Election Violence in Sri Lanka

ඡන්දෙ මොකක් වෙයිද මචං

සරත් අබේසිංහ

එහෙනං ඉතිං මෙහෙමයි මචං ………..

නිහාල් අයිය නම් ඕක දිගටම කිව්වා එහෙනං මචං මෙහෙමයි ඉතිං වැඩ වැලිකඩ බෝඩිමේ…….
මම හදන්නේ වැලිකඩ බෝඩිම ගැන කියන්න නෙවෙයි, ගමේ සභාවේ බෝඩ් වෙන්න දෙන ට්‍රයි එකට මේ මේ වගේ ගල් පෙල්ලෙන්න පුළුවන් කියන්න, මට හිතෙන හැටියට.

මෙහෙමයි මචං,
ප. පා. ඡන්දෙට දින කිව්වා. ඇප භාර ගත්තා. නොමිනේශන් භාර ගත්තා. ඡන්ද දිනය කිව්වා. ඒ ටික එහෙමයි.
ඒ වගේම හරි ෂෝක් 2023 ජනවාරි 21 දිනය, මැතිවරණ ඉතිහාස පොතේ තදින් ලියවෙන්නට ඕන. ඒ මොකද කියනවා නම් අතිශ්‍යය සාමකාමී නාමයෝජනා දිනය මෙයයි.
වාහන පෙළපාලි, ජන රැළි, මාර වලි, ලොකු ලොකු සෝබන සීන්, නැති කටට අල්ලන මයික් එකට වොයිස් කට් පාරක් දීලා පය ඉක්මන් කර ගෙදර ගිය නොමිනේශන් දිනයක්.
පොඩ්ඩක් හරි ජොලියකට තිබුණේ උඩහ පැත්තේ තැනක දෙකක නොමිනේශන් කැන්සල් වීමේ වැලපිලි විතරයි.
ගිය මැයි වෙද්දි නීතියක පාලනයක් නැතිව තිබුණු රටක් මේ තත්ත්වයට ආපු එක විශ්මිතයි. ඒකට කාට ස්තූති කරන්නද කියලා හෙමිහිට කල්පනා කරලා බලන්න ඕන.

එහෙම උනා නේ මෙහෙම වෙන්න බැයිද?
දෙපැත්තේම අය ජිල්මාල් දානවා,
මොන ජිල්මාල් දැම්මත්, ඡන්දේ පැවැත්වීම නවත්වා ගැනීම බැරිවෙන්න පුළුවන්?
මොන ජිල්මාල් දැම්මත්, ඡන්දේ පවත්වා ගැනීම බැරිවෙන්නත් පුළුවන්.

පැවැත්තුවා කියමු.
එහෙනම් ඉතිං මෙහෙමයි මචං.?
සල්ලි ප්‍රධාන අවශ්‍යතාවය. ආරක්ෂාව, ඉන්ධන ඊළග අවශ්‍යතා.
මැතිවරණය කොමිෂමට ඕනම නම් ටික ටික දෙන්නම් කියලා ඔය තුනේම අය කියාවි. ඒ හැටියට ඡන්දය තියන්න වේවි.
මේක දිස්ත්‍රික්, පළාත් වශයෙන් කඩන්න බෑ. ඒ නිසා සභා වර්ග වශයෙන් කඩලා තියන්න පුළුවන්. ඒ අනුව මහ නගර සභා මුලින්ම, ඊළඟට නගර, ප්‍රාදේශීය සභා වශයෙන්. හොඳයි නේ, වින්, වින්, ගේමක්. හරි ලොකු ටික තිව්වා එහෙනම්.

ප්‍රතිඵලය මොකක් වේද?
කිසි කෙනෙක්ට දිනන්න බෑ. 50% තියා 40% ගන්නත් බෑ කාටවත්.
බලය පිහිටුවීම හා පුරපති තේරීම ගිවිසුම්, කකුල් මාරු කිරීම්, සල්ලි, ඉස්සිලි, තර්ජන, ආයාචන, ජාති, කුල, ඔය සේරම හරහා රහස් ඡන්ද හා සමහර විට තුණ්ඩු වලින් සිදුවෙයි.
ඒ, ඒ සයිඩ් එකෙන්.

අනිත් පැත්තෙන් මචං,
පුංචි ඡන්දෙ දියල්ලා, ඒකෙන් ජන මතේ පෙන්නනවා. ඊළඟට පාරට බහිනවා. මහ ඡන්දේ බලෙන් තියෝනවා. ( 2023 ට ඡන්ද දෙකක සංග්‍රහයක් හිඟා කන රටට ) අපි දිනනවා. කියන අයගේ මොරාල් බහිනවා.
සජබ ජවිපෙ දෙකේ දැන් පුංචි එක, ඊළඟට ලොකු එක, කියන ලොකු සීන් එකේ හිටියේ. ඒක ඉවර වෙනවා.

හිතලා බලපං මචං,
මේකේ ගන්න ගාන ජනපතිවරණය කට අනුපාත කරාම,
සජිත්ල ලක්ෂ 70 ට යන්න ඕන නේ. අඩු වශයෙන් තිබුණු 59 පෙන්නන්න එපාය. 2018 දී මාර වැඩක් පෙන්නපු පොහොට්ටුවත් එච්චර උඩ ගියේ නෑ.

ජවිපේ 40% ක් වත් අරං පෙන්නන්න එපාය. 3% හිටපු අය එතනට එයිද? කරන වැඩ කොහොම උනත්, කියන ටික හොද නිසා, අපේ අය ඡන්දය දෙන්නේ කාටවත් පක්ෂව නොව විරුද්දව නිසා, 15% ට විතර ද ගන්න පුළුවන් වෙයි.
ඕකෙන් බෑනේ අර පෙන්නන්න හිටී ඒවා පෙන්නන්න.

අනික් පැත්තෙන් තමන් ශුද්ධ වෙයි කියන බයට හැංගි හැංගි හිටි පොහොට්ටු, එජාප, අයට හිතුවට වැඩිය හොද, ( මුන්ට ජනතාව කැමතිම නෑ කියලා දාන කින්ඩිය නවත්ත ගන්න පුළුවන් තරමේ හොද ප්‍රතිපලයක් ) ලැබෙයි.

ඔය ටික පෙනුන ගමන් රනිල්, ඉතිං පේනවා නේ ජනවරම. තව කෙරුවත් ඔහොම තමයි.
හරි නීති, හරි සීමා, හදන් හරි ඡන්දයක් තියමු කියයි.
ඡන්ද ස්ටෝරිය තියන එතනින් නිමයි මචං. පාරට බස්සන බැරි වෙනවා පවුල් වල උන්වත්.

ඡන්දේ නොපැවැත්වෙන පැත්තට හැරුනොත්,
එහෙනම් ඉතිං මෙහෙමයි මචං,

මේක කීප විදියකින් වෙන්න පුළුවන්. චාල්ස් නෝනා වගේ තව අය අස්වීමෙන්.
ඡන්දය පවත්වනවා කියන ගැසට් එක තාම ගහලා නැහැලු නේ. එහෙම එකක් ගහන්න වෙයි කියලා කියලත් නැහැලු නේ අදාල කෙනාට. ඒක නාවොත් එතනින් එහාට ඡන්ද වැඩ නවතිනවා කොමිසමේ අභ්‍යන්තර වැඩ ඇරුණාම.
ප්‍රධානම වැඩේ අධිකරණය. අධිකරණය පිළිගත්තොත් මූලික අවශ්‍යතා සපයන්න බෑ, ඕවා කරන්න ගියොත් රටේ ආර්ථිකය වලට වැටෙනවා, කන්න බොන්න දෙන ටිකත් දී ගන්න බෑ කියන එක.
ඒ එක්කම පිළිගන්න වෙනවා, පාලනයට හවුල් වීම ජනතාවට ආහාර වලට වඩා හුඟක් ඇතින් තියන අවශ්‍යතාවක් බව. ඒනිසා ආහාර වගේ දේවලට ප්‍රමුඛතාව දිය යුතු බව.

ප්‍රථිපලය ඡන්දය කෑලි කඩලා පැවැත්වීමට හෝ කල් දැමීමට අධිකරණ අවසරය ලැබීම.

කල් දැම්මා කියමු,
එහෙනම් ඉතිං මෙහෙමයි මචං,
ඔන්න වැඩේ කල් යනවා. සේරමලගෙ වගේ මොරාල් බහිනවා. විශේෂයෙන් සජබ අයගේ.
කොහොම උනත් සූදානම එහෙම්මම තියෙනවා ඡන්ද කොමිසමේ.

ඒ අස්සේ අර ඡන්ද වියදම් පණත ගැන කේස් එක උඩට එනවා. ඒ පාර ඡන්ද දිනය කල් දාලා දෙන්න, අපි අලුත් නීතියට සූදානම් වෙන්න තියනවා, කියලා අධිකරණයට කියන්න වෙන්නේ මැකෝටම තමයි.
අධිකරණය තව දිනයක් දෙයි ඡන්දය තියන්න.

එතකොට ඊළඟ දවසට ඡන්දේ තියයි ද?
ඊළඟට ඉතිං මෙහෙමයි මචං,
මෙන්න අර හිටපු මැකෝ එනවා, එයාගේ අලුත් සීමා ෆයිල් ටික උස්ස ගෙන පාර්ලිමේන්තුවට. වෙනදා වගේ කචල් නෑ, ඇදිලි පැදිලි නෑ, නව සීමා අනුමත වෙනවා.
කොට්ඨාශ ( Wards ) තිබුණා 8000 ක්, දැන් 4000යි. ඒක තමයි පාර්ලිමේන්තුව අනුමත මේ රටේ තියන සම්මත හා නිත්‍යානුකූල කොට්ඨාශ ( Wards ) ගණන.

ප්‍රශ්ණ ඉවරනේ. දැන්වත් ඡන්දේ එයිද?
පිස්සුද මචං, තව කව්රු හරි එකෙක් උසාවියට වදීවි දැන් පවතින නීතිය අනුව ඡන්දය පවත්වලා දෙන්න ස්වාමිනි කියාගෙන.
හරි එහෙම කරන්න කියලා නියෝග කරාවි නේ.
එහෙම කොහෙද මචං,
සීට් 4000 ක වාඩි කරවන්නේ කොහොමද? සීට් 8000 කට 16000 ක නොමිනේශන් අරං. ඔක්කොම කැන්සල් කරන්න වෙනවා. ඒ කියන්නේ මේ ඡන්ද කතාව ඉවරයි.

කෙටියෙන් කිව්වොත් මචං,
මේ ඡන්දය දෙවරක් කල්දාන්නත්, තෙවැනිව නාමයෝජනා අහෝසි කරන්නත් වේවි.

සරත් අබේසිංහ, 2023.01.28