HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සියවසේ විශිෂ්ට ක්‍රීඩකයාගේ නික්ම යාම

අපේ රටේ ජනතාව අතර වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට්ය. එහෙත් මුළු ලෝකය පුරාම ජනතාව අතර ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු ය. ක්‍රිකට් උපන් ර‍ට වූ එංගලන්තයේ පවා වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව පාපන්දු ය. පාපන්දු ක්‍රීඩාව නරඹන්නට ජනතාව රැස්වන්නේ ලක්ෂ ගණනෙනි. ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සෑම රටක ම, සෑම තැනක ම වයස් බේදයකින් තොරව ජනතාව පාපන්දු ක්‍රීඩාවෙහි යෙදෙනු දැකිය හැකිය. මේ පාපන්දු ක්‍රීඩාව මෙතැනට ඔසවා තැබූ එක් ක්‍රීඩකයෙක් සිටියි. ඔහු ‘පේලේ’ ය. 

පේලේ පාපන්දුව හැසිරවූ ආකාරය ඔහුට ම සුවිශේෂී විය.

ඔහු ලොව පුරා සැම දන හඳුනන්නේ ‘පේලේ’ කියාය. එහෙත් උපතින් ඔහු එඩ්සන් ඒරන්ටස් ඩු නාසිමෙතු ය. ඔහු 1940 ඔක්තෝබර් 23 වැනිදා බ්‍රසිලයේ මිනාස් ජෙරායිස්හී ට්‍රෙස් කොරාකෝස්වල උපන්නේය. ඔහුගේ පියා ජෝ රාමොස් ඩු නාසිමෙතූ ය; මව සෙලෙස්ටි ඒරන්ටස් ය. ඔහු දරුවන් දෙදෙනකු‍ගෙන් වැඩිමලා ය. ඇමෙරිකාවේ විශිෂ්ටතම නව නිපැයුම්කරුවකු වූ තෝමස් අල්වා එඩිසන් අනුව යමින් දෙමාපියන් එඩිසන්ගේ නම මඳක් වෙනස්කොට ඔහුට එඩ්සන් කියා නම් තැබුව ද උපත ලියාපදිංචි කළ තැනැත්තා එය වරදවා එඩිසන් කියා උප්පැන්නයෙහි සටහන් කොට ඇත. 

පවුලේ අය ඔහු ඇමතුවේ ‘ඩිකෝ’ යන සුරතල් නාමයෙනි. පාසල් යන කාලේ සිට ම පාපන්දු ක්‍රීඩාවට ආසා කළ ඔහුට මිතුරන් කීවේ ‘පේලේ’ කියාය. එයට හේතුව එවකට සිටි ප්‍රකට ගෝල් රකින්නකු වූ ‘බිලේ’ගේ නම ‘පේලේ’ කියා වරදවා උච්චාරණය කිරීම නිසා පාසල් මිතුරෝ ඔහුට ‘පේලේ’ කියා විහිළු කළහ. අවසානයේ දී ඒ නම ඔහුට උරුම වී යැයි ‘පේලේ’ නමින් පළ වූ ඔහුගේ ජීවිත කතාවේ සඳහන් වෙයි. ඔවුන් කතා කරන පෘතුගීසි භාෂාවෙහි එවැනි වදනක් නැතත් හීබෲ භාෂාවෙහි ඇති ඒ වදනෙහි අරුත ‘හාස්කම’ යන්නය. 

‘ බ්‍රසීල ජාතිකයකු වූ ඔහු තරම් ලෝක සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයකු තවත් නැත. ලෝක පාපන්දු සම්මේලනය ඔහු හැඳින්වූයේ ‘ශ්‍රේෂ්ඨයා’ කියායි. එසේම සියලු ක්‍රීඩාවලින් ම 20 වන සියවසේ වඩාත් සාර්ථක වූ වඩාත් ජනප්‍රිය වූ ක්‍රීඩකයා ලෙසයි. 1999 දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඔහු ‘සියවසේ ක්‍රීඩකයා’ ලෙස නම් කළේය. ලෝක ප්‍රකට ‘ටයිම්’ සඟරාව ඔහු 20 වන සියවසේ විශිෂ්ටයන් 100 අතරෙහි ලා දැක්වීය. 2000 දී ඔහුට ‍’සියවසේ ලෝක ක්‍රීඩකයා’ ලෙස අන්තර්ජාතික පාපන්දු ඉතිහාසය හ‍ා සංඛ්‍යා දත්ත පිළිබඳ ෆෙඩරේෂණය මගින් ඡන්දයෙන් තෝරා ගැනිණ. ඔහු ක්‍රීඩා තරඟ 1,363කට දී ගෝල 1.279ක් රැස් කිරීම නිසා ගිනස් ලෝක වාර්තා පොතටද ඇතුළත් කර ගනු ලැබීය. 

පේලේ බ්‍රසීලයේ සැන්ටෝස් පාපන්දු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්නට ගියේ 15 හැවිරිදි වියේ දීය. ඔහු වයස 16 දී බ්‍රසීල ජාතික කණ්ඩායමට එක් විය. ඔහු අන්තර්ජාතික ක්‍රීඩා දිවිය තුළ ‍ලෝක පාපන්දු කුසලාන තුනක් ම දිනා ගැනීමට සමත් විය. ඒ 1958, 1862 හා 1970 වසරවලදීය. ඒ වාර්තාව පිහිටවූ ලොව එකම ක්‍රීඩකයා ඔහු පමණි. ඔහු 1958 ලෝක පාපන්දු තරඟාවලිය අවසානයේ දී තරඟ 92කකදී ගෝල් 77ක් රැස් කළේය. ඒ තරඟාවලියෙන් පසු ඔහුට ‘ඕ රී’(O Rei) නමින් අන්වර්ථ නාමයක් පටබැඳිණ. එහි අරුත ‘රජා’ යන්නයි. ක්‍රීඩා සමාජ මට්ටමෙන් ද ඔහු ලොව වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩකයා විය. ඒ තරඟ 659ක දී ගෝල 643ක් වශයෙනි. ඒ ඔහු ක්‍රීඩා කළ සැන්ටෝස් ක්‍රීඩා සමාජයේ ස්වර්ණමය යුගය විය. 

පාපන්දුව හැසිරවීමේ දී ඔහු දැක්වූ ක්‍රීඩා කෞශල්‍යය, පිටිය පුරා පිළිමලුන් පීරා ගෙන, දෙපා හසුරුවමින්, වෙට්ටු දමමින්, වේගයෙන් දිව ගිය ආකාරය හා ගෝල රැස් කළ අලංකාර විලාසය නිසා පාපන්දු ක්‍රීඩාවට ද ‘අලංකාර ක්‍රීඩාව’ යනුවෙන් අන්වර්ථ නාමයක් පටබැදිණ. ඔහු පාපන්දු පිටියට පිවිසෙන්නට පෙර ක්‍රීඩකයන්ට අංක භාවිතයක් තිබුණේ නැත. ලෝක පාපන්දු සම්‍මේලනය ක්‍රීඩකයන්ට අංක දෙන්නට තීන්දු කළ පසු මුලින් ම අංක 10 හිමි වූයේ පේලේටය. අද අංක 10 පාපන්දු පිලක දක්ෂතම ක්‍රීඩකයාගේ සන්නාමය වී තිබේ. ලොව ඕනෑම පාපන්දු පිලක දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන්නේ අංක 10යි. පේලේට පසුව පාපන්දු පිටියට ආ ආජෙන්ටිනාවේ දියේගෝ මැරඩෝනාටද, ඊට පසුව ආ ලියොනෙල් මෙසීටද හිමි වූයේත් අංක 10යි. ප්‍රංශයේ සිනෙඩීන් සිඩාන්ටද කිලියන් ම්බප්පේට ද හිමි වූයෙත් අංක 10යි. 

පේලේට අවසන් ගෞරව දක්වන්නට අංක 10 ජර්සි ඇඳ පැමිණි පිරිස්.

පේලේ ගේ කුඩා කල ගෙවුණේ දරිද්‍රතාවයෙනි. අතිරේක මුදලක් උපයා ගන්නට ඔහු තේ පැන්සැලක සේවය කළේය. ඔහු පාපන්දු ක්‍රීඩාවට හුරු කළේ ඔහුගේ පියාය. ඩොන්ඩින්හෝ නමින් ෆ්ලුමිනන්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ පාපන්දු ක්‍රීඩකයකු වුවද ඔහුට ඉන් ආදායමක් ලැබුණේ නැත; පුතාට පාපන්දුවක් දීමට තරම් ආදායමක් තිබුණේ නැත. ඒ නිසා පේලේ පරණ මේස් කකුලක් තුළට කඩදාසි ගුළියක් පුරවා බෝලයක් තනා ගත්තේය; නැති නම් ජම්බෝලයක් බෝලය කර ගත්තේ ය. 

පේලේ ඔහුගේ ජීවිත කතාව කියද්දී කියා ඇත්තේ පිටියේ දී එන අමාරු අභියෝග ජයගන්න ඔහු සිය කුසලතා වැඩි දියුණු කර ගත්තේ ගෘහස්ත පාපන්දු (ෆුට්සාල්) ක්‍රීඩාවේදී බවයි. එහිදී ක්‍රීඩකයන් අතර පරතරය අඩුවන නිසා ඉක්මනින් සිතා එසැණ තීරණ ගැනීමට හුරුවූ බවත් ඔහු කීවා. ඔහු එහිදී ක්‍රීඩා කළේ 14 හැවිරිදි වියේ වුනත් වැඩිහිටියන් සමගය. එහි දී ඔහු ක්‍රීඩා කළ එක් තරඟාවලියක දී ඔහු ගෝල් 15ක් ලබා ගත්තා. “ඒකෙන් මට මං ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. මොන අභියෝගයක් ආවත් ඊට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් ඇති වුණා.” පේලේ ඒ ගැන කීවේ එසේය. 

යොවුන් පාපන්දු පුහුණුකරු වො‍ල්ඩෙමාර් ඩි බ්‍රිටෝ 1956 දී කුඩා පේලේ සාවෝ පවුලෝ නගරයේ සැන්ටෝස් ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂ මණ්ඩලයට හා එහි පුහුණුකරු ලූලාට හඳුන්වා දෙමින් එදා කීවේ, “මෙයා අනාගතයේ ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයා වෙනවා සිකුරුයි” කියාය. ඔහුගේ හැකියාවන් පිරික්සා බැලූ සැන්ටෝස් පුහුණුකරු 1956 ජූනි මාසයේ දී වෘත්තීය ක්‍රීඩකයකු ලෙස බඳවා ගත්තේය. ඒ වන විට ඔහු 15 හැවිරිදි වියේ පසු විය. ඒ ව‍සරේම සැප්තැම්බර් 7 වැනිදා ඔහු ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට ඇතුළත් කෙරුණි. එහි දී පැවති මුල් තරඟයේදීම ඔහු පළමුවන ගෝලය ලබා ගත්තේය. 1957 පැවති තරඟාවලියේ දී ම ඔහු වැඩි ම ගෝල් ලාභියා වූවා පමණක් නොව බ්‍රසීලයේ ජාතික කණ්ඩායමට ද තෝරා ගනු ලැබීය. ඒ වන විට ඔහු 16 හැවිරිදි විය. 

1958 හා 1962 ලෝක පාපන්දු කුසලාන තරඟවලින් පසු රියල් මැඩ්රිඩ්, ජුවෙන්ස්, මැන්චෙස්ටර් යුනයිටඩ් වැනි යුරෝපයේ ධනවත් ක්‍රීඩා සමාජ, පේලේ ඔවුන් හා එක්කර ගැනීමට උත්සාහ කළහ. ඒ අතරින් 1958 දී ඉන්ටර් මිලාන් සමාජය පේලේ සමග ගිවිසුමක් අත්සන් කළත් ඔහුට ඒ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථා ලැබුණේ නැත. පේලේ ක්‍රීඩා කළ සැන්ටොස් ක්‍රීඩා ලෝලීන්ගේ උද්ඝෝණයක ප්‍රතිඵලයක් ලෙස එහි සභාපතිවරයාගේ ඉල්ලීමක් මත ඒ ගිවිසුම අවලංගු කෙරිණ. 1961 දී බ්‍රසීල ජනාධිපති ජානියෝ ක්වඩ්‍රෝස්ගේ රජය පේලේ ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ඔහු රටින් පිටතට ගෙන යාම ඒ යටතේ තහනම් ක‍ෙරිණ. ඒ වෙනුවට ඔහු 1962 දී සිය ක්‍රීඩා සමාජය රැගෙන ජාත්‍යන්තර තරඟවලට ගියේය. ඒ හැම තරඟයක්ම පාහේ ජයගත්තේ ය. අංක 10 කමිසය පැලඳ සිටියේ මේ කාලයේය. ඒ වසරේ පෘතුගාලයේ ලිස්බන් අගනුවර පැවති තරඟය ඔහුගේ පිල ජය ගත්තේ ගෝල 5-2ක් වශයෙනි. එහි දී ඔහු ගෝල ත්‍රිත්වයක් ලබා ගත්තේය. 

පේලේගේ දෙන රැගෙන ගියේ ගිනි නිවන හමුදා රථයකිනි.

ඔහු සැන්ටෝස් ක්‍රීඩා සමාජයේ 19 වසරක සේවාවකින් පසු 1974 දී විශ්‍රාම ගත්තද එහි වි‍ශේෂ තරඟවලට පමණක් සහභාගි විය. තවත් වසරකට පසුව, 1975 දී උතුරු ඇමරිකානු පාපන්දු ලීගයට එක් වූයේ නිව්යෝක් කොස්මොස් ක්‍රීඩා සමාජය හරහාය. “ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි ක්‍රීඩකයන් රැසක් අප සමග එක්වෙලා හිටියා. ඒත් පේලේ හැමටම වඩා සුවිශේෂයි. හැමෝටම ඕනෑ පේලේව අතගාන්න, ඔහුට අතට දෙන්න. ඔහු සමඟ පින්තූර ගන්න.” ඒ ක්‍රීඩා සමාජයේ මාධ්‍ය ප්‍රකාශක කීවේ, පේලේ ඔවුන් හා එක් වූ බව ප්‍රකාශයට පත් කරමිනි. තරඟයක් සඳහා මුල්වරට බොස්ටන් නගරයට ආ වේලේ ඔහුව පිළිගන්න වටකර ගත් ක්‍රීඩාලෝලීන් පොරකෑම නිසා ඊට මැදි වී තුවාල ලත් පේලේ එතැනින් ඉවතට ගෙන ගියේ ගිලන් මැස්සක දමා ගෙනය. 

පේලේ කොස්මෝස් ක්‍රීඩා සමාජයට එක් වී සහභාගි වූ මුල්ම ක්‍රීඩා තරඟය වූයේ 1975 ජූනි 15 වැනිදා ඩලාස් ටෝනාඩෝ ක්‍රීඩා සමාජය සමඟ ඩවුනින් ක්‍රීඩාංගනයේ පැවති තරඟයයි. 2-2 ක් ලබාගෙන ජයපරාජයෙන් තොරවූ ඒ තරගයේ දී පේලේ එක් ගෝලයක් ලබා ගත්තේය. උතුරු ඇමරිකාවේ ක්‍රීඩා කරන්නට ක්‍රීඩකයන්ට දොර විවෘත කර දුන්නේ පෙලේය. ජියෝජියෝ චිනග්ලියා පේලේ සමග කෝස්මෝස් ක්‍රීඩා සමාජයට ගිය අතර පසුව ෆ්රෑන්ක් බ‍ෙකන්බෝර් ද සැන්ටෝස් ක්‍රීඩකයකු වූ කාලෝස් ඇල්බටෝ ද එක් වූහ. ඒ ලීගයේ තරඟවලට එක් වූ අනෙක් විදේශ ක්‍රීඩකයන් අතරට බොබී මුවර්, ජෝර්ජ් ‍බෙස්ට්, ගෝඩ්න් බෑන්ක්ස් ආදිහූ ද ඇතුළත් වූහ. 

යුද්ධයක් අතරමඟ නවත්වා දෙපාර්ශ්වය එකට එක්ව පේලේ ක්‍රීඩා කළ තරඟයක් නැරඹීම ‍ලොව වෙනත් කිසිම ක්‍රීඩකයකු නොලද ගෞරවයකි. එය සිදුවූයේ ලෙබනන සිවිල් යුද්ධය අතරතුරය. පේලේ ආගන්තුක ක්‍රීඩකයකු ලෙස ලෙබනනයේ නෙජිමියා ක්‍රීඩා සමාජයට එක් වූයේ ලෙබනන ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩා තරුවලින් සැදුණු කණ්ඩායමක් සමඟ සුහද තරඟයක් සඳහාය. එහිදී යුද විරාමයක් ඇති කළා පමණක් නොව තරඟය පැවති දිනයේදී ක්‍රීඩාලෝලීන් 40,000ක් උදේ පාන්දර සිට ම පිටියට රැස්ව සිටියේ පේලේ තරඟ කරනු බලන්නටය. 

ලෝකයම දිනූ පේලේ - ඔහුගේ ජීවිත කතාව (වමේ)  

1970 දශකයේ ඇමරිකාවේ පාපන්දු ක්‍රීඩාගාර දස දහස් ගණන් ප්‍රේක්ෂකයන් ගෙන් පිරී ඉතිරී ගියේ පේලේ නිසාය. 1977 සොකර් බෝල් තරඟාවලියේ පේලේ කොස්මෝස් පිල වෙනුවෙන් සහභාගි වූ තුන්වැනි තරඟය නරඹන්නට වාර්තා ගත 62,394ක ප්‍රේක්ෂකයන් පිරිසක් ජයන්ටස් ක්‍රීඩාංගනයට රැස්වූහ. ඒ තරඟයේ දී, 37 හැවිරිදි වියේ පසු වූ පේලේ ගෝල ත්‍රිත්වයක් ලබා ගනිමින් 3-0ක් ලෙස ප්‍රතිවාදී පිල පරදවා ලන්නට සමත් විය. ඒ තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක පේලේ ක්‍රීඩා කරනු බලන්නට ඒ ක්‍රීඩාංගනයට රැස් වූ පිරිස 77,891ක් විය. ඒ ඇමෙරිකාවේ ක්‍රීඩාංගනයකට එතෙක් රැස් වූ විශාලතම පිරිස විය. 

පේලේ සිය වෘත්තීය ක්‍රීඩා දිවිය අවසන් කළේ 1977 ඔක්තෝබර් 1 වැනිදාය. ඒ ඔහු අවසන් වරට ක්‍රීඩා කළ ඇමෙරිකාවේ කොස්මෝස් පිලත් බ්‍රසීලයේ සැන්ටෝස් පිලත් අතර පැවති ප්‍රදර්ශනාත්මක සුහද තරඟයකටය. ජයන්ට්ස් ක්‍රීඩාගාරයේ පැවති ඒ තරඟයේ අවසර පත් සියල්ල විකිණී අවසන් ව තිබූ නිසා ඇමරිකාවේ හා ලොව පුරා පාපන්දු ලෝලයන්ට එය දැක ගත හැකි වූයේ ටෙලිවිශනයෙනි. ඒ ක්‍රීඩාව නැරඹීමට පේලේගේ පියාත්, බිරිඳත්, ලෝකප්‍රකට බොක්සිං ශූරයකු වූ මොහොමඩ් අලි ද සහභාගි වූහ. ක්‍රීඩාව ආරම්භ කරන්නට පෙර ප්‍රකාශයක් කරමින් පේලේ කීවේ “අපට ජීවිතයෙන් ලැබෙන හැමදේටම වඩා ආදරය හුඟක් වටිනවා” කියායි. 

ඒ තරඟයේ දී පේලේ මුල් අර්ධය කොස්මෝස් පිලටත් දෙවන අර්ධයේ දී සැන්ටෝස් පිලටත් ක්‍රීඩා කිරීම විශේෂත්වයක් විය. 2-1ක් ලෙස කොස්මෝස් පිල ජයගත් ඒ තරඟයේ දී පේලේ යාර 30 නිදහස් පහරකින් ලබා ගත් ගෝලය ඔහුගේ වෘත්තීය ක්‍රීඩා දිවියේ අවසාන ගෝලය විය. ඒ තරඟයේ දෙවන භාගයට වර්ෂාවෙන් බාධා සිදුවුණු අතර පේලේ ක්‍රීඩා පිටියෙන් සමුගැනීම ගැන බ්‍රසීලියානු පුවත්පතක් පළ කළ වාර්තාවට සිරස්තලය යොදා තිබුණේ ‘එදා අහස් කඳුළු සැලුවා” යනුවෙනි. 

පේලේ 82 හැවිරිදි වියේ දී මිය ගියේ ආන්ත්‍රවල පිළිකාවකිනි. ඒ 2022 දෙසැම්බර් 29 වැනිදාය. පාපන්දුවක් මිල දී ගන්නට වත්කමක් නැති දිළිඳු ජීවිතයකින් ඇරඹූ ඔහු මියයන විට ඔහුගේ වත්කම ඩොලර් මිලියන 100ක් ඉක්මවා තිබිණ. ඔහු වැඩිම ආදායමක් ඉපැයූ පාපන්දු ක්‍රීඩකයා විය. ලෝකයේ වැඩිම ගෝල ගණනක් ලබා ගත් ලොව එකම ක්‍රීඩකයාය. ඔහු ලබා ගත් ලොකුම ගෝලය (ඉලක්කය) ලෝක සාමයයි. කළු සුදු භේදය ලෝකයෙන් තුරන් කර, වර්ණ භේදයෙන් තොරව හැමටම ආදරය කරන්නට ලෝකයා පෙලඹවූ මහා යුග පුරුෂයා ඔහුයි. 

ඔහු මියගිය පසු අවසාන කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව ඇතිව සිදු කළේ බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස දිවුරුම් දුන් ලූලා ද සිල්වාගේ සහභාගිත්වයෙනි. ලක්ෂ දෙහමාරක පමණ ජනකායක් ඔහුට ගෞරව දක්වන්නට පැමිණ සිටියහ. පැමිණි ජනතාවගෙන් වැඩිදෙනා පේලේගේ අංක 10 යෙදූ ජර්සියෙන් සැරසී සිටීම විශේෂයෙන් කැපී පෙනුණේය. ඔහුගේ දෙන සාම්ප්‍රදායික ලෙස ගිනි නිවන රථයක තබා ගෙන වීදි සංචාරය කරද්දී, පේලේගේ මව වූ දෝනා සෙලෙස්ටෙ ගේ නිවස අසලින් යද්දී මඳක් නවතා මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වා යාච්ඤාවක් කළ අතර පේලේ මවද දෑත් එක්කොට යාච්ඤාවට එක් වූවාය. ඇය ඇගේ 100 වැනි උපන් දිනය පසු කළේ පසුගිය වසරේ දී ය. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments