Image: Jeff Wall, ‘After “Invisible Man” by Ralph Ellison, the Prologue’, (1999-2000)

ලිබරල්වාදය ඓතිහාසිකව ගොඩ නැගෙන්නේ වහල් සේවය යුක්තියුක්ත කරන ඓතිහාසික සන්දර්භයක සිටයි. ජෝන් ලොක්, ජෙරමි බෙන්තම්, ජෝන් ස්ටුවර්ට් මිල් ඇතුළු සකලවිධ ලිබරල්වාදී චින්තකයන් මේ ඓතිහාසික දෛවයෙන් ගැලවෙන්නේ නැත. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍යයේ අධිකාරිවාදී බලයට එරෙහි වීම අවධාරණය කරන ලිබරල්වාදී චින්තකයන් ඒ සමගම වහල් සේවය, ඇදහිය නොහැකි ශ්‍රම කොන්දේසි යටතේ මිනිසුන් දුක් විඳීම යුක්ත යුක්ත කරන්න බොහෝ දේ ලියයි. උපයෝගිතාවාදී දාර්ශනික රැඩිකල්වාදය පදනම් වූයේ වහලුන් ගේ ශ්‍රමය මතයි.

කෝල්බ්රුක් සහ කැමරන් යන ලිබරල්වාදීන් දෙදෙනා අපේ රටේ ඇති කළ දේශපාලන ප්‍රතිසංස්කරණ වල ප්‍රතිවිපාක අද දවස වනතුරු අපි අත්විඳිමු. එම ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස වතු ආර්ථිකය විධිමත් වීම සහ වතු වල ඉඩම් අයිතිය හිමි නව ධනේශ්වර පන්තියක් ඇති වීම සිදුවිය. එම නිසාම ඇදහිය නොහැකි ශ්‍රම කොන්දේසි යටතේ ජීවිතය ගත කරන වහලුන් ගේ සමාජ ස්ථරයක් ද ඇති විය.

ලෝකයේත්, ලංකාවෙත් අප පසුකරමින් සිටින්නේ ලිබරල්වාදය විසින් ඇති කළ මෙම ඓතිහාසික බෙදීම තුළයි. කුඩා පිරිසක් විශාල ධනයක් ලබා ඔවුන්ගේ වැඩකාරයන් ලෙස විශාල පිරිසක් තබාගෙන සිටියි. මේ වැඩකාරයන් අතරින් සුළු පිරිසක් ‘ගම් දොරින් එළියට’ ගියේ රාජ්‍යය සුභ සාධනය මතයි. ඔවුන් අපට නිදහස ලැබූ වහලුන් කියා නම් කළ හැක. එම වහලුන් නිදහස් වී ඇත්තේ ඒ වෙනුවෙන් රාජ්‍ය මිලක් ගෙවන නිසාය. අප අද මුහුණ දී තිබෙනා අර්බුදයේ එක් මානයක් වන්නේ මෙම සුභ සාධන රාජ්‍යය පවත්වා ගැනීමට ඇති නොහැකියාවයි.

ලිබරල්වාදය බැහැර කිරීමක් මත පදනම් වන නිසාම එය සාර්වාත්‍රිකවාදයක් (universalism) වන්නේ නැත. ‘ආත්මයක්’ (‘a subject’) ඇති විය හැක්කේ සාර්වාත්‍රිකයකට සාපේක්ෂව පමණක් වන නිසා ලිබරල්වාදයට හැකි වන්නේ ආත්මය වෙනුවට පුද්ගලයා (individual) බිහි කිරීමට පමණි. එනිසාම පුද්ගල නිදහස යනු ලිබරල්වාදයේ නිෂ්ඨාවයි. එම නිදහස පදනම් වන්නේ උබර් ඊට්ස් වලින් කෑම බෙදා හරින විශාල සමාජ පන්තියක් සිටින නිසාය.

ලිබරල්වාදයට සාපේක්ෂව වාර්ගික අන්තවාදී දේශපාලනය ආගමික විශ්වාසයන් මත පදනම් වන නිසා සාර්වත්‍රිකවාදයක් වනවා යන දාර්ශනික විරුද්ධාභාශයට අප මුහුණ දිය යුතුය. එය – දේශපාලනිකව නොව දාර්ශනිකව – බැහැර කිරීමක් නැතිව සියලු මිනිසුන්ට විමුක්තිය පොරොන්දු වෙයි. එම නිසා ලිබරල් පුද්ගල නිදහස පිළිබඳව කතිකාව වාර්ගික දේශපාලනයේ ආත්ම විමුක්තිය (‘සිංහල බෞද්ධ රාජ්‍යය’) මගින් නිරන්තරයෙන් අභියෝගයට ලක් වෙයි.

ලිබරල්වාදය සහ වාර්ගික අන්තවාදය ලෙස දෙකඩ වී ඇති දේශපාලනය සඳහා තුන්වැනි විකල්පයක් යෝජනා කරන්නේ කෙසේද? දැනට මෙහි භාවිතය සහ සිතීම තිබෙන්නේ තැන් දෙකක කියා පැහැදිළි වේ. කවන්ධයට හිසක් ලබා දීමේ අවශ්‍යතාවය අපටත් එසේම තිබේ!