනේ. රතු වෙනුවට ඔවුන්ට පෙනෙන්නේ තද දුඹුරු පාටයි. කොළ වෙනුවට පෙනෙන්නේ ළා දුඹුරු පාටයි. දම් වෙනුවට නිල් පාටයි.(ඉහළ) මිනිසාට වර්ණ පෙනෙන හැටි

බල්ලන්ට, බළලුන්ට මිනිසුන්ට මෙන් වර්ණ විශාල ප්‍රමාණයක් පෙනෙන්නේ නැහැ. විද්‍යාඥයන් කියන්නේ බොහෝ විට ඒ සතුන්ට පෙනෙන්නේ නිල් සහ අළු වර්ණ විතරයි කියායි. බළලුන්ගේ ඇස්වල ඇති යෂ්ටි ප්‍රභාප්‍රතිග්‍රාහක සෛල අට ගුණයකින් විතර වැඩි නිසා රාත්‍රියේ මන්දාලෝකයේ දී පවා උන්ගේ ඇස් ඉතා හොඳින් පෙනෙනවා. ඒ වගේම අපට වඩා කේතු සෛල දස ගුණයකින් අඩු නිසා බිළාල ගෝත්‍රයේ සතුන්ට දීප්තිමත් ආලෝකය ඇති විට පෙනීම බොඳ වී යනවා. ඒ නිසා ඒ සතුන් තමන්ගේ තියුණු ආඝ්‍රාණ හැකියාවෙන් ඉදිරියේ ඇති දේ හඳුනා ගන්නවා. මෙයට අමතරව ඔවුන්ගේ රැවුල් ගස් හා දත් ආදියත් උදවු වෙනවා, ඔවුන්ට ඉදිරියේ ඇති දේ ‘හඳුනා’ ගන්නට. 

පැන පැන යන සතුන්ට ඇත්තේත් වර්ණ දෙකක දෘෂ්ටියක් විතරයි. බොහෝ විට ඒ කොළ හා නිල් වර්ණවලට සීමා වෙනවා. ඔවුන් ද්විමාන දර්ශනයක් විතරයි තියෙන්නේ. යෂ්ටි සෛල වැඩියෙන් ඇති නිසා ඒ සතුන්ටත් මිනිසාට වඩා රාත්‍රියේ පෙනීම වැඩියි. 


සාවුන්ගේ ඇස් හිස දෙපස පිහිටා ඇති නිසා අංශක 360ක දෘෂ්ටි පථයම පෙනෙනවා. උන්ගේ අන්ධ බින්දුව ඇත්තේ කෙළින් ම ඉදිරියෙන්. ඇස් හිස දෙපැත්තට වෙන්න පිහිටා ඇති නිසා සමහර කුරුල්ලන්ට අංශක 300 දෘෂ්ටි පථයක් පෙනෙනවා.

කුරුල්ලන්ටත් මිනිසුන්ට මෙන්ම මුළු වර්ණාවලියම දැක ගන්න පුලුවන්. ඊට වඩා අපට නොපෙනෙන වැඩිපුර වර්ණත් ඔවුන්ට දැක ගත හැකියි. මුහුණ දෙපැත්තේ ඇස් පිහිටා ඇති කුරුලු විශේෂවලට අංශක 300ක දෘෂ්ටි පථයක් තියෙනවා. ඒ වගේම බස්සන් බකමූණන් වැනි කුරුල්ලන්ගේ ඇස් මුහුණේ ඉදිරියෙන් පිහිටා ඇති නිසා පෙනෙන්නේ අංශක 150ක් විතරයි. සමහර කුරුල්ලන්ට තමන්ගේ ඇස් දෙක එකවර වෙන වෙනම වස්තූන් දෙකකට යොමු කරන්න හැකියාව තියෙනවා. 

මේ නව මෙවලම තනා ඇති ආයතනයේ ඇන්ජෙලා ලෝස් කියන්නේ, ‘අපි සුරතල් සතුන්ට ඇති බැඳීම වැඩි කරන අදහසින් තමයි, අපි මේ මෙවලම සකස් කළේ. අපේ සුරතලුන් ගැන දැන ගැනීමෙන් ඔවුන් හා අප අතර සම්බන්ධය වැඩි වෙනවා. ඔවුන් අප දෙස බලන හැටි, ඔවුන්ට වර්ණ පෙනෙන හැටි, දැන ගැනීමෙන් ඔවුන් ඇසුරු කිරීම පහසු වෙනවා.’ කියායි. 

‘තම සුරතලා‍ ප්‍රිය කරන වර්ණය දැන ගැනීමෙන් ඔවුන්ගේ ආදරය දිනා ගන්නට ඔබට පහසුවෙනවා.’ යයි ඇය වැඩිදුරටත් කියනවා. 

- පර්සි ජයමාන්න 

 

සාවුන්ගේ ඇස් හිස දෙපස පිහිටා ඇති නිසා අංශක 360ක දෘෂ්ටි පථයම පෙනෙනවා. උන්ගේ අන්ධ බින්දුව ඇත්තේ කෙළින් ම ඉදිරියෙන්. ඇස් හිස දෙපැත්තට වෙන්න පිහිටා ඇති නිසා සමහර කුරුල්ලන්ට අංශක 300 දෘෂ්ටි පථයක් පෙනෙනවා.

Post a Comment

0 Comments