පළමු 19න් පහළ බාලිකා T20 ලෝක කුසලානය ඉන්දියාවට

19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

247
POTCHEFSTROOM, SOUTH AFRICA - JANUARY 29: Shafali Verma of India lifts the ICC Women's U19 T20 World Cup Trophy following the ICC Women's U19 T20 World Cup 2023 Final match between India and England at JB Marks Oval on January 29, 2023 in Potchefstroom, South Africa. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

දකුණු අප්‍රිකාවේ පැවති පළමු 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරගයෙන් එංගලන්ත ක්‍රීඩිකාවන් පරදවා ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

Shafali Verma නායකත්වය දැරූ ඉන්දීය ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයේ දී එංගලන්තය කඩුලු 7කින් පරාජය කරමින් එම ජයග්‍රහණය සඳහා හිමිකම් කීවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 17.1ක් තුළ ලකුණු 68කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නියන්ට හැකි වූ අතර ඔවුන් එම ඉලක්කය පන්දුවාර 14ක් තුළ හඹා ගියා.

“එය ඉතාම ආඩම්බර අවස්ථාවක්, මේක අපේ පළවෙනි ලෝක කුසලානය”, යැයි ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩිකා Gongadi Trisha ප්‍රකාශ කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ 19න් පහළ විස්සයි විස්ස පිටියේ ආධිපත්‍ය පැතිරීමට ඉන්දියාවට හැකි වූ අතර ඔවුන් පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවති 19න් පහළ බාලක විස්සයි විස්ස තරගාවලිය ද ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී Jay Shah twitter පණිවිඩයක් නිකුත් කරමින් මෙම කණ්ඩායමට සහ නිලධාරීන්ට ඉන්දීය රුපියල් කෝටි 5ක් ලබා දෙන බව ද සඳහන් කර තිබුණා.

Titas Sadhu ප්‍රධානත්වය ගත් ඉන්දීය පන්දු බල ඇණිය එංගලන්ත ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කළ අතර Titas Sadhu ලකුණු 6කට කඩුලු දෙකක් දවා ගනිද්දී, ඇයට අනගි සහයක් ලබා දුන් Parshavi Chopra ලකුණු 13කට කඩුලු දෙකක් සහ Archana Devi ලකුණු 17කට කඩුලු දෙකක් දවා ගත්තා.

ලකුණු 69ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේ දී ඉන්දීය නායිකා Shafali Verma හොඳ ආරම්භයක් ලබා දුන්නත්, තෙවැනි පන්දුවාරයේ දී ඇයව දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

හතරවැනි පන්දු වාරයේ දී දෙවැනි කඩුල්ල ද ඉන්දියාවට අහිමි වූවත් Soumya Tiwari (නොදැවී 24) සහ Gongadi Trisha (24) ලකුණු 46ක සම්බන්ධතාවක් පිහිටුවමින් කණ්ඩායම ජයග්‍රහණයට ගෙන ගියා.

මෙම කණ්ඩායම සඳහා ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන්ගෙන් Shafali Vermaට අමතරව Richa Ghosh ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ Titas Sadhu සිය පන්දුවාර හතර තුළ dot පන්දු 20ක් යැවීමට සමත් වූ අතර ඇය යොමු කළ සිව්වැනි පන්දුවේ දීම Liberty Heap දවා ගත්තා.

මෙම ජයග්‍රහණයට සුබ පතමින් ඉන්දීය ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබීම විශේෂත්වයක්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<