HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රොමියෝ ජුලියට් වසර 55කට පසු නඩු මඟට!

1968 දී තිර ගත වූ ‘රොමියෝ ජුලියට්’ චිත්‍රපටයේ නළු නිළි යුවළ වසර 55කට පසුව එදා තමන්ගේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගනිමින් වංචනික ලෙස තමන් අපයෝජනයට ලක් කළැයි පසුගිය දා පැරමවුන්ට් සමාගමට එරෙහිව ඩොලර් මිලියන 500ක් ඉල්ලා කැලිෆෝනියා අධිකරණයක නඩු පවරා තියෙනවා. එවකට 15 හා 16 වයස්වල පසුවූ තමන් දෙදෙනා රවටා නිරුවත් ලිංගික රංගනයක යොදවා එය ඔවුන්ට හොරා කැමරාවට නඟා ඒ චිත්‍රපටයට එක් කර ගත් බවටයි, ඔවුන් චෝදනා කරන්නේ. 

එදා රොමියෝ ජුලියට් ලෙස රඟපෑ ලොනාඩ් විටං (72) හා ඔලිවියා හසේ (71) 
වසර 55කට පසු අද නඩු මගට බැහැලා.

දැනට 71 වැනි වියේ පසුවන ඔලිවියා හසේ නිළියත්, 72 හැවිරිදි වියේ පසුවන ලෙනාඩ් විටින් නළුවාත් පසුගිය දෙසැම්බර් 30 වැනිදා කැලිෆෝනියා අධිකරණය ඉදිරියට ආවේ මේ නඩුව ගොනු කිරීම සඳහායි. ඔවුන් පැරමවුන්ට් පික්චර්ස් සමාගමට චෝදනා කළේ තමන් බාල වයස්කාරයන්ව සිටියදී වංචනිකව, තමන් නොදැනුවත්ව ලිංගික අපයෝජනයට, ලිංගික අතවරයකට ලක් කර තමන් දෙදෙනාට චේතනාන්විතව චිත්ත පීඩාවක් ඇති කිරිමට කටයුතු කළේය කියායි. ඔවුන් මේ නඩුව පසුගිය සිකුරාදා ඉදිරිපත් කළේ කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා උපරිමාධිකරණයටයි. 

මේ චිත්‍රපටය පැරමවුන්ට් පික්චර්ස් සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂණය කළේ සුප්‍රකට ඉතාලි සිනමාකරු ෆරැන්කෝ සෙ‍ෆිරෙලි ය. ඔස්කා සම්මානයකට පවා නම් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඔහු  96 හැවිරිදි වි‍යේ දී 2019 වසරේ දී මිය ගියා. 

එදා ඔවුන් මෙසේ රොමියෝ ජුලියට් චරිත රඟපාන්නට තෝරා ගන්නා විට ඔවුන් 
15 හා 16 වයස්වලයි හිටියේ.
1968 දී පැරීසියේ රොමියෝ ජුලියට් මංගල දර්ශනයට සහභාගි වූ ‍
අධ්‍යක්ෂ ෆ්රැකෝ සෙෆරිලි, හසේ හා විටිං.

ඔලිවියා හසේ හා ලෙනාඩ් විටින් නළු නිළි යුවළ බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. ඔවුන් කියා සිටියේ මේ චිත්‍රපටය ආරම්භයේ දී එහි නිරුවත් දර්ශන කිසිවක් නොමැති බවයි. ඒ වුනත් අන්තිම දිනවල චිත්‍රපට ගත කරද්දී සිරුරට විශේෂ අංග රචනාවක් භාවිත කොට නිරුවත් දර්ශනයක් ඇතුළත් නොකළොත් චිත්‍රපට අසාර්ථක වීමට ඉඩ ඇතැයි කී නිසා ඔවුන්ට එසේ රඟපෑමට සිදු විය. බාල වයස්කාරයන් වූ නිසා ඔවුන්ට ඒ අවස්ථාවේ ඇති බරපතලකම වැටහී ගියේ නැහැ. 

“මේ දෙන්නාට ඔවුන් එකක් කියා ඊට හාත්පසින් ම වෙනත් දෙයක් කරලා තියෙනවා.” ඔවුන්ගේ ව්‍යාපාර කළමනාකරු ටෝනි මරිනෝසි කියනවා. අධ්‍යක්ෂ සෙෆිරෙලි කැමරාව තබන තැන පෙන්වා දී එසේ තැබීමෙන් නිරුවත් රූගත කිරීමක් සිදු නොවන බවත් ඔහු විසින් එදා පෙන්වා දී තිබෙනවා. 

“ෆ්රැන්කෝ ඔවුන්ගේ හොඳ මිතුරකු වූ නිසා 16 වන වියේ පසුවූ ඔවුන් දෙදෙනාට වෙන කළ යුතු දෙයක් සිතා ගත නොහැකි වුණා. ඔහු කී දේ විශ්වාස කළා” මරිනෝසි කියනවා.

ඔවුන් නඩුමගට බැස ඇත්තේ මේ දර්ශනය නිසයි.

චිත්‍රපටය 1968 දී තිරගත කෙරුණා. විචාරකයන්ගේ පැසසුම අධ්‍යක්ෂට හිමිවූවා පමණක් නොව ඔහු ඇකඩමි (ඔස්කාර්) සම්මානයට පවා නම් කරනු ලැබුවා. 2019 දී ෆ්රැන්කෝ සෙෆිරිලි 96 හැවිරිදිව සිටිය දී මිය ගියා. 

ඔවුන්ගේ නීතිඥයා වූ සොලමන් ග්‍රීසන් කියන්නේ ඒ දෙන්නා කීවේ, ‘අපි ඒ කාලේ, 60 ගණන්වල, ළමයින් දෙදෙනකුව සිටි නිසා ඔවුන්ට ඉන් වන හානිය හිතා ගන්නට හැකි තත්වයක් නොතිබුණු බවයි. චිත්‍රපටයේ ඒ දර්ශනය ඔවුන්ට දීර්ඝකාලීනව, මුල්‍යමය, ශාරිරික හා චිත්තවේගීය පීඩාවන් ඇති කළා’ කියලයි. 

“මං ආසාවෙන් ජුලියට්ගේ චරිතය රඟපෑවේ. ඒත් පුවත්පත් ඒ දර්ශනය නිසා මාව විනාශ කළා.” යැයි හසේ දැන් කියනවා. 

ඇය ඒ චිත්‍රපටයෙන් පසු ෆ්රැන්කෝ සමග ‘ජීසස් ඔෆ් නසරත්’ නම් ටෙලි මාලා නාටකයෙහි මේරිගේ චරිතය රඟපෑවා. ඒ චිත්‍රපටයෙන් පසු විටිං ආපසු බ්‍රිතාන්‍යයට ගොස් නළුවකු හා ගායකයකු වශයෙන් කටයුතු කළා. 

වසර 55කට පසුව ඔවුන් මෙසේ නඩුවක් පැවරීමට කැලිෆෝනියාවට පැමිණියේ 2022 දෙසැම්බර් 31 වැනිදායින් නඩු පැවරීම කළ නොහැකි යැයි කැලිෆෝනියානු නීතියේ වෙනසක් ඇති කිරීම නිසයි. ඒ නිසා නඩු පැවරීමට කල් ඉකුත්වීමට පෙර 30 වැනිදා ඔවුන් උසාවිය හමුවේ පෙනී සිටියා. 

රොමියෝ ජුලියට් චිත්‍රපටය සඳහා නිකුත් කළ ප්‍රචාරක පටය පහතින් බලන්න. 

- පර්සි ජයමාන්න

 

Post a Comment

0 Comments