නොදු”ටූස්”

1559

නවසීලන්තයේ ඉපදිලා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරපු අය හිටියා. එංගලන්තයේ ඉපදිලා නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරපු අයත් හිටියා.

බෙන් ස්ටෝක්ස් උපන්නේ නවසීලන්තයේ. ඒත් ඔහු ක්‍රීඩා කළේ එංගලන්තය වෙනුවෙන්. රොජර් ටූස් උපන්නේ එංගලන්තයේ. ඔහු ක්‍රීඩා කළේ නවසීලන්තය වෙනුවෙන්.

කවුද මේ රොජර් ටූස්? පළමු වරට නවසීලන්තය වෙනුවෙන් එක් අවුරුද්දක දී එක්දින ලකුණු 1000 පහුකරපු පිතිකරුවා. නවසීලන්තයේ පිතිකරණ වැඩකාරයෝ කොච්චර හිටියත් රොජර් ටූස් තමයි ඒ වැඩේ මුලින්ම කළේ.

ටූස් මම හරිම ආස කරපු පිතිකරුවෙක්. ටූස්ට තිබුණේ ශක්තිමත් ඇඟක්. බෝලෙට රිදෙන්න පහර දෙන්න පුළුවන් අත් දෙකක්. එංගලන්තයේ ක්‍රිකට් ගැහුවට ඒ වෙනකොට එංගලන්ත කණ්ඩායමේ ඔහුට ඉඩක් තිබුණේ නෑ.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කර කර ඉන්නකොට ඔහුට අවස්ථාව ලැබෙනවා නවසීලන්ත දේශීය තරගාවලියට ක්‍රීඩා කරන්න. ඒ 1991/92 දී විතර. ටූස් අවුරුදු කිහිපයක්ම ඒ තරගාවලියේ දී ක්‍රීඩා කරපු විදිය නිසා ඔහුට අවස්ථාව ලැබෙනවා නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. ඒ 1995 ඉන්දියානු සංචාරයේ දී.

ඒ වෙනකොට නවසීලන්ත කණ්ඩායමේ හිටියේ ඩැනී මොරිසන්, ක්‍රිස් කෙයාන්ස්, ඩියොන් නෑෂ්, ගැවින් ලාසන්, මාක් ග්‍රේට්බැච්, නේදන් ඇස්ටල් වගේ අය.

ටූස්ට මුලින්ම අවස්ථාව ලැබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න. 1995 නවසීලන්ත-ඉන්දියා ටෙස්ට් තරගාවලිය ඒ දවස්වල MTV නාලිකාවේ පෙන්නනවා. හරියට පේන්නෙත් නෑ. ඒත් රූපවාහිනියේ කළු තිත් අතරින් තමයි මම රොජර් ටූස්ව මුලින්ම දැක්කේ. ඒ තරගාවලියේ දී නවසීලන්තය හොඳට ක්‍රීඩා කළේ නැතත් ටූස් කියන්නේ විශේෂ පිතිකරුවෙක් බව පොඩි ළමයෙක් වුණු මටත් හිතට ගියා.

සුදු හෙල්මට් එකට යටින් ලේන්සුවක් එහෙම දාලා, පරණ ක්‍රමයට තමයි ඔහු පිටියට එන්නේ. පිටියේ හරහට හොඳ පහරවල් (කට්ස්, පුල්ස්) තිබුනා. හොඳ ඩ්‍රයිව්ස් තිබුණා. දර්ශනීය පිතිකරුවෙක්.

ටූස් අවුරුදු 4ක් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ රැඳෙන්න උත්සාහයක් ගත්තට ඔහුට ලොකු ඉනිම් ක්‍රීඩා කරන්න බැරි වුනා. 1999 දී ඔහුව ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් වුනා. ඒත් 1999/2000 සීසන් එක වෙනුවෙන් ඔහුව එක්දින කණ්ඩායමට ඇතුළත් වුනහම, රොජර් ටූස් ඒක මතක හිටින කාලයක් කරගත්තා. ඒ අවුරුද්දේ එක්දින ලකුණු 1000ත් පහුකරලා, ලකුණු 50ට වැඩි සාමාන්‍යයක් පවත්වා ගත්තා.

1999 දකුණු අප්‍රිකා සංචාරයේ එක්දින තරග 6ක දී ඔහු අර්ධ ශතක දෙකක් වාර්තා කළා. ඒත් ඔහුගේ විශේෂිතම ඉනිම දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා වෙන්නේ 2000 දී. මුලින්ම පන්දුවට පහර දුන්නේ නවසීලන්තය.

Twitter
රොජර් ටූස්, දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවට පහර දෙමින්

ක්‍රිස් නෙවින්, නේදන් ඇස්ටල්, ස්ටීවන් ෆ්ලෙමිං කියන තුන්දෙනාම දැවී යද්දී පන්දුවාර 13කුත් ගෙවිලා ඉවරයි. නවසීලන්ත පළමු කඩුලු 3ම ලකුණු 39 දී දැවිලා ගියා. ඉන්පස්සේ තමයි එන්නේ රොජර් ටූස්. රොජර් ටූස්ට එකතු වෙනවා ක්‍රිස් කෙයාන්ස්. ප්‍රතිවාදී පන්දු යවන්නෝ වෙන්නේ ෂෝන් පොලොක්, ඇලන් ඩොනල්ඩ්, රොජර් ටෙලමාකස්, ජාක් කලිස්, ලාන්ස් ක්ලූස්නර්, නිකී බෝයේ වගේ සෙට් එකක්. ප්‍රබල බල ඇණියක්නේ. තරගය තියෙන්නෙත් දකුණු අප්‍රිකාවේ.

ඔය මොන නම තිබුනත් ටූස්-කෙයාන්ස් දෙන්නා දෙනවා ප්‍රති-ප්‍රහාර සංදර්ශනයක්. කවුන්ටර් ඇටෑකින් එක්සිබිෂන් එකක්. ටූස් තමන්ගේ මංගල එක්දින ශතකය වාර්තා කරන්නේ එදා. පන්දු 115න් ලකුණු 103ක් ඔහු එදා වාර්තා කළා. ක්‍රිස් කෙයාන්ස් පන්දු 72කින් ලකුණු 84ක් වාර්තා කළා. පන්දුවාර 13ක දී 39/3ක හිරවෙලා හිටපු නවසීලන්තය ඉනිම ඉවර වෙද්දී 256/9යි.

ඔය ඉනිමේ දී ප්‍රබලම ප්‍රහාරයට ලක්වුණේ ජාක් කලිස් සහ ලාන්ස් ක්ලූස්නර්.

ක්ලූස්නර් ගැන දන්නවනේ. සටන්කාමියා. කොහොමහරි අන්තිම පන්දුවාරයේ දී දකුණු අප්‍රිකාව තරගය දිනුවා. ක්ලූස්නර් පන්දු 42ට 59ක් ලබාගත්තා.

ඒ කාලේ විස්සයි විස්ස ක්‍රිකට් නොතිබුණේ පන්දු යවන්නන්ගේ වාසනාවට. කිව්වත් වගේ ඒ තමයි රොජර් ටූස් වාර්තා කරපු හොඳම එක්දින ඉනිම. ඒත් ඒ ඉනිමෙන් පස්සේ ටූස් දිගින් දිගටම අසාර්ථක වුනා. අන්තිමට කණ්ඩායමෙන් එළියට යන්නත් සිදු වුනා.

රොජර් ටූස්, එක්දින තරග 87යි, සාමාන්‍යය 38.81යි, ප්‍රහාරක වේගය 75.40 (ඒ කාලේ හොඳ රේට් එකක්), ශතක 1යි, අර්ධ ශතක 20යි.

මේත් නොදුටු මිනිසෙක් තමයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<