ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි!

402

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ( FFSL ) තහනමක් පනවා තිබෙනවා.

2023 ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව සඳහන් ශීර්ෂ පාඨයක් සමඟින් අද (22) දිනයේ FIFA මගින් සිය සාමාජික සංගම් වෙත FIFA මහ ලේකම් Fatma Samouraගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මෙසේයි,

2023 ජනවාරි 21 දින FIFA කවුන්සිල කාර්යාංශය මගින් ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස FIFA ප්‍රඥප්තියේ 16 වැනි වගන්තිය ප්‍රකාරව නැවත දැනුම් දෙන තුරු FFSL අත්හිටුවන බව අපි ඔබට මෙයින් දැනුම් දෙන්නෙමු.

ඒ අනුව 2023 ජනවාරි 21 දින සිට බලපැවැත්වෙන පරිදි FIFA ප්‍රඥප්තියේ 13 වැනි වගන්තියේ අර්ථ දක්වා ඇති පරිදි නැවත දැනුම් දෙන තුරු FFSL හට FIFA හී සියලු සාමාජික අයිතිවාසිකම් අහිමි වී ඇත. එබැවින් තහනම ඉවත් වන තුරු FFSL නියෝජිතයින්ට හෝ ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට තව දුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමේ අයිතියක් නැත. මෙයින් අදහස් වන්නේ FFSL හී කිසිදු සාමාජිකයකුට හෝ නිලධාරියෙකුට FIFA හෝ AFC (ආසියානු පාපන්දු සම්මේලනය) මගින් සිදු කරන කිසිදු සංවර්ධන වැඩසටහනකින්, පාඨමාලාවකින් හෝ පුහුණුවකින් ප්‍රතිලාභ ලැබිය නොහැකි බවයි. එපමණක් නොව FFSL අත්හිටුවා ඇති අතර, FFSL සමඟ හෝ එහි කණ්ඩායමක් සමඟ කිසිදු ක්‍රීඩා සබඳතාවක් ඇති කර නොගන්නා ලෙස අපි ඔබට සහ ඔබගේ අනුබද්ධිතයින්ට මතක් කර දෙන්නෙමු.

අවසාන වශයෙන් FIFA කවුන්සිලයේ කාර්යාංශය හෝ FIFA කවුන්සිලය මීළඟ FIFA සම්මේලනය පැවැත්වීමට ප්‍රථම ඕනෑම අවස්ථාවක මෙම අත්හිටු වීම ඉවත් කළ හැක. එසේ සිදු වුවහොත් අපි ඔබට ඒ බව දන්වා සිටිමු.

මේ තහනම පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<