වනිඳුගේ සුපිරි පන්දු යැවීම Desert Vipersට ජය ගෙනෙයි!

ILT20 2023

319

ILT20 තරගාවලියේ 23 වැනි තරගය ලෙස ඊයේ (31) පැවැත්වුණු තරගයෙන් Sharjah Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 22ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Desert Vipers කණ්ඩායම සමත් වූ අතර, Vipers කණ්ඩායමේ ජයග්‍රහණයට මාවත විවර කර දුන් වනිඳු හසරංග තරගයේ වීරයා බවට ද පත් වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Vipers නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළ අතර එහි දී එංගලන්තයේ Benny Howell ලකුණු 34ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Rohan Mustafa ලකුණු 31කින් Vipers ඉනිම ශක්තිමත් කළා. නැවතත් සිය පිතිකරණ දක්ෂතාවලට පැමිණීමට අපොහොසත් වූ වනිඳු ඊයේ ලබා ගැනීමට සමත් වුනේ ද ලකුණු 6ක් පමණයි.

නමුත් පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසුණු Sharjah Warriors කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු මුළුමනින් ම බිඳ වට්ටන්නට වනිඳු සමත් වූ අතර ඔහු සිය නියමිත පන්දුවාර 4 තුල දී ලකුණු 13ක් පමණක් ලබා දෙමින් Warriors කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව Warriorsට නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වුනේ ලකුණු 126ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමඟින් ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණ ගැනීමට මෙන්ම, Play-Off වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමටත් Desert Vipers සමත් වුනා.

  • Desert Vipers 148/6 (20): Benny Howell 34*, Rohan Mustafa 31; Noor Ahmed 2-27, Muhammad Jawadullah 2-36
  • Sharjah Warriors 126/8 (20): Paul Walter 27, Noor Ahmed 23; වනිඳු හසරංග 3-13, Luke Wood 3-20

එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ ද පෙරමුණට පැමිණීමටත් වනිඳු හසරංග ඊයේ සමත් වූ අතර ඔහු මේ වන විට තරග 6ක දී කඩුලු 10ක් බිඳ හෙළා තිබෙනවා. ඔහුට අමතරව එංගලන්තයේ Chris Jordan සහ ඇෆ්ගනිස්තානයේ Naveen-ul-Haq විසින් ද කඩුලු 10 බැගිනි බිඳ හෙළා තිබෙනවා.

අද ILT20 තරගාවලියේ තවත් තරගයක් Gulf Giants සහ MI Emirates කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

ILT20 තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<