එන්න, අපි නටමු!

237

ක්‍රිකට් සහ නැටුම් කියන්නේ වෙනස් ඉසව් දෙකක් වුනත්, මේ දෙකට ම රිද්මය නම් එක වගේම අදාලයි. ක්‍රිකට් තරග අතර මැද දී වගේම, තරග අවසන් වුනායින් පස්සෙත්, සමහරු ක්‍රීඩා පිටියෙන් පිටත දීත් නටනවා. ඒ හැම පාද චලනයක් ම බලා සිටින්නන් ප්‍රීති ප්‍රමෝදයට පත් කරවනවා.

ක්‍රිකට් ඉතිහාසය පිරික්සමින් යද්දී ක්‍රිකට් සහ නැටුම් එකකට එකක් එකතු වුන අවස්ථා බොහෝමයක් අපිට මුණ ගැහෙනවා. මේ එයින් විශේෂ අවස්ථා කිහිපයක්.

Brett Lee සහ Jason Gillespieගේ නැටුම්

2002 දී එංගලන්තය සමඟ පැවැත්වුණු අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු ප්‍රබල වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වුන Jason Gillespie සහ Brett Lee කියන දෙදෙනා ම කඩුලු දවා ගෙන ටිකක් අමුතු විදිහේ නැටුමක් නැටුවා.

නැටුම් වගේම දෙන්නාගේ ම පන්දු යැවීමේ දක්ෂතාත් මේ තරගාවලිය පුරාවටම කැපී පෙනුණා. තරගාවලිය අවසන් වෙද්දී Jason Gillespie තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටත් (20) පත් වෙලා තිබුණා.

අයර්ලන්ත නැටුම්

2007 ක්‍රිකට් ලෝක කුසලානය කියන්නේ බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට මතකයන් රැසක් එකතු කරපු තරගාවලියක්.

ඒ මතක අස්සේ අයර්ලන්ත ක්‍රීඩක David Langford – smith ගේ Ferret නර්තනයටත් අනිවාර්යයෙන් ම ඉඩක් ලැබිය යුතුයි.

Langfordගේ නැටුම අපිට ක්‍රිකට් පිටියෙන් දකින්න ලැබුණු ආකර්ෂණීය ම නැටුම්වලින් එකක් කියලත් බය නැතුව කියන්න පුළුවන්.

Langfordගෙන් පස්සේ 2017 දී විතර තවත් අයර්ලන්තය වේගපන්දු යවන්නෙක් ක්‍රීඩා පිටියේ නටනවා අපිට දකින්න ලැබුණා. එදා Langford විසින් Ferret කෙනෙක් වගේ නටද්දී, මෙදා Trent Jhonson නැටුවේ කුකුල් නැටුමක් (Chicken dance).

මේ Chicken dance එක පාකිස්තානයෙත් තරමක් ප්‍රසිද්ධ එකක්.

හිටපු සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නෙක් වුන Shoib Akhtar වගේම කඩුලු රකින්නෙක් වුන Adnan Akmal විසිනුත් ක්‍රීඩා පිටියේ දී මේ chicken dance එක නටලා තියෙනවා.

Sid Barnesගේ රිද්මයානුකූල පියවර

පසුගිය ශතවර්ෂයේ ඕස්ට්‍රේලියාවෙන් බිහි වුන විශිෂ්ටතම පිතිකරුවෙක් විදිහට Sid Barnesව හැඳින්වෙනවා.

1938 දී ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තය බලා කරපු දීර්ඝ නැව් ගමනක දී Sid Barnesට Ballroom නර්තන ශිල්පීන් දෙදෙනෙක් වන Dorothy St Jhon සහ Powell යන අය සමඟ නර්තනයේ යෙදෙන්න අවස්ථාවක් හිමි වෙනවා.

මෙම සිදුවීමේ අලංකාර ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.

බංග්ලාදේශයේ නයි නැටුම්

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම එක්ක ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට තියෙන අමිහිරිතම මතකය තමයි 2018 නිදහස් කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරලා නටපු නැටුම් ටික.

එදා තරගයේ දී විතරක් නෙවෙයි ඊට පස්සෙත් මෑතක් වෙනකම්ම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයක් පැවැත්වෙන වෙලාවක කොහෙන් හරි මේ නයි නැටුමක කොටසක් බලන්න ලැබෙන එක නම් අනිවාර්ය දෙයක් වෙලා.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශයට මේ නයි නැටුම ගැන හොඳම මතකය තියෙනවා ඇත්තේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ. මොකද ඇෆ්ගනිස්තානය බංග්ලාදේශය කණ්ඩායමට කවදාවත් අමතක නොවෙන තරම් නැටුම් නටලා පෙන්නපු දවසක් අතීතයේ තිබුණා.

ඉතාම තියුණු තරගාවසානයක් දකින්න ලැබුණු මේ විස්සයි විස්ස තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම එක් ලකුණක ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟම මුළු ඇෆ්ගනිස්තාන කණ්ඩායම ම එකා වගේ නයි නැටුම් නටපු හැටි අදටත් බොහෝ දෙනෙක්ට මතක ඇති.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ගේ නැටුම් අමතක කරන්නේ කොහොමද?

බටහිර ඉන්දීය කොදෙව් කියන නම අමතක කරලා නැටුම් ගැන කතා කරන එකත් වැරැද්දක්. හැබැයි අපි නිතර අහන දකින හැමෝම දන්න Dwayne Bravo Chris Gayle වගේ අයගේ නැටුම් පොඩ්ඩක් පැත්තකින් තියලා වෙනත් මතකයන් කිහිපයක් අවුස්සලා බලමු.

Andre Fletcher ඕස්ට්‍රේලියානු Big Bash තරගාවලිය අතරතුර එකම තරගයක දී අතිවිශිෂ්ට උඩ පන්දු දෙකක් රැක ගන්න ගමන් ප්‍රදර්ශනය කරපු මේ නර්තනයත් බොහෝම ප්‍රසිද්ධ එකක්.

ඒ වගේම Fletcherගේ මේ නැටුමට තරමක් සමාන නැටුමක් 2016 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය නියෝජනය කරපු Shamar Springer ගෙනුත් අපිට දකින්න ලැබුණා.

Dwayne Bravoගේ Champion සිංදුවයි, ඒ කාලේ ආපු නැටුම් ටිකයි (Gangam Style) ගැන කතා නොකර යන්න හැදුවත් Bravoගේ නම මේ ලිපියෙන් ඈත් කරන්න ඉඩක් ලැබෙන්නේ නම් නැහැ.

2011 වසරේ පැවැත්වුණු 4 වැනි IPL තරගාවලිය ජයග්‍රහණය කරපු Chennai Super Kings කණ්ඩායමේ සාමාජිකයින් වුන Bravo සහ ඕස්ට්‍රේලියාවේ Doug Bollinger දෙන්නා එකතු වෙලා තරගයෙන් අනතුරුව ඉන්දියානු පදේට නටන්න පටන් ගත්තා.

ඉන්දියානු සංගීත නාද වල තියෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් එන රිද්මය නොවුනට Bravoට ඒක ගැට‍ලුවක් වුනේ නැහැ, ඒ වගේමයි Bollingerටත් Bravoට දෙවෙනි වෙන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ.

Shane Warneගේ අළුබඳුන ජය සැමරුම

1997 අළුබඳුන තරගාවලියේ පස්වැනි තරගය ජයග්‍රහණය කිරීමත් සමඟින් තරග හයකින් සමන්විත වුන තරගාවලිය 3-1ක් විදිහට ජයග්‍රහණය කරන්න ඕස්ට්‍රේලියාව සමත් වුනා.

ඒ ජයග්‍රහණය වෙනුවෙන් Shane Warneගේ පා දඟපන්දුවෙනුත් විශාල වැඩ කොටසක් සිද්ධ වුනා. ඔහු තමයි තරගාවලියේ දෙවැනියට වැඩිම කඩුලු ලාභියා (24) වුනේ.

1997 අළුබඳුන තරගාවලිය ඕස්ට්‍රේලියාව විසින් ජයග්‍රහණය කිරීමේ සතුට Shane Warne වින්දේ මේ විදිහට.

Trent Bridge ක්‍රීඩාගාරයේ පුටුවක් උඩට නැගලා Warne කරපු මේ සැමරීම ඒ කාලයෙ තරමක් කතාබහටත් ලක් වෙලා තියෙනවා.

Warne 97 තනියම නටද්දී, 2010 දී එංගලන්ත කණ්ඩායම ම නැටුවා

2010 අළුබඳුන තරගාවලිය එංගලන්තය විසින් ජයග්‍රහණය කරන්න සමත් වුනේ තරග 3-1ක් විදිහට.

2010 අළුබඳුන තරගාවලිය ජයග්‍රහණය කිරීමේ සතුට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සැමරුවේ මේ විදිහට.

මේ නැටුමට පෙරමුණ ගන්නේ එංගලන්ත දඟපන්දු යවන්නෙකු වුන Graeme Swann විසින්.

මේ අතරේ සනත් නැටුවේ ජාත්‍යන්තර වේදිකාවක!

2012 දී පැවැත්වුණු Jhalak Dikhla Kaa කියන ඉන්දියානු නර්තන රියැලිටි වැඩසටහනට සහභාගී වුන සනත් ජයසූරිය සිය නර්තනයෙන් ඉන්දියානු වේදිකාව වර්ණ ගැන්වූ අයුරු ඔබට මතක ඇති.

භාරත සිනමාවේ නර්තන රැජිණක් විදිහට සලකන්න පුළුවන් Madhuri Dixit එදා සනත් හිටපු වේදිකාවෙන් එළියේ විනිසුරු මඩුල්ලේ අසුන් ගෙන හිටියා. ඇය මුල් දවසේ සනත් එක්ක “සුරාංගනීට මාලු ගෙනාවා” සිංදුව ගායනා කළා. (මීට පෙර මේ ගීතය TN 07 AL 477 දමිළ චිත්‍රපටිය වෙනුවෙන් භාවිත කිරීම නිසා ඉන්දියාවේ ප්‍රසිද්ධ වුනා).

මේ වැඩසටහනේ ම ඊළඟ සතියේ දී සනත් Madhuri එක්ක එකම වේදිකාවක නර්තනයේ යෙදෙනවාත් දකින්න ලැබුණා.

ශ්‍රී ලාංකික ක්‍රිකට් වගේම සිනමා රසිකයින්ටත් මේ සිදුවීම අතිශය වටිනා මතකයක් වූ බව නො අනුමානයි.

කොහේද හොල්මන් තියෙන්නේ !

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මේ නැටුම අමතක කරන්නේ කොහොමද?

සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග්‍රාහී නර්තනය

නිමා වුන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය වෙන තෙක් එන්න පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් වුනාට, තරගාවලිය අතර මැද පාකිස්තානය සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාද වුනා.

එදා සිම්බාබ්වේ කණ්ඩායම ලබපු ජයග්‍රහණය සමරන්නත් සිම්බාබ්වේ ක්‍රීඩකයින් ආකර්ෂණීය නර්තනයක ‍යෙදෙන්න අමතක කළේ නැහැ.

ක්‍රිකට් ක්‍රීඩාව වර්ණවත් වෙන්න වගේම වැඩි වශයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට හිමි වෙන්නත් මේ වගේ නැටුම් ඉවහල් නොවුනා කිව්වොත් ඒක වැරදී.

මේවා මතකයන් විදිහට අපේ හිත් වල තියා ගෙන ඉන්න තරම් ආකර්ෂණීය නැටුම්!

ප්‍රේක්ෂකයින් විදිහට තමන්ගේ කණ්ඩායම තරගයක් දින්නහම, කැමති ක්‍රීඩකයෙක් කඩුල්ලක් ලබා ගත්තහම නටන්න හිතෙන තරමට ම, සමහර විට ඊටත් වඩා ඒ මොහොත විඳින ක්‍රීඩකයින්ට නටන්න හිතෙනවා ඇති.

ඉතින්, එන්න අපි නටමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<