පිණි බෙරලිය යළි මතුවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 28, 2023

පිණි බෙරලිය යළි මතුවෙයි

ස්වභාවික පරිසරයෙන් වඳවී ඇතැයි සැලකෙන ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂයක් වන ‘පිණි බෙරලිය’ ශාකය කළුතර, පාලින්දනුවර, කෙලින්කන්ද ග්‍රාමසේවා වසමෙන් හමු වී ඇත. 

ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනය කරන පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න සහ ශාක විශේෂයන්හි පරාග පිළිබඳව අධ්‍යයනයක නිරතව සිටින දිලුම් ප්‍රභාත් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් කෙලින්කන්ද ප්‍රදේශයේ සිදුකළ අධ්‍යයනයකදී මෙම ශාකය හමුවී ඇත. 

හෙල බසින් පිණි බෙරලිය ලෙසත් සහ ෂෝරියා ඔවැලිපෝලියා (Shorea ovalifolia) යන විද්‍යාත්මක නාමයෙනුත් හඳුන්වන මෙම ශාක විශේෂය මුල්වරට ලොවට හඳුන්වා දී ඇත්තේ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ උද්‍යාන අධිකාරීවරයෙක් ලෙස සේවය කල බි්‍රත්‍යාන ජාතික ශාක විද්‍යාඥයෙකු වූ හෙන්රි ත්වේට්ස් මහතා විසින් 1864 වර්ෂයේදී Enumoratia Planatarum Zeyaniae නම් ග්‍රන්ථයේ පළ කල ලිපියක් මගිනි.
ඉන්පසු 1887 වර්ෂයේදී වලල්ලාවිට, හෙවෙස්ස ප්‍රදේශයෙන් සහ තවලම, හිනිදුම ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා වී ඇති අතර ඉන්පසු පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සහ ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ එය රෝපණය කර ඇතැයි පරිසර ගවේශක පේශල පසන් කරුණාරත්න මහතා පැවසීය. 

ස්භාවික පරිසරයෙන් වාර්තා නොවී වසර 100ක පමණ කාලයක් උද්භිද උද්‍යානයට පමණක් සීමා වී තිබූ නිසා මෙම ශාක ස්භාවික පරිසරයෙන් වඳ වූ ශාක විශේෂයක් ලෙස 2012 වසරේචී ජාතික රතු දත්ත ලැයිස්තුවට ද ඇතුළත් කර තිබිණි. 
ඉන්පසු හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා සහ ශාක විශේෂ පිළිබඳ පර්යේෂකයකු වන භාතිය ගොපල්ලව මහතා ඇතුළු කණ්ඩාමක් විසින් 2020 වර්ෂයේදී රත්නපුර, අයගම ප්‍රදේශයේදී පිණි බෙරලිය ශාක හඳුනා ගැනීම නිසා එය 2020 රතු දත්ත ලැයිස්තුවෙහි අතිශය අන්තරායට ලක්වූ ශාකයක් ලෙස එය යාවත්කාලීන කර තිබූ බව ද කරුණාරත්න මහතා පැවසීය. 

මීටර් 35 පමණ උසට වැඩෙන මෙම ශාකයේ මල් හට ගැනීම වසරේ එක් කාලයක පමණක් සිදුවන බව ඔහු කීවේය. 
2009 අංක 22 දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට පිණි බෙරලිය ද ඇතුලත් කර ඇති අතර, ඒ අනුව මෙම ශාකයට හෝ ශාකයේ කොටසකට හානිකිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම මුළුමනින්ම තහනම් බව ද හෙතෙම සඳහන් කළේය. 

 දැනට වාර්තා වී ඇති ස්ථාන දෙකෙහි මෙම ශාක ඉතා කුඩා ප්‍රමාණයක් පවතින බැවින් දැඩි සංරක්ෂණ ක්‍රියාමාර්ග ගෙන එය ආරක්ෂා කළ යුතු බවත්, මෙය හඳුනාගෙන ඇති කෙලින්කන්ද ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් නොවන නිසා එය කඩිනමින් සංරක්ෂණය කළ යුතු බවත් ඔහු කීවේය. 

෴ ඩයනා උදයංගනී 
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom