මෙයසියානුවාදය යනු – තවත් දේ අතර – විඥානවාදය නම් දාර්ශනික ස්ථාවරයට එරෙහිව භෞතිකවාදය වෙනුවෙන් පෙනී සිටීමට ගන්නා සමකාලීන දාර්ශනික උත්සාහයකි. විඥානවාදය විසින් ඉදිරිපත් කරන්නේ ඉතාම සරල අභියෝගයකි. ප්‍රශ්නයක ආකෘතියෙන් එය ලියුවහොත් එය මෙසේය: මනසින් තොරව යථාර්ථයක් තිබෙනවා යන්න මනසින් තොරව පෙන්වා දිය හැකි ද? විඥානවාදයේ තර්කයට අනුව එය කළ නොහැකි වන්නේ අප සිතනා සියල්ල මනස අභ්‍යන්තරයේ සිට පමණක් සිතනා නිසාය. එම නිසා මනසින් තොරව තිබෙනවා කියන යථාර්ථය මනසින් තොරව පෙන්වා දීමට අපට නොහැකි වේ. ‘පෙන්වා දීමක්’ කිරීමට උත්සාහ කළ සැනින් අප සිටින්නේ ‘මනසින් තොරව’ නොව ‘මනස සමගයි’ කියා අපට වැටහෙයි. එය අපව හැර දමා නොයන ඡායාවක් සේ අපට බැඳ තබා තිබේ. එම නිසා මනසින් තොරව යථාර්ථයක් තිබෙනා බව අපට මනසින් තොරව පෙන්වා දිය නොහැක. එසේ කරන්න උත්සාහ කළ සැනින් එය මනසින් තොර නොවනවා කියා යලි යලිත් තහවුරු වෙයි.

මෙයසියානුවාදය යනු මෙම ඓතිහාසික ප්‍රශ්නය සඳහා ලබා දෙන දාර්ශනික පිළිතුරකි. එමගින් සිතීම සහ එහි රැඩිකල් බාහිරත්වය අතර නව සම්බන්ධයක් ගොඩ නැගීමට සමත් වෙයි. මේ සඳහා පළමු පියවර වන්නේ මනසින් ‘බාහිරත්වයක්’ අපට සිතිය හැකි බව සහ එසේ සිතීම අනිවාර්යය වන බව පෙන්වීමයි. නමුත් මෙහිදී තීරණාත්මක වන්නේ එය ‘බාහිර දෙයක්’ නොවනවා යන්නයි. එම බාහිරත්වය යනු දේවල් ඇති වී නැති වී යා හැකි ‘හැකියාවකි’. ‘හැකියාවක්’ යනු ‘වස්තුවක්’ හෝ ‘දෙයක්’ හෝ ලෙස ගත හැකි පැවැත්මක් නොවේ. ඒ වෙනුවට එය පැවැත්මවල් වලට පරම ලෙස බාහිර විය යුතු හැකියාවක් ලෙස පවතියි. එය ‘පරම’ ලෙස බාහිර විය යුත්තේ එම පැවැත්මවල් නැති කර දැමීමේ බලය ද එම හැකියාවට තිබිය යුතු වන නිසාය. එවිට එම ‘හැකියාව’ අපට එම පැවැත්මවල් වලින් බාහිරත්වයක් ලෙස සිතීම හැර වෙනත් විකල්පයක් නැත. මෙයට හේතුව වන්නේ පැවැත්මක් නැති කිරීමේ හැකියාව එම පැවැත්ම මත පූර්ණ ලෙස රඳා පවතිනවා කියා අපට කිව නොහැකි වීමයි. එවිට එම පැවැත්ම නැති විය හැක්කේ එම පැවැත්ම තිබෙන තුරු කියා අපට කියන්න සිදුවෙයි. එම පැවැත්ම නැති වීමේ කොන්දේසි තිබෙන්නේ එම පැවැත්ම තිබෙනා තුරා පමණි කියා එවිට අප කිව යුතුය. කිසියම් පැවැත්මක් නැති වීමේ කොන්දේසි පැවතිය හැක්කේ එම පැවැත්ම පවත්නා තුරා පමණි කියා කිවහොත් එම පැවැත්ම කිසිදා නැති වී යනවා සිතන්න අපට නොහැකි වී යයි. මෙයට හේතුව වන්නේ එය නැති වීමට ඉඩ දෙන කොන්දේසිය පැවතීමට ද එම පැවැත්ම පැවතිය යුතු වීමයි. එම නිසා එමගින් සිදුවන්නේ එම පැවැත්ම අනිවාර්යය පැවැත්මක් කියා ගැනීමටයි.

‘අනිවාර්යය පැවැත්මක්’ යනු නැති විය නොහැකි පැවැත්මකි. නමුත්, අවම වශයෙන්, මෙය පැවැත්මවල් සම්බන්ධ අපගේ සාපේක්ෂ දැක්මට යටත් වූ ආනුභුතික අවබෝධයට කිසි සේත් සංගත වන්නේ නැත. සෑම පැවැත්මක්ම නැති වී යනවා අපට පහසුවෙන් පරිකල්පනය කරගත හැකිය. එනිසාම කිසිදු අනිවාර්යය පැවැත්මක් අපට සිතිය නොහැක. ඒ වෙනුවට අපට සිතිය හැකි වන්නේ සෑම පැවැත්මක්ම මෙසේ තිබීම අනිවාර්යය නොවනා බවයි. ඉර, හඳ, තාරකා, ඔබ, මම, ගැහැණු, පිරිමි, මල්, පලතුරු – මේ කිසිවක් මෙසේ තිබීම අනිවාර්යය නොවේ. සෑම දෙයක්ම පවතින්නේ නැති වී යාමේ හැකියාවකට යටත්ව කියා අපට සිතිය හැකිය.

මේ අනුව, අපේ සිතීමේ හැකියාව අපට බල කර සිටින්නේ පවත්නා කිසිවක් අනිවාර්යය නොවනවා කියා සිතන්නයි. ඒවා නැති වීම අනිවාර්යය වනවා යන්න මින් අදහස් නොවේ. මෙය කිසිසේත්ම ‘සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුළු වෙයි’ වැනි නියමයක් නොවේ. එවැනි නියමයක් වුවත් එසේම තිබීම අනිවාර්යය වනවා කියා අපට කිව නොහැක. ලෝකය පාලනය කරන නියාම ධර්ම වුවත් මෙසේම තිබීම අනිවාර්යය වන්නේ ඇයිද කියා සිතන්න අපට නොහැකි වේ. අපට කිව හැකි එකම දේ වන්නේ කිසිවක් මේ ආකාරයෙන්ම තිබීම අනිවාර්යය කරනා හේතුවක් අපට සිතිය නොහැකි බවයි.

නමුත් මේ මගින් අපට වෙනත් ආකාරයක ‘අනිවාර්යයතාවයක්’ නිරාවරණය වෙයි. පවත්නා කිසිවක් මෙසේ තිබීම අනිවාර්යය වනවා කියා අපට සිතිය නොහැකි නම් මේ නොහැකියාව අප අනිවාර්යයතාවයක් ලෙස ගත යුතුය. එමගින් පෙන්වන්නේ පැවැත්මවල් සම්බන්ධයෙන් අප සිතිය යුතු අනිවාර්යයතාවයකි. එම අනිවාර්යයතාවය මගින් කියන්නේ පැවැත්මවල් වෙනස් වීමේ හැකියාවකින් යුතුව සිතීම අනිවාර්යයක් බවයි. මේවා මෙසේ වෙනස් වීමේ හැකියාවෙන් යුතු වනවා කියා සිතන්න අපට සිදුවන්නේ මේවා මෙසේ තිබීම අනිවාර්යය කරන පරම වූ හේතුවක් ලබා දීමට ඇති නොහැකියාවයි.

එම නොහැකියාව නිසා පැවැත්මවල් නැති විය හැකි බව අපට පැහැදිළි වේ. එම නිසාම එම නැති වීමේ හැකියාව සෑම පැවැත්මකින්ම ස්වායත්ත හැකියාවක් සේ අප ගත යුතුය. එම අර්ථයෙන් එම හැකියාව ක්‍රියාත්මක වීමේ කොන්දේසි අකණ්ඩව පැවතිය යුතු වේ. එය එක් පැවැත්මක් මත කිසිදා පරායත්ත වන්නේ නැත. එම නිසා එම හැකියාව සෑම පැවැත්මකින්ම නිරපේක්ෂ හැකියාවක් ලෙස අපට නිරාවරණය වෙයි. අනෙක් අතට සෑම පැවැත්මක්ම එයට අනිවාර්යයෙන් යටත් විය යුතුය. එම නිසා එය අනිවාර්යයතාවයක් කියා අපි දැන් කියමු. මේ පරම බව පිළිබඳව අදහස අනිවාර්යයතාවය පිළිබඳව අදහසට එකතු කළ විට අපට පැහැදිළි වන්නේ හේතුවක් නොමැති වීම නිසා ඕනෑම දෙයක් වෙනස් වීමේ පරම හැකියාවක් තිබෙනා බවයි.

එය පැවැත්මට බාහිර වූ හැකියාවක් වන නිසා එය දැන් ‘තිබේ’ කියා අප කිව යුතුය. එය ‘තිබීමකි’. එය දැන් ක්‍රියාත්මක වේ. එය ක්‍රියාත්මක විය හැකි වනවා යනු එය ‘තිබෙනවා’ යන්නයි. නමුත් මෙතැන දී ද අප සාමාන්‍යයෙන් ‘තිබෙනවා’ කියා ගන්නා දෙයින් මෙම ‘තිබීම’ අප වෙන් කළ යුතුය. අප සාමාන්‍යයෙන් ‘තිබෙනවා’ කියා ගන්නේ වස්තු, මිනිසුන්, නියාම ධර්ම වැනි දෑ ය. මේ සියල්ල මේ ලෝකයේ තිබෙනා දේ කියා අපි කියමු. මේ සියල්ල අපට අවසානයේ දී ‘පැවැත්මක්’ (‘a being’) යන ආකෘතියෙන් සිතිය හැකි වන්නේ මෙම නිසාය. නමුත් හැකියාවක් යනු මේ ආකාරයේ ‘a being එකක්’ නොවේ. එය ‘a being එකක්’ නැති වී යාමට ඇති හැකියාවකි. හැකියාවක් ලෙස එය පවත්නා බව අපට නිගමනය කිරීමට සිදුවන්නේ පැවැත්මවල් නැති වීමට ඇති හැකියාව සැබෑවක් ලෙස ගැනීමට අපට සිදුවන නිසාය. නමුත් ඒ මගින්ම මෙය පැවැත්මක් නොවන ආකාරයේ ‘තිබීමක්’ කියා ද අපට ගැනීමට සිදුවෙයි. මෙය ‘පැවැත්මක්’ සේ ඇති වී නැති වී යනවා අපට සිතිය නොහැකි වන්නේ මෙම නිසාය. නොපැවතීම යන්න සිතිය හැක්කේ ‘a being එකක්’ නැති වීම ලෙස පමණි. නමුත් මෙය ‘a being එකක්’ නොව ‘a being එකක්’ ලෙස ගන්නා දේවල් වෙනස් වීමට ඇති නිරපේක්ෂ හැකියාවක් වන නිසා එය ‘තිබීමක්’ වන්නේ ‘a being එකක්’ සමග සම්බන්ධව පමණි. එම නිසා මෙය පාරිශුද්ධ හැකියාවක් ලෙස පරම ලෙස මෙන්ම කිසිදා නැති වී යාමේ හැකියාව ද නොමැතිව සදාකාලිකව පවතියි.

එය නිරපේක්ෂ සහ අනිවාර්යය හැකියාවක් කියා අප ගන්නේ මෙම නිසාය. එය කිසිදු පැවැත්මක අභ්‍යන්තරයට ඌණනය කළ නොහැක. එම නිසාම එය පැවැත්මක් සේ නැති වී යනවා සිතීමට නොහැක. නමුත් මේ නිසාම මෙහි තුන්වැනි තීරණාත්මක ලක්ෂණය ද අපට හෙළිදරව් වෙයි: එය පැවතිය හැකි වන්නේ පැවැත්මවල් වල ඇති වී නැති වී යාමේ හැකියාවක් ලෙස පමණි. ‘හැකියාවක්’ පමණක් පවතිනවා යන්න අපට සිතා බැලිය හැකි නොවේ. හැකියාවක් පැවතිය හැකි වන්නේ පැවැත්මක හැකියාවක් ලෙස පමණි. අපට අවබෝධකරගත හැකි ආකාරයේ පැවැත්මවල් මෙම හැකියාව විසින් පූර්වකල්පනය කරනවා කියා අප කිව යුත්තේ මෙම නිසාය. එය පැවතිය හැක්කේ නැති වීමේ හැකියාව තිබෙනවා කියා මට සිතිය හැකි පැවැත්මකට සාපේක්ෂව වේ. එම අර්ථයෙන් අප සිතා බලනා ඕනෑම දෙයක් වෙත මෙය එක ලෙස අදාළ වෙයි. යමක් මෙසේ පැවතීම අනිවාර්යය නොවේ කියා අපට කිව හැකි නම් එයට මෙම හැකියාව අදාළ වෙයි. එසේ කිව නොහැකි පැවැත්මක් නොමැති වන නිසා මෙය අපට සිතා බැලිය හැකි සෑම පැවැත්මකටම අදාළ වේ.

මෙම හැකියාව පැවැත්ම පිළිබඳව සිතීමට ඉඩ දෙන මූලධර්මයක් ලෙස අප ගත යුත්තේ මෙම නිසාය. එම හැකියාව පවතිනවා අපට සිතිය හැකි වන්නේ පැවැත්මවල් වලට අදාළ වන්නා වූ ප්‍රාථමිකම වූ කොන්දේසිය ලෙසයි. එම කොන්දේසිය කිසිදා නැති වී යනවා අපට සිතිය නොහැක. නමුත් එම නිසාම මෙතනදී අපට බරපතල දාර්ශනික නිගමනයකට පැමිණීමට හැකි වෙයි. මෙයසූ විසින් ‘භෞතිකවාදී සත්භාවවේදී සාධනය’ ලෙස නම් කරන්නේ මෙයයි. මෙම හැකියාව සිතීම අනිවාර්යය වනවා යන්න මගින් මේ හැකියාවේ ‘තිබීම’ සිතීමට ඉඩ දෙන කොන්දේසි වල ‘තිබීම ද’ අනිවාර්යය කරයි. පළමු ‘තිබීම’ නැති වී යනවා සිතිය නොහැකි වන්නේ නම් දෙවැනි ‘තිබීම’ අනිවාර්යය වෙයි. මේ අතර ඇති තීරණාත්මක කොන්දේසියක් මෙසේය: මේ හැකියාවේ අකණ්ඩ පැවැත්ම වෙනුවෙන්, ‘අපට දැන් සිතිය හැකි ආකාරයේ පැවැත්මවල්’ වල පැවැත්ම ද මෙයට අනිවාර්යයෙන් එකතු කිරීමට සිදුවෙයි. එසේ නොකරනවා යනු පැවැත්මවල් නොමැති හැකියාවක් ගැන සිතන්න උත්සාහ කරනවා යන්නයි. මෙය කළ නොහැකි බව පැහැදිළි වේ. අපට හැකියාවක් ‘තිබේ’ කියා කිව හැකි වන්නේ එම හැකියාව ක්‍රියාත්මක වීමට අවශ්‍ය කොන්දේසි තිබෙන්නේ නම් පමණි. එම කොන්දේසි අතර තීරණාත්මක එකක් වන්නේ කුමක් හෝ අහඹු ලෙස වෙනස් වීමේ හැකියාවෙන් යුතු පැවැත්මක් තිබේ යන්නයි. එය නොමැතිව අපට හැකියාව තිබේ කියා සිතිය නොහැක. නමුත් මෙම හැකියාව නිරපේක්ෂ වන අතරම එය අදාළ නොවන පැවැත්මක් සිතා ගත නොහැකි වන නිසා මෙය අනිවාර්යයතාවයක් ද වෙයි. මෙය අපට සිතීම අනිවාර්යය වන්නේ මෙම නිසාය. මෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස අහඹු ලෙස වෙනස් වීමේ හැකියාවෙන් යුතු පැවැත්මවල් වල පැවැත්ම ද අනිවාර්යය වෙයි.

නමුත් මේ මගින් අපට විඥානවාදයේ ඓතිහාසික ප්‍රශ්නයට පිළිතුරක් දිය හැකි වන්නේ කෙසේද? මේ සඳහා අප නිදර්ශනයක් ලෙස නලින් ද සිල්වා ගේ දාර්ශනික සංවාදය සලකා බලමු. එම සංවාදයේ තිබෙනා දුර්වලම ලක්ෂ්‍යය වන්නේ මරණයෙන් පසු අපට නැවත උපතක් තිබේ කියා එමගින් ආධානග්‍රාහී ලෙස පිළිගැනීමයි. මෙය ඔහු ගන්නේ ගැටලුවක් නොවන ස්ථාවරයක් ලෙසයි. නමුත් මේ සඳහා ඔහුට මුළුමනින් තිබෙන්නේ භක්තියක් පමණි. මෙතනදී එය නොවන වෙනත් තෝරා ගැනීම් ඇති බව ඕනෑම කෙනෙකුට පැහැදිළි වේ. විවිධ ආගම් සහ ආගමික / නිරාගමික විවාද වලින් ද අපට පැහැදිළි වන්නේ මෙයයි. අඩුම තරමින් අපට නැවත උපතක් තිබේ යන අදහස කිසිදු ප්‍රශ්නයක් නැති ‘සංගත කතන්දරය’ කියා පිළිගැනීමට අපට ඉඩ ලැබෙන්නේ නැත. දෙවියන් පිළිබඳව නලින් ද සිල්වා ජීවිත කාලය පුරා පොරබදින ප්‍රශ්නයක් තිබෙන්නේ එම නිසාය. නමුත් ඔහුගේ මෙම අභ්‍යන්තර අරගලය කිසිදා සාර්ථක වූයේ නැත. අපේ මරණයෙන් පසු නැවත ඉපදීම පිළිබඳව අදහස මේ හා සමාන වෙනත් අදහස් වලට වඩා වටිනවා කියා කියන්න කිසිදු දාර්ශනික පදනමක් දීමට ඔහුගේම දර්ශනය ඔහුට ඉඩ දෙන්නේ නැත. මට සාපේක්ෂ වූ මගේ ලෝකයෙන් බාහිරත්වයක් මට සාපේක්ෂ වූ මගේ ලෝකයෙන් තොරව සිතිය නොහැකි වන නිසා මරණයෙන් පසු අප නැවත ඉපදීම අනිවාර්යය කරනා හේතුවක් අපට දිය නොහැක. මෙතනදී නලින් ද සිල්වා සිටින්නේ දාර්ශනික සිරවීමකයි. ඔහුගේ දර්ශනයට අපගේ මරණය සම්බන්ධ අවංක සිතා බැලීමකට හැකි වූයේ නැත.

සත්‍ය වශයෙන්ම ඔහුගේ දාර්ශනික සිතීමේ ශක්තිමත්ම ලක්ෂ්‍යයට පක්ෂපාතී වෙමින් අපට මරණය සම්බන්ධයෙන් කිව හැකි වන්නේ අපගේ මරණයෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද කියා අප නොදන්නා බවයි. මරණය යන්නෙන් අපට තිබෙනා අදහස සම්බන්ධයෙන් දාර්ශනික සිතීමක් අවශ්‍ය වන්නේ මෙම නිසාය. අප ‘මිය යනවා’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉතාම සංක්ෂිප්ත ලෙස ගත්විට ‘මරණය’ යන අදහස මගින් අපට සිතීමට බලකර සිටින්නේ අපගේ පැවැත්ම අප මේ දැන් සිතමින් සිටිනා ආකාරයෙන් අකණ්ඩව පැවතීම, අකණ්ඩව වර්ධනය වීම අනිවාර්යය නොවනා බවයි. මෙහි රැඩිකල් කණ්ඩනයක් විය හැක. හදිසියේ මේ පැවැත්ම නැති විය හැකිය. එම නැති වීමෙන් පසු තත්වය කුමක්ද කියා අපට සිතිය නොහැකි බව පැහැදිළි වුවත් එය හැකියාවක් ලෙස මට ප්‍රතික්ෂේප කළ නොහැකි වේ. මෙයට හේතුව වන්නේ මම මෙසේ පැවතීම අනිවාර්යය නොවනා බවට මට ඇති වැටහීමයි. මා මෙසේම පැවතීම අනිවාර්යය නොවන නිසා මා නැති වී යා හැකිය කියා මට සිතිය හැකි වේ. මරණය පිළිබඳව අදහස මගින් අපට සිතන්න බලකරන්නේ මෙයයි.

නමුත් මෙම නිසාම මරණය සම්බන්ධයෙන් සිතා බැලීමට ඇති හැකියාව මගින් අපට අපේ සිතීමේ හැකියාව සම්බන්ධ රැඩිකල් රහසක් හෙළි කරයි. එම රහස වන්නේ මට සිතා ගත නොහැකි ලෙස මාගේ පැවැත්ම අවසන් විය හැකි බවයි. වෙනත් ආකාරයකට කියන්නේ නම් මට සාපේක්ෂ නොවන ලෙස මගේ සිතීම අවසන් වීමේ හැකියාවක් තිබේ. මරණය පිළිබඳව සිතීමේ හැකියාව මගින් අපට පිළිගන්න බලකරන නිගමනය වන්නේ මෙයයි. මගේ මරණයට පත්වීමේ හැකියාව මගින් අපට පෙන්වා දෙන්නේ මාගේ සිතීම මේ ආකාරයෙන්ම අකණ්ඩව පැවතීම අනිවාර්යය නොවන බවයි. එම නිසා එය නැති වී යාමේ හැකියාවක් තිබේ. නමුත් එම නැති වී යාමේ හැකියාව ‘තිබීම’ සඳහා එය මගේ පැවැත්ම මත පරායත්ත විය නොහැක. මගේ පැවැත්ම නැති කිරීමට එම හැකියාවට හැකි වන්නේ එය එසේ මා මත පරායත්ත නොවී මගෙන් ස්වායත්ත වන නිසාය. එය මගේ පැවැත්මෙන් තොරවත් වලංගු වන බව මට සිතන්නට හැකිය. එය වියහැකි වන්නේ මගේ සිතීමෙන් තොරව ක්‍රියාත්මක වන සිදුවීමක් ලෙස පමණි. එම නිසාම එම ක්‍රියාකාරිත්වය මට ගත හැකි වන්නේ මගේ සිතීමේ ප්‍රවර්ග කිසිවක් නොමැතිව මට පාරිශුද්ධ බාහිරත්වයක් ලෙස සිදුවන ක්‍රියාකාරිත්වයක් ලෙසයි. එම ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස මම පැවැත්මක සිට නොපැවැත්මක් දක්වා ගමන් කරයි. එතනින් මගේ සිතීමේ ලෝකය අවසන් වෙයි. මෙය අනිවාර්යය වන්නේ ද කියා අප නොදන්නා මුත් එය අපට හැකියාවක් බව පැහැදිළි වෙයි. එය හැකියාවක් ලෙස සැබෑවකි. වෙනත් ආකාරයකට කියන්නේ නම් මෙයට හැකියාවක් ලෙස ‘පැවැත්මක්’ තිබේ.

මෙය හැකියාවක් ලෙස ගත් සැනින් අපේ සිතීම බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ මෙම නිසාය. එමගින් පෙන්වන්නේ කිසිම හේතුවක් නොමැතිව, මගේ පැවැත්ම මෙසේ පැවතීම අනිවාර්යය නොවනවා කියා මට ඇති අවබෝධයෙන් පමණක්, මේ පැවැත්ම අවසන් වනවා මට සිතිය හැකි බවයි. මගේ පැවැත්ම මේ දැන් මෙය මා ටයිප් කරනා මොහොතේ හෝ, හෙට දිනයේ හෝ වසර ගණනකින් හෝ අවසන් වීමේ හැකියාවක් තිබේ. එම හැකියාව ක්‍රියාත්මක වන මොහොත මගේ සිතීමෙන් රැඩිකල් ලෙස පරිබාහිර වෙයි. මෙයට හේතුව වන්නේ එමගින් මාගේ සිතීම යන්නම අවසන් කිරීමට හැකි වීමයි. අහඹු ලෙස පවත්නා දෙයක් කිසිදු හේතුවකින් තොරව එම අහඹුබව නිසාම නැති වී යා හැකි බව එමගින් මට පෙන්වයි. එම නැති වීමේ හැකියාව එම පැවැත්ම මත බලවත්නා පාරිශුද්ධ බාහිරත්වායක් ලෙස අපට ගැනීමට සිදුවෙයි.

මනසින් බාහිරත්වයක් පිළිබඳව සිතීමේ නොහැකියාව සම්බන්ධ විඥානවාදයේ ඓතිහාසික අභියෝගය මෙමගින් ජයගන්නේ මෙම නිසාය. මෙම හැකියාව අපට සිතන්න වන්නේ අපේ සිතීමට නිරපේක්ෂ වූ හැකියාවක් ලෙස පමණි. එය මගේ සිතීම යන්නම නැති කර දැමීමට හැකි වනවා යන්න මට සිතීමට හැකි වෙයි. නමුත් එය දැන් මා සිතනවා යන්නෙන් එම හැකියාව වෙනස් වන්නේ නැත. මා සිතුවත් නැතත්, මගේ සිතීමෙන් තොරව, මෙම සිතීම මෙසේ අකණ්ඩව පැවතීම අනිවාර්යය නොවන නිසාම, මගේ සිතීම නැති වීමේ හැකියාවක් තිබේ. එය මගේ සිතීමෙන් තොරව වලංගු වනවා යනු එය නිරපේක්ෂ ලෙස වලංගු හැකියාවක් වනවා යන්නයි. නමුත් එමගින් සිදුවන්නේ පවත්නා යමක් නැති වීමයි. එය අප සිතා බලන්නේ පවත්නා යමකට සම්බන්ධ නමුත් පවත්නා යමක් නොවන හැකියාවක් ලෙසයි.

එම අර්ථයෙන් මෙය අදාළ නොවන පැවැත්මක් නැති බව පැහැදිළි වේ. බාහිර ලෝකය වෙත මෙන්ම මගේ සිතීම වෙත ද මෙය එක ලෙස අදාළ වන්නේ මෙම නිසාය. මගේ සිතීමේ අභ්‍යන්තරය නොමැතිව එය ස්වයංක්‍රීය ලෙස වෙනස් විය හැකිය. එම හැකියාව ඒ නිසා සිතීමේ අභ්‍යන්තරයට සීමා කළ හැකි නොවේ. එය සිතීම ඇතුළු ඕනෑම පැවැත්මකට අත්වන දෛවයකි. එම පැවැත්ම එසේම තිබෙන ආකාරයට තිබීම අනිවාර්යය නොවන නිසා – එම හේතුව නිසා පමණක්ම – එය නැති වීමේ හැකියාවක් තිබේ. විශ්වය යනු මෙම හැකියාවයි. මෙම හැකියාවේ පැවැත්මයි. එය තිබෙනා බව සහ එය දැන් වලංගු බව අපට පැහැදිළි වේ. මගේ සිතීමට බාහිර වූ හැකියාවක් ලෙස එය තිබේ. එම නිසාම එය නැති වී යාමට දෙයක් නොවේ. දෙයක් නොවන එය සියලු දේවල් වලින් නිරපේක්ෂ වෙයි.

කරුණුත්වයේ මූලධර්මය ලෙස මෙයසූ විසින් නම් කරන්නේ මෙයයි. පැවැත්මවල් වල කරුණුමයභාවය යනු ලෝකයේ තිබෙනා තවත් එක් කරුණක් නොවේ. එය අපට ගත හැකි වන්නේ කරුණු වලට අදාළ නමුත් කරුණු වලට වඩා ප්‍රාථමික ගුණයක් ලෙසයි. එම ගුණය නිසා කරුණු වල පැවැත්ම ද අනිවාර්යය කෙරෙයි.

මෙමගින් ‘පරමත්වය’ (‘absolute’) යන දාර්ශනික ප්‍රවර්ගය වෙත අපව කැඳවාගෙන යන්නේ එම නිසාය. නමුත් මෙම දාර්ශනික ප්‍රවර්ගය පිළිබඳව සිතීම අපට මෙම යුගයේ ඇති කරන්නේ අතිශය අපහසුවකි. මෙයට හේතුව වන්නේ විවිධ ආකාරයේ සාපේක්ෂතාවාදී දර්ශනවාදයන් විසින් පරමත්වයක් පිළිබඳව සිතීමෙන් ළඟා වීමේ හැකියාව කිසිදා කළ නොහැකි වනවා කියා සිතන්න අප පුරුදු කර තිබීමයි. නමුත් කරුණුත්වයේ මූලධර්මය මගින් ඉතා නිශ්චිතව අපට ඉඩ දෙන්නේ මෙලෙස කිසිදා කළ නොහැකි වනවා කියා සිතීමට පුරුදු කර තිබෙන ‘පරමත්වය’ පිළිබඳව දාර්ශනික මෙනෙහිකිරීමක් වෙත යාමටයි.