ලෝකය ජය ගත් මායාකාර පන්දු යවන්නිය – දෙව්මි

671

වයස අවුරුදු 19න් පහළ මංගල ලෝක කුසලාන බාලිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නිමාවත් සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම් කරන ලද ලෝක වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ මායාකාර පන්දු යවන්නිය වූ දෙව්මි විහංඟා ද නම් කර තිබෙනවා.

තවමත් 17 හැවිරිදි වියේ පසුවෙන දෙව්මි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ අතර ඇය ලෝක කුසලාන තරගාවලියේ කාගේත් අවධානයට ලක් වූයේ මායාකාර පන්දු යවන්නියක් ලෙසයි.

වයස අවුරුදු 19න් පහළ ලෝක කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමට හැකි වීම ගැන ගොඩක් සතුටු වෙනවා. මේ වෙනුවෙන් කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙසින් කටයුතු කළ ශෂිකලා සිරිවර්ධන මිස්ගේ ඔවදන් ගොඩක් වැදගත් වුනා. ඒ වගේ ම වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහෝදර ක්‍රීඩිකාවන් දැක්වූ සහයෝගයත් නිසා තමයි මට මේ තැනට එන්න ලැබුණේ,” දෙව්මි විහංඟා ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා.

ලෝක කුසලාන තරගාවලියේ දී දෙව්මි තරග 5ක ඉනිම් 5කට සහභාගී වෙමින් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 113ක් ලබා ගන්නවා. එම දක්ෂතාව දෙවැනි වෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් නායිකා විශ්මි ගුණරත්නටයි. එම ඉනිම් අතර බංග්ලාදේශයට එරෙහිව පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 55ක් ද තිබෙනවා.

ඊට අමතර ව තියුණු තරගයකින් අනතුරුව ලකුණකින් පරාජයට පත් වූ දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දී පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු 37ක් ද තිබෙනවා.

පන්දු යැවීමේ දී දෙව්මි තරග 5 දී පන්දුවාර 20ක් යවමින් ලකුණු 116ක් ලබා දෙමින් කඩුලු 9ක් දවා ගන්නවා. එය ලෝක කුසලාන තරගාවලියේ කඩුලු ලාභී පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීමේ දී සිව්දෙනෙක්ගෙන් යුත් 5 වැනි අසුනේ හිමිකාරිත්වය ලබා ගන්නවා.

දෙව්මිගේ පන්දු යැවීම් අතර ඇමරිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 11කට ලබා ගත් කඩුලු 3 හොඳම පන්දු යැවීම ලෙසින් ඉහළින් ම ලැයිස්තු ගත වන අතර ඉන්දියාවට එරෙහිව ලකුණු 34කට ලබා ගත් කඩුලු 3ක වඩාත් සටන්කාමී පන්දු යැවීම ලෙසින් සටහන් වෙනවා.

කෙසේ වෙතත් දෙව්මි, ස්කොට්ලන්තය සමඟ පැවති පුහුණු තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ලෝක කුසලාන තරගාවලියට පෙර ම කාගේත් අවධානය දිනා ගන්නවා. එම තරගය අවසන් වන විට දෙව්මි ලකුණු 17කට කඩුලු 4ක් දවා ගන්නවා.

තරගාවලිය හොඳින් කළා කියලා සතුටු වෙනවා. මම මගේ උපරිමයෙන් කළා. ඒ වගේ ම තරගාවලියට එක් වීමෙන් ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. ඒ ලැබූ අත්දැකීම් අනාගතයට විශාල ලෙස වටිනවා. ඒ වගේ ම ප්‍රයෝජනවත් කියල හිතෙනවා. ඒත් අපිට මේ තරගාවලියේ දී මීට වඩා ඉදිරියට එන්න පුළුවන් වුනා නම් තවත් සතුටු වෙන්න තිබුණා.”

ලෝකය ජය ගත් දෙව්මි ක්‍රිකට් පිටියට අත්පොත් තබන්නේ ගිරිඋල්ල, බෝපිටිය ප්‍රදේශයෙන්. ඒ වෙද්දී ඇය බෝපිටිය මහා විද්‍යාලයේ ඉගනුම ලබා ගන්නා අවධිය.

ඇයි ද කියන්න දන්නේ නැහැ, දන්න කියන කාලේ සිට ම ක්‍රිකට් ක්‍රීඩාවට ආසයි. පොඩි කාලේ සිට ම මට මැච් බලන පුරුද්දක් තිබුණා. තනියම ගිහිල්ලත් මැච් බලනවා. මගේ කැමතිම ක්‍රිකට් ක්‍රීඩිකාව වුනේ චමරි අතපත්තු අක්කා. කවදාහරි දවසක චමරි අක්කා වගේ වෙන්න ඕන කියන ආසාව තිබුණා,” දෙව්මි තම අතීතය සිහිපත් කළා.

නමුත් මේ ගමන යෑමට දෙව්මිගේ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව බාලිකාවට විවෘත වී තිබුණේ නැහැ.

අපේ ඉස්කෝලෙ ගෑණු ළමයින්ගේ ක්‍රිකට් කණ්ඩායමක් තිබුණේ නැහැ. හැමදාම පාසලේ දී පිරිමි ළමයි ක්‍රිකට් ගහනවා බලන් හිටියා. ඒ අයත් එක්ක ක්‍රිකට් ගහන්න යන්න හිතුනත්, ඔවුන් මාව ප්‍රතික්ෂේප කරයි කියන බය තිබුණා. නමුත් දවසින් දවස මගේ හිතේ ක්‍රිකට් ගැන තියෙන ආසාව, කැමැත්ත දෙගුණ තෙගුණ වුනා.”

ඒ වෙද්දී බෝපිටිය මහා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ චාමර රනිල් මහතා.

මම ගිහිල්ලා සර් හම්බ වුනා. ක්‍රිකට් ගහන්න කැමතියි, ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. සර් කිව්වෙ ගෙදරින් කැමැත්ත අරගෙන එන්න කියලා.”

ඒ පණිවුඩයත් අරගෙන දෙව්මි ගෙදර යන්නේ කිරිල්ලියකටත් වඩා වේගයෙන්, සතුටෙන්. ඒ සතුටට දෙව්මිගේ දෙමාපියන් පිටු පෑවේ නැහැ. ඔවුන් දෙව්මිට කැමැත්තක් කරගෙන යන්න ඉඩ දුන්නා.

අම්මත් තාත්තත් ඇවිත් සර් හමු වුනා. එදා සිට ම මම ක්‍රිකට් පුහුණු වීම ආරම්භ කළා.”

බෝපිටිය විද්‍යාලයේ කොල්ලන් සමඟ හරි හරියට ක්‍රිකට් ගහද්දී දෙව්මි දෙස සමහරුන් සමච්චලයටත්, සමහරුන් පුදුමයෙනුත් වගේ බැලුවා. ඒත් ඉතිං, දෙව්මි නෙමේ ඒ දේවල් ගණනකටවත් ගත්තේ.

සමහර යාළුවෝ පවා මට දොස් කිව්වා. ඒත් මම ඒව ගණන් ගත්තේ නැහැ. මගේ ගමන මම යනවා කියල තීරණයෙන් පුහුණුවීම් කටයුතු කරගෙන ගියා.”

මේ පුහුණුවීම් අතරතුර දෙව්මි, කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පුහුණුවීම් කටයුතුවලට යොමු කෙරෙනවා. ඊට සහයෝගය දක්වන්නේ දිස්ත්‍රික් පුහුණුකරු හර්ෂ ගම්අධිකාරී මහතා. එසේ පැමිණි කෙටි කාලයකින් ම දෙව්මි දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා.

එතකොට මට අවුරුදු 12ක් 13ක් විතර ඇති. මම තමයි කණ්ඩායමේ සිටිය ළාබාලතම ක්‍රීඩිකාව.”

එතැන් සිට දෙව්මිගේ දක්ෂතා බිඳෙන් බිඳ කාන්තා ක්‍රිකට් පිටියේ වැපිරෙමින් පැවතියා. ඒ දක්ෂතා හේතුවෙන් ම පළාත් කණ්ඩායමටත් සහ එතැනින් අනතුරුව හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එක් වීමටත් වරම් ලැබුවා.

පළාත් කණ්ඩායම් හා තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන දෙව්මි එහි දී තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා ගත්තා. එම තරගාවලියේ ඇයගේ අමතක නොවන මතකය වන්නේ කොළඹ කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද අර්ධ ශතකයයි.

දිස්ත්‍රික් සහ පළාත් කණ්ඩායම්වල පෑ දක්ෂතා නිසා ඒ දවස්වල ම ශ්‍රී ලංකා කාන්තා නැගීඑන ක්‍රිකට් සංචිතය හා එක් වීමට අවස්ථාව උදා වෙනවා. අමාරුවෙන් ආ ගමනක්. ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම් සංචිතයට එක් වීමට ලැබීම ගැන ලොකු සතුටක් සහ අභිමානයක් දැනුණා.”

බෝපිටියේ සිට කොළඹ පැමිණෙන දෙව්මි, සංචිතයේ ක්‍රීඩිකාවන් හා එක් ව නවාතැන් ගන්නවා. ඒක අමුතු ම අත්දැකීමක් කියලයි දෙව්මි කියන්නේ.

පුහුණුවීම්, දේශන, වැඩමුළු රාශියකට සහභාගී වුනා. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයටත් සූදානම් වුනා.”

බෝපිටිය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන දෙව්මි, ඉන් අනතුරුව උසස් පෙළ හැදැරීම සඳහා තෝරා ගන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය.

සංචිතයේ සිටිද්දී නේවාසිකාගාරයේ සිටියා. සංචිතයේ පුහුණුවීම් නැති දවස්වල ගෙදර සිට කෝච්චියෙන් හැමදාම පාසල් ආවා. පුහුණුවීම්වලට ආවා. එහෙමයි කාලය ගත වුනේ.”

දෙව්මිගේ පියා එම්. ඒ. රෝහණ විජේරත්න මහතා පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරත වෙනවා. මව සුජීවා සුභා කුමාරි ගෘහණියක් ලෙසින් කටයුතු කරන්නේ. ගෞරවී රශ්මි ප්‍රභා නමින් ඇයට වැඩිමල් සහෝදරියක් සිටින අතර ඇය ද මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වෙනවා.

අම්මත්, තාත්තත්, අක්කත් තමයි මගේ හැම දෙයක් ම. ක්‍රිකට් පටන් ගනිද්දීත් ගෙදරින් කිව්වේ කරන්න ඕන දේවල් කියන්න, පුළුවන් විදිහට කරල දෙන්නම් කියලා. එදා වගේ ම අදටත් මට මගේ දේවල් සැලසුම් කරල දෙන්නේ ඒ අය. මම ලැබූ මේ දේවල්වලින් මටත් වඩා සතුටු වෙන්නේ ඒ අය. මට ඒ ගැන ඇත්තේ කිව නොහැකි තරමේ සතුටක්.”

බෝපිටියේ සිට තම ක්‍රිකට් ජීවිතය ආරම්භ කළ දෙව්මි අද ක්‍රිකට් පිරි කොළඹ ද ජයග්‍රහණය කරමින් ජාත්‍යන්තර දක්වා තම දක්ෂතා විහිඳුවනවා. ඒ ජයග්‍රහණ පිටුපස විශාල පිරිසක් සිටින බැව් ද පවසන ඇය ඔවුන් සියලුම දෙනාට ම කෘතඥතා පූර්ව ස්තුතිය පිරි නැමීමට අමතක කළේ නැහැ.

මම තවමත් මගේ දක්ෂතා අතර සිටින්නේ ආරම්භක අවධියේ. තවත් ගොඩක් දුර යන්න තියෙනවා. මෙතැනින් පස්සේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා එක්වෙන බලාපොරොත්තුවෙන් පුහුණුවීම් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා. මෙතෙක් ආ ගමන ගැන, මට මා ගැන නිහතමානී සතුටක් තියෙනවා. ඒ සතුටත් සමඟින් මගේ ජයග්‍රහණ සමඟ සිටි සෑම කෙනෙක්ට ම ස්තුතිවන්ත වෙනවා,” දෙව්මි විහංඟා ThePapare.com සමඟින් පැවසුවා.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා බාලිකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජය ගත් දෙව්මි විහංඟාට ThePapare.com හි උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<