ක්‍රිකට් සංඛ්‍යාදත්ත හරියටම හොයාගන්න හැටි

844

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ක්‍රීඩක සංඛ්‍යාදත්ත යොදාගැනෙන්නේ යම් ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා දිවියේ කාර්‍යසාධනයන්, විශ්ලේෂණයන්, තක්සේරු කිරීම් සහ ක්‍රීඩකයන් අතර නොයෙකුත් සංසන්දනයන් සම්බන්ධව දල අදහසක් ලබා ගැනීම සඳහා ලෝකයේ සම්මත මූලිකතම මිනුම් දර්ශකයක් වශයෙන්.

කෙසේ නමුත්, යම් ක්‍රීඩකයෙකුගේ සමස්ත තරග වා‍ර්තාවක් පමණක් එක එල්ලයේ බලමින් යම් නිගමනයකට එළඹීම යෝග්‍ය නොවන්නේ එම දත්ත පුළුල්ව සෑම අංශයක්ම ඔස්සේ විශ්ලේෂණය කිරීම මෙහි දී අනිවාර්ය කාරණයක් වන බැවින්.

නමුත් එම දත්ත මඟින් මුළුමුණින්ම ක්‍රීඩකයෙකුගේ කාර්‍යසාධනයන් පිළිබඳව විස්තර නොවන්නේ ඔවුනොවුන් ක්‍රීඩා කළ කාලයට සාපේක්ෂව ඇතැම් සංඛ්‍යාත්මක නොවන කරුණු කාරණා ද මිනුම් දර්ශක ලෙස යොදාගැනීම අනිවාර්ය කාරණයක් වීම හේතුවෙන්. එම නිසාවෙන් එවන් හා සංඛ්‍යාත්මක නොවන ක‍රුණු කාරණා අතර මධ්‍යස්ථයක අප සිටිය යුත්තේ ඉන් එක් අංශයක් මුළුමුණින්ම බැහැර කිරීම නුසුදුසු බැවිනි.

එබැවින් එම කරුණුවලට ද සැලකිල්ලක් ලබා දී ක්‍රීඩක සංඛ්‍යාදත්තයන් අපි පුළුල්ව මෙන්ම නිරවද්‍ය ලෙස භාවිතා කරන්නෙ කොහොමද සහ ඇතැම් සංඛ්‍යාදත්ත හොයාගන්නෙ කොහොමද කියන දේ මේ ලිපියෙන් උදාහරණ සමඟින් විස්තර කරලා තිබෙනවා.

මෙහි දී Cricmetric, Cricinfo Statsguru, Howstats සහ Cricket Archive යන වෙබ් අඩවි 4ම අපට භාවිතා කිරීමට සිදු වන්නේ ඉන් එක් වෙබ් අඩවියකින් පමණක් සෑම දත්තයක්ම අපට අවශ්‍ය ආකාරයෙන්ම ලබාගත නොහැකි නිසාවෙන්. කෙසේ නමුත්, මේ අතරින් දේශීය තරග වල සංඛ්‍යාදත්තයන් හොඳින් ම ලබාගත හැකි Cricket Archive වෙබ් අඩවිය මුදල් ගෙවා භාවිතා කළ යුතු එකක් වන අතර Cricmetric වෙබ් අඩවියෙන් අපට ලබාගත හැක්කේ 2002 වසරෙන් පසු දත්ත පමණයි.

එම එක් එක් වෙබ් අඩවිවලට පහත සබැඳියන් මඟින් ඔබට යන්න පුළුවන්.

මේ අනුව අපි ප්‍රශ්නාත්මක වශයෙන් කාරණා එකින් එක වෙත යමු. පහතින් දැක්වෙන සියලු සංඛ්‍යාදත්යන්තයන් filter කර තිබෙන්නේ 2022 වර්ෂය අවසන් වන තුරු පමණි.

1. යම් පිතිකරුවෙක් powerplay අවස්ථාව තුළ කෙතරම් ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන තිබෙනවා ද? පන්දු යවන්නෙක්ගේ අවසන් පන්දුවාර කිහිපයේ (death bowling) කොහොම පන්දු යවලා තියනවා ද? වගේ දේවල් අපි බලාගන්නෙ කොහොමද?

මේක බලාගන්න පුළුවන් එකම වෙබ් අඩවිය වන්නේ Cricmetric. අපි ඊට උදාහරණය වශයෙන් T20I තරග රටාව ඔස්සේ පාකිස්තාන කණ්ඩායමේ Mohammed Rizwanව අරගමු.

ඒ අනුව එහි ‘Player search’ වෙත ගොස් ‘Player’ යටතේ අදාළ ක්‍රීඩකයාගේ නම (Mohammed Rizwan) ලබා දිය යුතු වෙනවා. අනතුරුව එහි ‘Show’ යටතේ ‘batting’ ලෙස ද, ‘For’ යටතේ ‘T20I’ ලෙස ද, ‘group by’ යටතේ එම දත්ත පෙළගැස්විය යුතු තමන්ට කැමති අනුපිළිවෙළ ද (උදාහරණයක් වශයෙන් ඒ අතරින් ‘Opposing team’ ලෙස) තෝරාගත යුතුයි.

පසුව එහි පහළින්ම තිබෙන ‘Overs between’හි අපට අවශ්‍ය වන පන්දුවාර ගණන (00 – 06) තෝරාගන්න ඕන.

අනතුරුව ‘Submit’ මත click කළ විට ඊට අදාල දත්ත සටහන අපිට දැන් බලාගන්න පුළුවන්.

ඒ මෙන්න මෙහෙමයි. මේ අනුව powerplay අවස්ථාව තුළ දී Rizwanගේ ප්‍රහාරාත්මක වේගය (strike rate) 114.4ක් ලෙසත්, නිලකුණු පන්දු ගණනේ ප්‍රතිශතය (dot ball percentage) 45.5%ක් ලෙසත් මෙහි දැක්වෙනවා.

මේ ඔස්සේ ඕනෑම පිතිකරුවෙකු හෝ පන්දු යවන්නෙකු ඕනෑම පන්දුවාර ගණනක් තුළ දැක්වූ කාර්‍යසාධනයන් අපිට ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් යම්කිසි පන්දු යවන්නෙකුගේ අවසන් පන්දුවාර කිහිපයේ (death overs) දත්ත සටහන බලා ගන්න අවශ්‍ය නම් අපි ‘Show’ යටතේ ‘bowling’ ලෙස ද, ‘Overs between යටතේ 16-20 ලෙස ද මෙහි දී තෝරාගත යුතු වනවා.

2. යම් ක්‍රීඩකයෙක් තම ක්‍රීඩා දිවිය පුරාවටම පවත්වා ගත් සංඛ්‍යාදත්තයන් ඔහු ක්‍රීඩා කළ එම තරගවල දී ම ක්‍රීඩා කළ ඔහුගේ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ට සහ එම තරගවල තණතිලි තත්වයන්ට සාපේක්ෂව ඉදිරියෙන් ද හෝ පසුපසින් ද කියලා බලාගන්නෙ කොහොමද?

Cricinfo Statsguru වෙබ් අඩවිය මඟින් මේ දත්ත අපිට ලබාගන්න පුළුවන්. මේ සඳහා උදාහරණය වශයෙන් T20I තරග රටාවේ දී නවසීලන්තයේ Trent Boultව අපි අරගමු.

යම් තක්සේරු කිරීමක දී ඔහුව ලෝකයේ අනෙක් පන්දු යවන්නන් හා සැසඳීමට අවශ්‍ය වන්නේ නම් මෙම සංඛ්‍යාදත්තයන් පුළුල් වශයෙන් අපට අධ්‍යයනය කිරීමට සිදු වන්නේ ඔහු වැඩි වශයෙන් පිතිකරුවන්ට උචිත තණතීරුවල පන්දු යැවූ අයෙක් බැවින්.

එබැවින් ඔහුගේ දත්ත අපි සලකා බැලිය යුත්තේ එම තරගවල පැවති තණතිලිවල දී ක්‍රීඩා කළ අනෙක් පන්දු යවන්නන් පවත්වා ගත් පන්දු යැවීමේ සාමාන්‍යයෙන් (bowling averages), පන්දුවාරයකට ලබා දෙන ලකුණු සාමාන්‍යයෙන් (Economy rates) හා එක් කඩුල්ලක් ලබා ගැනීම සඳහා යවන පන්දු ගණනේ සාමාන්‍යය (bowling strike rates) වැනි පරාමිති වල සාමාන්‍ය අගයට සාපේක්ෂව ඔහු පවත්වා ගත් අගය සසඳා බලමින්.

මෙහි දී අපි ඉහළින්ම ‘T20Is’ වශයෙන් තෝරා ඒ යටතේ ‘Team’ ලෙස තෝරාගැනීමට අවශ්‍ය වෙනවා. අනතුරුව එහි ‘Team’ ඉදිරියේ ‘New Zealand’ වශයෙන් ද, ‘Match involving players’ යටතේ අදාළ ක්‍රීඩකයාගේ නම ද (Trent Boult), ‘Result qualifications’ යටතේ ‘wickets taken’ ද, ‘Sort result by’ යටතේ ‘average runs per wicket’ ලෙස ද තෝරා පහළින් ම තිබෙන ‘ Submit query’ මත click කරන්න ඕන. ඒ මෙන්න මෙහෙමයි.

මේ ඔස්සේ ලැබෙන පහත දත්ත වාර්තාවේ Boult තරග වැඩි ගණනක් ක්‍රීඩා කර ඇති තම මව්බිම වන නවසීලන්තයේ දී ක්‍රීඩා කළ සමස්ත T20I තරගවල දී ඔහුත් ඇතුළුව අනෙකුත් සියලු නවසීලන්ත පන්දු යවන්නන්ගේ කාර්‍යසාධනයන් වල සාමාන්‍යයන් අපට බලාගන්න හැකියාවක් ලැබෙනවා.

දැන් අපි ඒ අගයන් Boult තනිව පවත්වා ගත් අගයන් සමඟ සංසන්දනය කරලා බලමු.  ඔහුගේ T20I තරග වාර්තාවේ එකම දුර්වලතාවය වශයෙන් බැලූ බැල්මටම අපට පෙනෙන්නේ ද තම මව්බිම වන නවසීලන්තය තුළ දී ඔහු පවත්වා ගත් සංඛ්‍යාදත්තයි. ඒ මෙන්න මෙහෙම.

ඒ අනුව ඔහු ක්‍රීඩා කළ තරග තත්ත්වයන් යටතේ අනෙක් පන්දු යවන්නන්ට සාපේක්ෂව ඔහු කෙතරම් හොඳින් පන්දු යවා ඇත්ද වග අපට මේ ඔස්සේ බලාගන්න පුළුවන්කමක් ලැබෙනවා.

උදාහරණයක් වශයෙන් Boult වැන්නෙක්ව ඇතැම් ආසියාතික වේගපන්දු යවන්නන් සමඟ T20I තරග රටාවේ දී සංසන්දනය කළහොත් බැලූ බැල්මටම එම ආසියාතික පන්දු යවන්නන්ගේ සමස්ත තරග වාර්තාවල අගයන් ඉදිරියෙන් තිබුනත්, පුළුල් වශයෙන් ඔවුන්ව ඉහත අයුරින් සසඳා බැලුවහොත් පිතිකරණයට උචිත තණතිලිවල වැඩි වශයෙන් ක්‍රීඩා කළ Boultගේ කාර්‍යසාධනයන් වලට වැඩි තක්සේරුවක් අප ලබා දිය යුතු වනවා.

මේ ඔස්සේ අපිට යම්කිසි කාලපරිච්ඡේදයක් තුළ දී ඕනෑම කණ්ඩායමක තරග වාර්තාව වුවද අපට බලාගන්න පුළුවන්. එවන් අවස්ථාවක එහි ‘group figures by’ යටතේ ‘overall aggregate’ යනුවෙන් ලබා දිය යුතු වනවා.

3. යම් පිතිකරුවෙක් විවිධ වූ පන්දු යැවීමේ ප්‍රභේදයන් ඉදිරියේ (උදා- Right-arm fast, Left-arm orthodox වැනි ඕනෑම ප්‍රභේදයක්) වෙන වෙනම කෙතරම් දස්කම් දක්වා ඇත්ද? යම් පන්දු යවන්නෙක් වමත් හා දකුණත් පිතිකරුවන් ඉදිරියේ වෙන වෙනම කෙතරම් දස්කම් දක්වා ඇත්ද? වගේ දේවල් අපි බලාගන්නෙ කොහොමද?

මේක බලාගන්න පුළුවන් වෙන්නෙත් Cricmetric වෙබ් අඩවිය මඟින් පමණයි. අපි මේ සඳහා උදාහරණය වශයෙන් ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරාව අරගමු.

පිතිකරුවෙකු වශයෙන් ඔහු එක්දින තරග රටාවේ දී දඟපන්දු යවන්නන් ඉදිරියේ කෙතරම් දස්කම් දක්වා ඇත්ද යන්න වග තමයි අපි මුලින්ම බලන්න යන්නෙ.

ඒ අනුව එහි ‘Player search’ වෙත ගොස් ‘Player’ යටතේ අදාළ ක්‍රීඩකයාගේ නම (Kusal Perera) ලබා දිය යුතු වෙනවා. අනතුරුව එහි ‘Show’ යටතේ ‘batting’ ලෙස ද, ‘For’ යටතේ ‘ODI’ ලෙස ද තෝරාගත යුතුයි. මම මෙහි ‘group by’ යටතේ ලබා දී ඇත්තේ ‘Opposing team’ ය.

දැන් ‘Opp player type’ යටතේ දඟපන්දු යවන්නන්ට අදාළ පන්දු යැවීමේ ප්‍රභේදයන් සියල්ල තෝරාගත යුතු වන්නේ පහත පරිදීයි. මම මෙහි දී ලබා දී ඇත්තේ දඟපන්දු යැවීමට අදාල පන්දු යැවීමේ ප්‍රභේදයන් 4යි.

අනතුරුව ‘Submit’ කිරීමෙන් පසුව දැන් අපිට ඔහුගේ දත්ත සටහන මෙන්න මේ විදිහට අපට බලාගන්න පුළුවන්.

මේකෙම අනික් පැත්තට යම් ක්‍රීඩකයෙකුගේ පන්දු යැවීමේ අංශය සම්බන්ධයෙනුත් අපට මේ ඔස්සේ බලාගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් වමත් පිතිකරුවන් ඉදිරියේ එම පන්දු යවන්නාගේ පන්දු යැවීමේ දත්ත සටහන අපට බලාගන්න අවශ්‍ය නම් එහි ‘Show’ යටතේ ‘bowling’ ලෙස ලබා දී ‘Opp player type’ යටතේ ‘Left’ ලෙස ලබා දුන් පසු ඒ සම්බන්ධව ඔහුගේ දත්ත සටහන පහත පරිදී අපට බලාගන්න පුළුවන්.

4. පිතිකරුවකු යම් නිශ්චිත පන්දු යවන්නෙකු ඉදිරියේ පමණක් දස්කම් දක්වලා තිබෙන්නෙ කොහොමද කියලා අපි බලාගන්නෙ කොහොමද?

මේක බලාගන්න පුළුවන් වෙන්නෙත් Cricmetric වෙබ් අඩවිය මඟින්. අපි මීට උදාහරණය වශයෙන් පිතිකරුවා ලෙස සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli හා පන්දු යවන්නා ලෙස ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Pat Cumminsව අරගමු.

එහි ‘Batsman vs Bowler matchup’ යටතේ ඇති ‘batters’ ඉදිරියේ අදාළ පිතිකරුවාගේ නම ද (Virat Kohli), vs bowlers යටතේ අදාළ පන්දු යවන්නාගේ නම ද (Pat Cummins) ලබා දී ‘submit’ මත click කළ යුතු වනවා.

ඊට අදාල දත්ත සටහන මේ ආකාරයෙන් බලාගන්න පුළුවන්.

5. යම් පන්දු යවන්නෙකු එක් එක් පිතිකරණ ස්ථානවල පිතිකරුවන්ව දවාගෙන තියෙන ආකාරයේ සංඛ්‍යාදත්තයන් බලාගන්නේ කොහොමද?

මේ දේ අපිට Cricinfo Statsguru හා Howstats වෙබ් අඩවි ඔස්සේත් බලාගැනීමේ හැකියාවක් ඇතත්, ඒවායේ අපට අවශ්‍ය පරිදි දත්ත filter කරගැනීමේ හැකියාවක් නෑ. ඒ වෙනුවට ලබා දීලා තිබෙන දත්තයන් පමණක් අපට එම ආකාරයෙන්ම බලාගන්න වෙනවා.

ඒත් මේ දේත් අපට Cricmetric ඔස්සේ filter කරගැනීමේ හැකියාවක් අපට තිබෙනවා.

ඒ කියන්නෙ උදාහරණයක් වශයෙන් අංක 01 සිට 07 දක්වා පිතිකරුවන්ව දවාගෙන තියෙන්නෙ කොයි වගේ සංඛ්‍යාදත්තයන් සහිතව ද කියලා බලාගන්න අවශ්‍ය නම් මුලින්ම එහි ‘Player search’ වෙත ගොස් ‘Player’ යටතේ අදාළ ක්‍රීඩකයාගේ නම(Dale Steyn) ලබා දිය යුතු වෙනවා. අනතුරුව එහි ‘Show’ යටතේ ‘bowling’ ලෙස ද, ‘For’ යටතේ ‘Test’ ලෙස ද තෝරාගත යුතුයි. මම මෙහි ‘group by’ යටතේ ලබා දී ඇත්තේ ‘Opposing team’ ය.

අනතුරුව පහත ආකාරයෙන් එහි ‘Batting position’ යටතේ අංක 1 සිට 7 දක්වා අංක ලබා දීලා ‘submit’ කළ යුතු වනවා.

ඊට අදාල දත්ත සටහන මේ ආකාරයෙන් බලාගන්න පුළුවන්.

6.යම් ක්‍රීඩකයෙකුගේ දස්කම් විශ්ලේෂණය කිරීමේ දී සලකා බැලිය යුතු අනෙකුත් මූලික සංඛ්‍යාදත්තයන් මොනවා ද සහ ඒවා හොයාගන්නෙ කොහොමද?

ඉහත කරුණු හැරුණුකොට අනෙකුත් බොහෝමයක් සංඛ්‍යාදත්තයන් අපට Cricinfo Statsguru ඔස්සේ ලබා ගත හැකියි.

එහි අදාළ තරග රටාව තෝරාගැනීමෙන් අනතුරුව ‘Advanced filter’ වෙත ගොස් පහත නිර්ණායකයන් වලට අදාළ සෑම සංඛ්‍යාදත්තයක් ම සහ ඊට අමතරව තවත් රාශියක් අපට ඒ ඔස්සේ නිරවද්‍යව බලාගන්න පුළුවන්.

  • ජයග්‍රාහී තරගවල දැක්වූ දක්ෂතා
  • ලෝක කුසලාන ඇතුළු ඕනෑම තරගාවලියක දැක්වූ දක්ෂතා
  • ඕනෑම කාලසීමාවක් තුළ දක්ෂතා
  • එක් එක් ප්‍රතිවාදී කණ්ඩායම් ඉදිරියේ දැක්වූ දක්ෂතා
  • එක් එක් රටවල් තුළ දී දැක්වූ දක්ෂතා
  • එක් එක් ක්‍රීඩාංගණවල දැක්වූ දක්ෂතා
  • එක් එක් පිතිකරණ ස්ථානවල දැක්වූ දක්ෂතා

මීට අමතරව howstats වෙබ් අඩවිය මඟින් ද cricinfo statsguru මඟින් ලබාගත හැකි ඇතැම් සංඛ්‍යාදත්තයන් ප්‍රස්තාර වශයෙන් ද අපට බලාගන්න පුළුවන්.

උදාහරණයක් වශයෙන් යම් ක්‍රීඩකයෙකුගේ howstats profile එක වෙත ගිය පසු ඒ යටතේ තිබෙන ‘Graphs’ ඔස්සේ Batting – Runs per Innings, Breakdown of Runs Scored, How Dismissed, Bowling – Wickets per Innings, How Wickets Obtained (Mode of Dismissal), Analysis of Wickets Taken by Batting Order වැනි විවිධාකාර සංඛ්‍යාදත්තයන් ප්‍රස්තාරමය වශයෙන් ලබාගන්න අපට හැකියාවක් තිබෙනවා.

කෙසේ වෙතත්, ඕනම ක්‍රීඩකයෙකුගේ සමස්ත තරග වාර්තාවකින් පමණක් ම අදාළ ක්‍රීඩකයාගේ සෑම අංශයක් පිළිබඳවම අපට නිවැරදි තක්සේරුවක් ලබාගත නොහැක්කේ මෙවන් පරාමිති ඔස්සේ ද පුළුල් වශයෙන් ඔවුන්ගේ කාර්‍යසාධනයන් සලකා බැලීම අනිවාර්ය කාරණයක් නිසාවෙන්.

සොයා ගැනීමට තරමක් අපහසු ක්‍රිකට් සංඛ්‍යාදත්තයන් නොයෙකුත් අංශ ඔස්සේ අපට ලබාගත හැක්කේ අන්න ඒ විදිහටයි.

මෙහි දී අදාළ ක්‍රීඩකයන් හට ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වල හිමි වූ භූමිකාවට අනුව හා ඔවුන් ක්‍රීඩා කළ යුගවල වෙනසට සාපේක්ෂව මේ සෑම සංඛ්‍යාදත්තයක්ම සලකා බැලීමට අප වගබලාගත යුතු වනවා.

මීට අමතරව ස්ථාවරව එකදිගට දස්කම් දැක්වීමේ හැකියාව (consistency), දිගුකාලීනත්වය (longevity), ඕනම තරග තත්වයක් තුළ දී දස්කම් දැක්වීමේ හැකියාව, තරග වෙනස් කිරීමේ හැකියාව, ජයග්‍රාහී බලපෑම (impact), ප්‍රතිවාදීන් ඉදිරියේ පැතිර වූ ආධිපත්‍යය (dominance) වැනි කරුණු කාරණ ද අප සලකා බැලිය යුත්තේ අංකවලින් පමණක් නොකියවෙන කරුණු කාරණා බොහොමයක් ඇති බැවින්.

මේ අනුව ක්‍රිකට් සම්බන්ධ ඕනෑම විශ්ලේෂණයක් අපට නිරවද්‍යවම සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ ඉහත සවිස්තර වශයෙන් සඳහන් කළ සංඛ්‍යාත්මක කාරණා හරි තැනින් නිවැරදිවම ලබා ගනිමින් සහ ඊට අමතරව සංඛ්‍යාත්මක නොවන නිර්ණායකයන් ද ඒ සඳහා පදනම් කරගනිමින් පමණයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<