මහනුවර හමුවේ Havelocks අසරණ වෙද්දී නාවික හමුදාවට පෙරළිකාරි ජයක්

Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගය 2022/23

317

දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන Nippon Paint අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ අවසන් සතියේ තරග පසුගිය දා නිමාවට පත් වුනා.

එම සතියේ තරගවලින් මහනුවර ක්‍රීඩකයින් Havelocks ක්‍රීඩකයින් සිය සත්කාරක පිටියේ දී ම අසරණ කරමින් ජයග්‍රහණය ලබා ගනිද්දී, නාවික හමුදාව සහ CR&FC ක්‍රීඩකයින් කුසලාන සුපිරි වටයේ ස්ථාන තහවුරු කර ගත්තා.

Kandy SC v Havelocks SC

Havelocks ක්‍රීඩකයින් සිය සත්කාරක පිටිය තුළ 35-15ක් ලෙස පරාජය කර අමතර ප්‍රසාද ලකුණක් සමඟ ජයග්‍රහණය ලබා ගැනීමට වත්මන් ශූර මහනුවර ක්‍රීඩකයින්ට හැකි වුනා.

තුන්වැනි මිනිත්තුවේ ම ප්‍රතිවාදීන් අබිබවා උත්සාහක දිනුමක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයින් සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම් ත්‍රිත්වය තරින්ද රත්වත්ත, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ තිලිණ බණ්ඩාර වාර්තා කළා.

මහනුවර පසුපෙළ ප්‍රබලත්වය හමුවේ පළමු අර්ධය තුළ Havelocks ක්‍රීඩකයින්ට ලබා ගත හැකි වුනේ දඬුවම් පහරක් පමණයි.

දෙවැනි අර්ධය සඳහා ප්‍රබල ලෙස පිවිසීමට Havelocks ක්‍රීඩකයින් උත්සාහ කළත්, එම අර්ධයේ ද Havelocks ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කළ තරින්ද රත්වත්ත තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා.

Havelocks වෙනුවෙන් පළමු උත්සාහක දිනුම 50 වැනි මිනිත්තුවේ දී ශෙහාන් ඩයස් විසින් වාර්තා කළා අතර දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේ දිනුප සෙනවිරත්න විසිනුයි.

නමුත් ඔවුන්ට ඉන්පසු කිසිදු අවස්ථාවක් සාර්ථක කර ගැනීමට මහනුවර ක්‍රීඩකයින් හමුවේ ඉඩ ලැබුණේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Kandy SC 35 – 15 Havelocks SC

CR&FC v Army SC

තියුණු සටනකින් පසුව යුද හමුදා ක්‍රීඩකයින් ලකුණු 22-18ක් ලෙස පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැන්නා ලෙස පළමු වටය අවසන් කිරීමට CR&FC ක්‍රීඩකයින්ට හැකි වුනා.

ප්‍රවර්තිත උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් තරගය ආරම්භ කළ CR&FC වෙනුවෙන් පළමු උත්සාහක දිනුම රවීන් ද සිල්වා වාර්තා විසින් කරද්දී හිටපු ඉසිපතන නායක මනිල්ක රුබේරු දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළා.

පළමු අර්ධය අවසන් වීමට කෙටි වේලාවක් තිබිය දී ක්‍රියාත්මක වූ සුදාරක දික්කුඹුර යුද හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළා.

දෙවැනි අර්ධයේ දී දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වූවත්, CR&FC වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කර කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට කළිඳු නන්දිලුට හැකි වුනා.

අවසන් මොහොත තෙක් තරගය අත්නොහැරි යුද හමුදා ක්‍රීඩකයින් හොඳ තරගයක් පෙන්නුම් කළත්, CR&FC අබිබවා යාමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

නමුත් අවසන් මොහොතේ යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් අමතර ප්‍රසාද ලකුණක් සිය කණ්ඩායමට අහිමි වීමෙන් මුදවා ගැනීමට සුදාරක දික්කුඹුරට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: Army SC 18 – 22 CR&FC

Navy SC v Air Force SC

තරගාවලියේ වාර්තා වූ හොඳම නැවත පැමිණීම සනිටුහන් කරමින් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 32-31ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණ ලබා ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනා.

පරාක්‍රම රත්නායක විසින් වාර්තා කළ ප්‍රවර්තිත උත්සාහක දිනුම් ද්විත්වය සහ නුවන් පෙරේරා වාර්තා කළ දඬුවම් පහර නිසා පළමු අර්ධය 17-03ක් ලෙස අවසන් කිරීමට ගුවන් හමුදා කණ්ඩායමට හැකි වුනා.

දෙවැනි අර්ධයේ දී සිය පැමිණීම සටහන් කළ නාවික හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ජනිත් ලක්සර විසිනුයි.

නමුත් නාවික හමුදා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් වන නිලන්ත ජයවීර සහ මෙවන් රේවකට හැකි වුනා.

ජයග්‍රහණය සඳහා ලකුණු 21ක් පිටුපසින් සිටිමින් අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් අවසන් මිනිත්තු 12 තුළ දී ක්‍රියාත්මක වූ Stephan Gregory, Mushin Faleel සහ නිරෝෂ් පෙරේරා උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළා.

ඒ සමඟ ගුවන් හමුදා කණ්ඩායම අබිබවා එක් ලකුණකින් තියුණු ජයක් ලැබීමට නාවික හමුදා කණ්ඩායම සමත් වුනේ තරගාවලියේ කුසලාන සුපිරි වටයේ ස්ථානය තහවුරු කර ගනිමිනුයි.

අවසන් ලකුණු තත්වය: Navy SC 32 – 31 Air Force SC

Police SC v CH&FC

Havelocks ක්‍රීඩකයින් හමුවේ පසුගිය සතියේ ලැබූ පෙරළිකාර ජයග්‍රහණයෙන් පසුව CH&FC ක්‍රීඩකයින් ලකුණු 27-22ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගැනීමට පොලිස් ක්‍රීඩකයින්ට හැකි වුනා.

පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු අර්ධයේ දී ලකුණු 10-09ක් ලෙසින් පෙරමුණ ගත්තේ සත්කාරක පොලිස් ක්‍රීඩකයින් විසිනුයි.

තරගය පුරාවට CH&FC වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම ප්‍රසාත් මධුශංක විසින් වාර්තා කළ අතර අනෙක් ලකුණු සියල්ල වාර්තා කළේ හිරූෂ සම්පත් විසිනුයි.

අවසන් ලකුණු තත්වය: Police SC 27 – 22 CH&FC

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<