HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

9 හැවිරිදි මෝලි සොයා ගත් විස්මිත මෙගාලෝඩන් දත!

ඇමරිකාවේ නව හැවිරිදි දැරියක් අපූරු සොයා ගැනීමක් කරලා තියෙනවා. ඇගේ මොලි සිම්ප්සන්. මෝලි සිම්ප්සන් හා ඇගේ පවුලේ උදවිය නත්තල් නිවාඩුව ගත කළේ ඇමරිකාවේ මේරිලන්ඩ් වෙරළේ චෙසපීක් බොක්කේයි. ඔවුන් එහි නොගැඹුරු මුහුදේ කිමිදෙමින් අපූරු ගවේෂණයක යෙදුණා. ඔවුන් සෙව්වේ මුහුදු පත්ලේ තිබුණු පොසිල කොටස්. මොලිට ඇගේ මවත් පියාත් ඒ කොටස් සෙවීමටත් එකතු කිරීමටත් උදවු වුණා.

 9 හැවිරිදි ම සිම්ප්සන් ඒ දැවැන්ත මෝර දත අතැතිව.

හදිසියේ ම ඇය දුටුවා අතක් තරම් ලොකු පොසිල පාෂණ කැබැල්ලක්. මේ තමයි මෙවර ඇයට ලැබුණු නත්තල් තෑග්ග! සතුටින් ඉපිල ගිය ඇය වහා ඒ වෙත කිමිදුණා. ඒ පොසිල බවට පත් වුණු යෝධ මෝර දතක්. අඟල් 5ක් (සෙන්ටිමීටර් 10ක්) පමණ දිග මේ දත ලොව මෙතෙක් හඳුනා ගෙන ඇති විශාලතම මෝර විශේෂයට අයත් එකක් ලෙස හඳුනාගෙන තියෙනවා. මේ මෝර විශේෂය හඳුන්වන්නේ මෙගාලෝඩන් (megalodon) කියලයි. අඩි 50ක් (මීටර 15ක්) පමණ දිග මේ සතා මිහිමත ජීවත්ව ඇත්තේ මීට වසර මිලියන 2.6කට පෙරයි. 

ඇගේ මව වූ ඇලිසියා සිප්ම්සන් කියන්නේ කුඩා වුනත් මේ දැරිය මේ වන විට විවිධ මෝර දත් පොසිල 400කට වඩා සොයා ගෙන ඇති බවයි. ඒත් මේ තරම් දැවැන්ත දතක් ඒ අතර නොවූ බව ඇය අවධාරණය කර කියනවා. මේ දැවැන්ත සොයා ගැනීම අතේ තබා ගෙන, කට පුරා සිනාසෙමින් සිටින මෝලිගේ පින්තූර කීපයක් ඇය විසින් අන්තර්ජාලයට මුදා හැර තිබුණා. 

චෙසපීක් බොක්කේ කිමිදීමට යද්දී ඇය, තමාට අංශක 10ක උෂ්ණත්වයකට භාවිත කළ හැකි ඇතුළත උණුසුම් කළ පරිගෘහිත කිමිදුම් කට්ටලයක් අවශ්‍ය බව මවට කීවේ, එහි දිය යට දී සිරුර උණුසුම්ව තබා ගැනීමට ඇය අවශ්‍ය වූ නිසයි. “අපි ජීවත් වුණේ චෙස්පීක් බොක්ක ආසන්නයේමයි. මගේ සැමියා ජීවිත කාලය පුරාම මේවා සෙවිල්ලේ යෙදුණු අයෙක්. අපේ ළමයිනුත් කුඩා කාලයේ සිට ම ඔහු සමග ඒවා ගවේෂණයේ යෙදුණා.” ඇලිසියා කියනවා. 

ඇය ඒ ගමනට ගිහින් නැහැ. මෝලිගේ සොයා ගැනීම ගැන ඇය දැනගෙන තියෙන්නෙ, ඇගේ ලොකු දුව නෙතාලි හා ඇගේ සැමියා වූ බෲස් ගෙදර ආ පසුවයි. “මෝලි කිව්වා, ඒ වෙලාවේ ඇයට කෑගැහුණා, සතුට වැඩිකමට.” කියලා ඇලිසියා කියනවා. 

මෝලි, ඇගේ වැඩිමහල් සොයුරිය නතාලි හා පියා බෲස් සමඟ.

“මං එතැන ඒ වෙලාවේ සිටියේ නැහැ. එහි ශීතල මට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒත් මෝලි ඒ සොයා ගැනීම ගැන ඒ වෙලාවේ ප්‍රතිචාර දැක්වූ හැටි මට සැමියා කීවා. 

“මෝලි හරිම ලජ්ජාශීලියි. ඇය ප්‍රසිද්ධියට කැමති කෙනෙක් නෙමෙයි. ඒත් මේ විස්මිත දත සොයා ගැනීමේ වැදගත්කම ගැන ඇය හොඳින්ම දන්නවා. ඇය මේ මෝර දත් ගැන හොයන්න පටන් ගත්තේ වෙරළේ ඇවිදින්න හැකියාව ලැබුණු දා පටන්මයි.” ඇය තවදුරටත් කියනවා. ‍

මෝලි මේ වන විට මෙගාලෝඩන් දත් හයක් සොයා ගෙන තියෙනවා. මේ සොයා ගෙන තියෙන දත ඒ අතරින් විශාලතම එකයි. විවිධ වර්ගවල දත් 400ක් පමණ ඇය විසින් මේ වන විට සොයා ගෙන තියෙනවා. එදා නත්තල් දවසේ පමණක් ඔවුන් තිදෙනා සොයා ගත් දත් 22ක් ඇය සිය මුහුණු පොතේ ගිණුමේ පළ කර තිබුණා. ඒ අතරින් කුඩා මෝලි සොයා ගත් දැවැන්ත දත කැල්වර්ට් මැරීන් කෞතුකාගාරයට දී තිබුණා. ඔවුන් තමා එය හඳුනා ගැනීමටත්, කාල නිර්ණයටත් යොමු කර තිබුණේ. 

මෝලි, ඒ දත බාර දුන් කෞතුකාගාරයේ පිරිස සමඟ.

කෞතුකාගාරයේ අධිකාරින් කියන්නේ මේ දැවැන්ත දත පොසිල විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙනාවේ මෝලි විසින් බවයි. ඒ නිසා ඇයට අවශ්‍ය ඕනෑම වෙලාවකට එය නැරඹීමට අවසර ඇති බවයි. ඔවුන් කියන්නේ විද්‍යාඥයන් සියවසක පමණ කාලයක් තිස්සේ ලොව විශාලතම මෝරා ලෙස මෙගාලෝඩන් සත්වයාගේ පැවතීම පිළිබඳ සාක්ෂි සොයමින් සිටි බවයි. ප්‍රවාදයේ පැවත එන මේ සත්වයා වසර මිලියන 15ත් 3.6ත් අතර කාලයේ උණුසුම් මුහුදුවල ජීවත් වූ බව ඔවුන් ඒ වන විටත් දැන සිටියේ. 

මේ දත හමුවීමත් සමඟ ඔවුන්ගේ බලාපොරොත්තු අලුත් වී තියෙනවා. මෙම අමුතු දැවැන්තයා ගැන මේ දත නිසා තහවුරු වීමක් සිදු වුණා. දැන් ඔවුන් අපේක්ෂා කරන්නේ උගේ හැඩරුව කෙබඳු දැයි නිර්මාණය කිරීමටයි. මේ සත්වයා පිළිබඳ අධ්‍යයනයක් කළ චිකාගෝහි ඩිපෝල් විශ්ව විද්‍යාලයේ කෙන්ෂු ශිමාඩා කියන්නේ ඔවුන් තාමත් හරියටම තොරතුරු නොදන්නා බවයි. ඔවුන් දන්නේ පොසිල වශයෙන් ලැබුණු දත් හා ඇට කීපයක් පමණයි. ඒවා අනුව උගේ සිරුර දිගින් අඩි 50ක් 65ක් වෙතැයි සැලකෙනවා. 

මේ සතා ඇතුළත් වූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් 2018 දී ‘ද මෙග්’ යන නමින් නිපදවනු ලැබුවා. ඒ හැරෙන්නට නවකතා කීපයකුත් පළ වී තියෙනවා. 1843 දී ස්විස් ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ලුවිස් ඇගසිස් මේ සතා සඳහා ‘කාචරෝඩන් මෙගාලෝඩන්’ (Carcharodon megalodon) කියා විද්‍යාත්මක නාමයක් යෝජනා කර තියෙනවා. දැන් නිල වශයෙන් ඌට දී තිබෙන විද්‍යාත්මක නාමය ‘ඔටෝඩස් මෙගාලෝඩන්’ (Otodus megalodon) කියන නමයි. උගේ විශාල ස්වභාවය ගැන මතහේදයක් නැහැ. 

මෙගාලෝඩන් මෝරකු දඩයමේ යන අයුරු සිත්තරකුගේ ඇසින්.

මේ තොරතුරු හැරුණු විට වසර 150කට පමණ පසු පොසිල සාක්ෂි හමු වීමට පටන් ගත්තා. මෙගාලෝඩන් මෝරා‍ට ‍විශාල හක්කක් තිබූ බව සොයා ගෙන තියෙනවා. පොසිල ගවේශකයකු වූ විටෝ බර්ටුසි විසින් සොයා ගත් පොසිල අස්ථි එකලස් කර මේ සතාගේ දැවැන්ත හක්කක්, වසර 20ක් තිස්සේ වෙහෙස වී නිර්මාණය කර තියෙනවා. එය අඩි 11 ක් පළල අඩි 9ක් උස එකක්. මේ මෙගාලෝඩන්ගේ හක්කකින් ටොන් 10.8ක් හා 18.2ක් අතර බලයක් යෙදවිය හැකියැයි විද්‍යාඥයන් අනුමාන කරනවා. 

ඔවුන් නත්තල් දා සොයා ගත් පොසිල අස්ථි කැබලි සියල්ල.

මෝලි සොයා දුන් දැවැන්ත දත එහි අලුත් ම සොයා ගැනීමයි. මෙයින් ධෛර්යමත් වූ ඔවුන් සිතනවා ඉතා ඉක්මනින් මේ සතාගේ ඇට සැකිල්ලක් හමුවේවි යැයි කියා. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments