හතුරු ආයෙත් බංග්ලාදේශයට?

272

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම, ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා නැවතත් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමට සූදානමින් පසු වන බව ESPN cricinfo වෙබ් අඩවිය අනාවරණය කරනවා.

මෙතෙක් කල් New South Wales සහය පුහුණුකරු වගකීම දරමින් සිටි හතුරුසිංහ සිය තනතුරින් ඉවත් වූ බව New South Wales ක්‍රිකට් බලධාරීන් නිල වශයෙන් දන්වා ඇති අතර, අනෙක් පසින් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා මගින් දැන ගන්නට ලැබෙන්නේ හතුරුසිංහ BCB (බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය) සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.

මේ අතර ඊයේ (30) BCB සභාපති Nazmul Hassan ප්‍රකාශ කළේ Russell Domingoගේ ඉවත් වීමෙන් පසු හිස් වූ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා පෙබරවාරි 18ත් 20ත් අතර දිනක නව පුහුණුකරුවෙකු සමඟ ගිවිසුම් ගත වන බවයි. ඒ කවුරුන් ද යන වග ඔහුගේ ප්‍රකාශයේ සඳහන් නොවුනත් එම නව පුහුණුකරු වන්නේ චන්දික හතුරුසිංහ බව ESPN cricinfo මගින් අණාවරණය කරනවා.

“පුහුණුකරු ඒවී, ඒ හතුරු ද නැත්නම් වෙන කවුරු හරි ද කියලා මම කියන්නේ නැහැ. BCB ඒ ගැන ප්‍රකාශ කරලා නැහැ නේ. නමුත් ඔබට දැන ගන්න ලැබේවී. ඔහු අනිවාර්යයෙන් ම එංගලන්තය තරගාවලියට පෙර (මාර්තු 1 වැනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිතයි) කණ්ඩායම සමඟ එකතු වේවි.”

නව පුහුණුකරු Hassan එසේ ප්‍රකාශ කළා.

මීට පෙර 2014 -17 කාලසීමාව තුල දී හතුරුසිංහ විසින් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ඔහුගේ මග පෙන්වීම ඔස්සේ උදා වුන බව නොරහසක්.

2017 දී සිය ධුරයෙන් ඉවත් වූ හතුරුසිංහ පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම් ලැබුවා.

හතුරුසිංහගේ හැර යාමෙන් පසුව Steve Rhodes සහ Russell Domingo යන දෙදෙනා බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකාරිත්වය දැරුවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<