මොරටුවේ අරටුවක් ලයන්ස්වරුන්ට තරු පෙන්වයි!

543

දරුණු පරාජයක් කරා ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකා A සහ එංගලන්ත Lions කණ්ඩායම් අතර පළමු නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) ශ්‍රී ලංකා පිතිකරුවන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර දැමුවා.

එහි දී මොරටු මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ 23 හැවිරිදි නිශාන් මදුශ්ක දිනය පුරාවටම නොදැවී සිටිමින් විශිෂ්ට ද්විත්ව ශතකයකින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සැරසුවා.

තරගයේ පළමු දිනය මුළුමනින්ම වරද්දා ගත් නිසා ශ්‍රී ලංකාව මීට දින දෙකකට පෙර සිටියේ අතිශයින්ම අවදානම් අඩියකයි. එහි දී කාසියේ වාසිය දිනා පිතිකරණය තෝරා ගත් ඔවුන් ලකුණු 136ක් තුල දී සියල්ලන් දැවී ගියා. Matthew Fisherගේ වේගපන්දුවට කඩුලු 5ක් බිලි වුනා.

සම්පූර්ණයෙන්ම වෙනස් තණතිල්ලක පිතිකරණයේ යෙදෙන අයුරක් පෙන්වූ එංගලන්ත Lions කණ්ඩායම තම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 467ක් එක්කාසු කළා. ඒ වෙනුවෙන් Tom Haines ශතකයකින් ආධාර කළා. යොවුන් ක්‍රීඩක අම්ශි ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් බිඳ දැම්මා.

මේ අනුව ලකුණු 331ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා A කණ්ඩායමට තිබුණේ සුළුපටු පීඩනයක් නම් නොවෙයි. නමුත් පළමු කඩුල්ලටම ලකුණු 203ක් එකතු කරමින් දරුණු පරාජයක අඳුරු සෙවණැලි ඈතට පා කර හැරීමට නිශාන් මදුශ්ක සහ ඕෂධ ප්‍රනාන්දු සමත් වුනා.

ඊයේ දිනයේ ඕෂධ ලකුණු 114ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ හතරේ පහර 18ක් සමඟයි. දිනය අවසන් වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 228ක් ලබා සිටියා. අද තෙවැනි දිනයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන මොහොත දක්වාම ශ්‍රී ලංකාවට අහිමි වුනේ එක් කඩුල්ලක් පමණයි.

එහි දී නිශාන් මදුශ්ක සමඟින් ලකුණු 119ක සබඳතාවයකට උර දුන් ලක්ෂිත මානසිංහ ලකුණු 73 දී දැවී ගියා. තවමත් 23 වැනි වියේ පසුවන කොළඹ නාලන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ලක්ෂිත මානසිංහ අද හතරේ පහර 11කින් සහ හයේ පහර 2කින් තම ඉනිම හැඩ වැඩ ගැන්වූවා.

ශ්‍රී ලංකාව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එංගලන්ත පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කරගෙන තිබුණා.

ලක්ෂිත පිටිය හැර යාමෙන් පසු නිශාන් සමඟ එක්වූ නුවනිඳු ප්‍රනාන්දු අද ලකුණු 80ක් රැස් කළේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ද ශතක සබඳතාවයක් ගොඩ නංවමිනුයි. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ විශ්වසනීය පිතිකරණය හමුවේ එංගලන්ත ක්‍රීඩකයින්ට තවදුරටත් විකල්ප ඉතිරිව තිබුණේ නැහැ.

පන්දු 90ක් පමණක් වැය වුනු නුවනිඳුගේ ඉනිමට අලංකාර හතරේ පහර 11ක් සහ දැවැන්ත හයේ පහර 2ක් ඇතුළත් වුනා. ශ්‍රී ලංකාව තේ විවේකය වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 449ක් ලබා සිටියේ එංගලන්ත ග්‍රහණයේ තිබූ තරගය ක්‍රමයෙන් තමන් වෙතට නතු කර ගනිමිනුයි.

නුවනිඳුගේ දැවී යාමෙන් පසුවත් එංගලන්ත ක්‍රීඩකයින්ගේ හිසරදය නිමා වුනේ නැහැ. ඒ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට නිශාන් මදුශ්ක සහ නිපුන් ධනංජය අතරේ නොබිඳුනු ලකුණු 145ක සබඳතාවයක් ගොඩ නැගී ඇති නිසයි.

තම ක්‍රිකට් දිවියේ ස්වර්ණමය ඉනිමක් ක්‍රීඩා කළ නිශාන් මදුශ්ක ඒ අතරේ තම ද්විත්ව ශතකය වාර්තා කර ගත්තා. පන්දු 370ක් පුරාවට තමාව දවා ගැනීමට ඉඩ නොදුන් මදුශ්ක ඒ අතරේ හතරේ පහර 24ක් සහ හයේ පහර 2ක් එල්ල කළේ නියම ටෙස්ට් පිතිකරුවෙකුගේ භූමිකාව නිරූපණය කරමින්.

තවමත් 23 වැනි වියේ පසුවන මදුශ්ක අද ක්‍රීඩා කළ ඉනිම ‘තවත් එක්’ ද්විත්ව ශතකයක් පමණක් නොවන්නේ පරාජයක් කරා ගමන් ගන්නා තරගයක් උඩු යටිකුරු කිරීමට ද එය හේතු වූ නිසයි. දැඩි පීඩනයක් සම්පූර්ණයෙන්ම යටපත් කරමින් විශාල ඉනිමක් කරා යාමට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය මදුශ්ක සතු බව ඔහු අද පෙන්නුම් කළා.

මේ නිසාම ශ්‍රී ලංකාව අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 3කට ලකුණු 580ක් ලබාගෙන ජයග්‍රහණයක් ගැන සුබවාදී බලාපොරොත්තු පොදි බැඳගෙන සිටිනවා. එංගලන්තය මේ වන විටත් සිටින්නේ ඔවුන්ට වඩා ලකුණු 249ක් පිටුපසිනුයි.

මදුශ්කට අනගි සහයක් ලබා දෙන නායක නිපුන් ධනංජය මේ වන විට නොදැවී ලකුණු 89ක් ලබා ගනිමින් ශතකයට ආසන්න වෙමින් සිටිනවා.

මදුශ්ක සහ ධනංජයගෙන් පසුවත් පිතිකරණ වගකීම භාර ගැනීමට සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ සහ දුනිත් වෙල්ලාලගේ වැනි විශ්වාසය තැබිය හැකි පිතිකරුවන් මග බලා සිටින නිසා මේ වන විට ශ්‍රී ලංකාව තරගය තුල සිටින්නේ අවදානම් කලාපයෙන් බැහැරවයි.

හෙට (03) සවස් භාගය දක්වා පන්දුවට පහර දුන්නොත් බොහෝ දුරට ගාල්ල තණතිල්ලේ එංගලන්තයට ළඟා වීමට නොහැකි තරමේ ඉලක්කයක් ඔවුන්ට ලබා දීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති. එම තීරණාත්මක දිනයේ සියලු තතු විත්ති වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<