මංගල ශූරතාවය දිනූ මාතර අනුර ක්‍රීඩිකාවෝ

Under 19 Girl’s Div ii Inter Schools Cricket Tournament 2023

294

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතර අනුර මහා විද්‍යාල කණ්ඩායම සමත් වුනා. ඔවුන් මෙවැනි ශූරතාවක් දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

“අපි විශාල කැපවීමක් කරලා දිනා ගත් ජයග්‍රහණයක් මේක. තරගාවලියට එක් වුනේම ශූරතාව දිනා ගන්නවා කියන අධිශ්ඨානයත් සමඟින්. අඩුපාඩු රාශියක් තිබුණා. දුෂ්කරතා තිබුණා. කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සමහර දවස්වල දී ක්‍රීඩාංගණ දෙකක වෙන් වෙන්ව පුහුණුවීම් වල නිරත වුනේ. මේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් ගොඩාක් මහන්සි වුනා. අවසානයේ ඒ දේවල්වල ප්‍රතිඵලය තමයි මේ ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය මම පෞද්ගලිකව මගේ ජීවිතයේ ලත් ලොකුම ජයග්‍රහණයක් ලෙසත් දකිනවා,” යැයි අනුර මහ විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු අශාන් මුණසිංහ මහතා ThePapare.com සමඟ පැවසුවා.

අනුර විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල
පළමු වටය
1 දුටුගැමුණු විද්‍යාලය, ගාල්ල අනුර විද්‍යාලයට ලකුණු 446ක ජයක්.
2 සමන්පුර විද්‍යාලය, වීරවිල අනුර විද්‍යාලයට ලකුණු 94ක ජයක්.
3 සිංගප්පූරු මිත්‍ර විද්‍යාලය, වීරකැටිය අනුර විද්‍යාලයට ලකුණු 313ක ජයක්.
දෙවැනි වටය
4 බාලිකා විද්‍යාලය, කෑගල්ල අනුර විද්‍යාලයට ලකුණු 146ක ජයක්.
පෙර අර්ධ අවසන් පූර්ව වටය
5 ජයසිරිපුර කනිශ්ඨ විද්‍යාලය, පොළොන්නරුව අනුර විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
6 ප්‍රඥානන්ද විද්‍යාලය, මොනරාගල අනුර විද්‍යාලයට ලකුණු 138ක ජයක්.
අවසන් පූර්ව වටය
7 රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ අනුර විද්‍යාලයට කඩුල්ලක ජයක්.
අවසන් මහා තරගය
8 සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, කටුගස්තොට අනුර විද්‍යාලයට ලකුණු 32ක ජයක්.

කණ්ඩායම් 64ක් සහභාගී වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අනුර විද්‍යාලය සමඟ සුදුසුකම් ලබා ගත්තේ කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයයි. ඔවුන් මෙම අවස්ථාව දිනා ගැනීම සඳහා පැමිණි ගමනේ පළමු වටයේ දී කණ්ඩායම් ශූරියන් වූ අතර ඉන් අනතුරුව පැවති දෙවැනි වටයේ දී වව්නියාව පුතුක්කුලම් විද්‍යාලය පරාජය කරමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.

එම වටයේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී උහන මහා විද්‍යාලය ද, අර්ධ අවසන් පූර්ව වටයේ දී තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලය ද සහ අවසන් පූර්ව වටයේ දී කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය ද පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගය කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති අතර එහි දී කාසියේ වාසිය දිනා ගත් අනුර විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට සමත් වුනේ ලකුණු 122ක් පමණයි.

ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි සාන්ත අන්තෝනි බාලිකාවන් තවත් පන්දු 22ක් ඉතිරිව තිබිය දී ලකුණු 90කට දවා ගැනීමට අනුර විද්‍යාලයීය පන්දු යවන්නියෝ සමත් වුනා.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව

  • අනුර මහා විද්‍යාලය: කඩුලු 9ක් දැවී 122 (30) – ලක්නි නිම්සරා 22, කවිශ්කා අබේරත්න 19, දියෝනි නිර්මලා 2/11.
  • සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය: සියලු දෙනා දැවී 90 (26.2) – මල්මි හේරත් 15, අප්සරා මධුමාලි 3/18.

අනුර විද්‍යාලයට ලකුණු 32ක ජයක්.

අනුර විද්‍යාලයීය දශක අඩක ඉතිහාසයක් හිමි ක්‍රිකට් ක්‍රීඩාවේ ලැබූ මේ සුවිශේෂී ජයග්‍රහණය ඔවුන්ට තවත් වැදගත් වන්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩිකාවන් තිදෙනෙක්ම දායාද කිරීමයි. ඒ කණ්ඩායමේ නිත්‍ය නායිකාව වූ රිස්මි සංජනා, රශ්මිකා සෙව්වන්දි සහ පමෝදා ශයිනි.

ඔවුන් මේ දිනවල දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්, ඔවුන්ගේ දක්ෂතාවන් දායාද කරද්දී, තම සහෝදර ක්‍රීඩිකාවෝ තම විදුහල් මාතාව ශූරතා කුසලානයකින් සැරසුවා.

“ඔවුන් තුන් දෙනා තරගාවලිය පුරා රඳවා ගන්න බැහැ කියන දේ අපි දැනගෙන සිටියා. ලෝක කුසලානයට පෙර පැවති ඉන්දීය සංචාරය වෙනුවෙන් ඔවුන් සහභාගී වෙද්දීම එම කණ්ඩායමම ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සහභාගී වෙනවා කියන දැනුම් දීම අපට ලැබුණා. ඒ නිසා අපි ඊට සූදානමින් සිටියේ. මේ සූදානම් වීමේ දී හිටපු දිස්ත්‍රික් පුහුණුකරු ප්‍රසන්න ගලප්පත්ති මහතාගෙන් අපිට ලැබුණු සහයෝගය කියා නිමකරන්න බැහැ. ඇත්තටම මේ ජයග්‍රහණය පිටුපස සිටින වීරයා ගලප්පත්ති සර්,” අශාන් මුණසිංහ මහතා පැවසුවා.

මුණසිංහ මහතා අනුර විද්‍යාලය සමඟ එකතු වෙන්නේ මෙම තරගාවලිය ආරම්භ වීමට මාස 3කට පමණ ඉහත දී. ඊට පෙර කිහිප දෙනෙකුම අනුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරුවන් ලෙසින් කටයුතු කර ඇති අතර ඒ සියල්ලන්ගෙන් ම ලැබුණු ආභාෂය ද මෙම ජයග්‍රහණයට ඉවහල් වූ බැව් මුණසිංහ මහතා පවසනවා.

  • අනුර විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම: රිස්මි සංජනා (නායිකාව), දේවින්දි රසාංජනා (උපනායිකාව), ඕෂදී රශ්මි සකුනි, රශ්මිකා සෙව්වන්දි, අප්සරා මදුමාලි, බුද්ධි බියන්ෂා, දුමින්ශා රන්දිශා, විශ්මි සාවින්දි, දෙව්මි ආදිත්‍යා, පමෝදා ශයිනි, ඉමාෂා උදේශිකා, රශ්මිලා දේවින්දි, සඳුනි නිසංසලා, දිනිති විහංසා, දිනේශා නවමිණි, ලක්නි නිම්සරා, පියුමි නවාංජනා, ලිහිනි මනීශා, ඔනෙලි ජයනදී.

නිලධාරීන්; තිස්සමහාරාමේ ඉන්ද්‍රානන්ද ස්විමීන් වහන්සේ (සාමාන්‍යාධිකාරි), එම්. කේ. නාලනි ප්‍රියංකා මහත්මිය (විදුහල්පතිනි), සරෝජා ප්‍රියන්ති මහත්මිය (ක්‍රිකට් භාර ආචාරිනී, අශාන් ලකින්ත මුණසිංහ මහතා (ප්‍රධාන පුහුණුකරු), පසිඳු සුලෝචන මහතා (සහාය පුහුණුකරු).

එක් ඉනිමකට පන්දුවාර 30කින් සමන්විත වූ මෙම තරගාවලියේ දී අනුර විද්‍යාලය තමන් මුහුණ දුන් පළමු තරගයේ දී ම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 500ක් රැස්කර ගැනීම විශේෂත්වයක්. ගාල්ල දුටුගැමුණු විද්‍යාලය සමඟ පැවති එම තරගයෙන් ඔවුන් ලකුණු 446ක ජයග්‍රහණයක් හිමිකර ගත්තා.

එමෙන්ම ඔවුන් වීරකැටිය සිංගප්පූරු මිත්‍ර විද්‍යාලයට එරෙහිව කඩුලු 4ක් දැවී ලකුණු 391ක් වාර්තා කිරීමට ද සමත් වුනා. එම තරගයෙන් ඔවුන් ලකුණු 313ක ජයග්‍රහණයක් හිමිකර ගත්තා.

අනුර විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වූවන් අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන රශ්මිකා සෙව්වන්දි, රිස්මි සංජනා සහ පමෝදා ශයිනි පෙරමුණ ගන්නවා.

එහි දී රශ්මිකා සෙව්වන්දි තරග 4කට සහභාගී වෙමින් ලකුණු 417ක් රැස්කර ගැනීමට සමත් වුනා. ඊට දුටුගැමුණු විද්‍යාලයට එරෙහිව පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 32ක් සහ හයේ පහර 14ක් සමඟින් නොදැවී වාර්තා කර ගත් ලකුණු 304 සහ සිංගප්පූරු මිත්‍ර විද්‍යාලයට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයක් ද ඇතුළත්.

කණ්ඩායමේ ස්ථිර නායිකාව ලෙසින් කටයුතු කළ රිස්මි සංජනා තරග 4කට සහභාගී වෙමින් රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 337ක්. ඊට සිංගප්පූරු මිත්‍ර විද්‍යාලයට එරෙහිව හතරේ පහර 32ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 172ක් සහ කෑගල්ල බාලිකා විද්‍යාලයට එරෙහිව හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් රැස්කර ගත් ලකුණු 106ක් ද ඇතුළත්.

පන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දක්වන රිස්මි සංජනා තමන් සහභාගී වූ තරග 4 දී කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනා. ඇයගේ හොඳම පන්දු යැවීම වාර්තා වන්නේ සමන්පුර විද්‍යාලයට එරෙහිව ලකුණු 10කට දවා ගන්නා ලද කඩුලු 5යි. එය අනුර විද්‍යාලයීය පන්දු යවන්නියන් අතරින් දැක් වූ හොඳම දක්ෂතාව ද වුනා.

කණ්ඩායමේ පිතිකාරිණියන් ලැයිස්තු ගත කිරීමේ දී රශ්මිකා සහ රිස්මි පළමු අසුන් දෙක හිමිකර ගනිද්දී, එහි තෙවැනි අසුන හිමි වෙන්නේ පමෝදා ශයිනි වෙතයි. ඇය තරග 3ක දී වාර්තා කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව 186ක්. ඊට සිංගප්පූරු මිත්‍ර විද්‍යාලයට එරෙහිව හතරේ පහර 19ක් සහ හයේ පහර 5ක් සමඟින් වාර්තා කර ගත් ලකුණු 115ක් සහ දුටුගැමුණු විද්‍යාලයට එරෙහිව පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 66ක් ද ඇතුළත්.

ඔවුන්ට අමතරව ලක්නි නිම්සරා ද පිතිකාරිණියක් ලෙසින් අනුර විද්‍යාලයීය ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් දක්වනවා. ඒ අනුව එහි සිව්වැනි ස්ථානයට පත්වෙන ඇය තරග 8ක දී රැස් කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව 122ක්.

අනුර විද්‍යාලය වෙනුවෙන් කඩුලු දවා ගැනීමේ දී වඩාත් දක්ෂතා දැක්වූයේ දුමින්ශා රන්දිශානි. ඇය කඩුලු 13ක් දවා ගනිමින් වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නියන් අතර පෙරමුණ ගත්තා.

ඊට අමතරව රිස්මි සංජනාගෙන් හිස් වූ නායකත්වයේ වගකීම දැරූ දේවින්දි රසාංජනා කඩුලු 11ක් දවා ගනිමින් ද, ඉමාෂා උදේශිකා සහ අප්සරා මධුමාලි කඩුලු 8 බැගින් දවා ගනිමින් ද දක්ෂතා දැක්වූවා.

කණ්ඩායමේ සියලුම දෙනා එක වගේ මහන්සි වුනා. ඒ වගේම ක්‍රිකට් භාර ආචාරිනි සරෝජා මිස්, ලොකු කැපවීමක් කළා. ගොඩක් දුෂ්කර අවස්ථාවල දී මේ ගමන කොහොම හරි යමු කියන අධිෂ්ඨානය දුන්නේ ඇය. ඒ වගේම දිස්ත්‍රික් පුහුණුකරුවන් වූ ලසිත් චමින්ද සහ ජයතු නිලවීර මහත්වරුන්, තරග දත්ත ලබා දුන් කමන්ත වික්‍රමසේකර මහතා සහ සහාය පුහුණුකරු පසිඳු විශාල සහයෝගයක් ලබා දුන්නා. දරුවන් එක්ක කටයුතු කරද්දී ඔවුන්ගේ දෙමාපියන් දැක් වූ දායකත්වයත් පාසලෙන් ලබා දුන් දායකත්වයත් අති විශේෂයි. මේ ජයග්‍රහණය අපි සෑම කෙනෙක්ගේම සාමූහික ප්‍රයත්නයක්,” අශාන් මුණසිංහ මහතා ThePapare.com සමඟ පැවසුවා.

ක්‍රිකට් පිටියේ තව තවත් ඉදිරියට යෑමට අනුර විද්‍යාලයීය බාලිකා ක්‍රිකට් කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<