23න් පහළ මධ්‍යම ආසියා ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

අවුරුදු 23න් පහළ මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවය 2022

225

පසුගිය මාසයේ බංග්ලාදේශයේ දී පැවති වයස අවුරුදු 23න් පහළ මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 23න් පහළ කණ්ඩායමට හැකි වුනා.

තරගාවලියේ ආරම්භක තරගයේ දී Kyrgyzstan කණ්ඩායම සමඟින් තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරගය තියුණු සටනකින් පසු තරග වට 4-1ක් ලෙස පරාජය වුනේ 26-24, 25-22, 25-21ක් සහ 25-18ක් ලෙසයි.

නේපාලය සමඟ පැවති තරගයේ දී නවීන් සහ කවිෂ්ක දැක්වූ ඉහළ දස්කම් නිසා එම තරගය 26-24ක්, 25-18ක් සහ 25-17ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.

සත්කාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර තරගයේ පළමු වටය 25-16ක් ලෙස බංග්ලාදේශය ජයග්‍රහණය කරද්දී, දෙවැනි සහ තෙවැනි වට (25-22 & 25-23) ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනේ වැඩි ගෞරව ලබා ගනිමිනුයි.

නමුත් අනෙක් වට ද්විත්වයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අසරණ කළ බංග්ලාදේශ ප්‍රහාරකයින් 25-13ක් සහ 15-13ක් ලෙස ජයග්‍රහණය ලබමින් තරගය වට 3-2ක් ලෙස ජය ගත්තා.

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාව Kyrgyzstanට එරෙහිව තරග වැදුණු අතර එහි දී ද ශ්‍රී ලංකාවට සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Kyrgyzstan ක්‍රීඩකයින් 29-27, 25-21ක් සහ 25-20ක් ලෙසින් ශ්‍රී ලංකාව පරදවා ජයග්‍රහණය ලැබුවා.

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වූ තරගයේ දී ශ්‍රී ලංකාව නේපාලය තරග වට 5-2ක් ලෙස පරාජය කළ අතර උණුසුම් වූ මෙම තරගයේ පළමු වටය 25-22ක් ලෙස ජයග්‍රහණය කළේ නේපාලයයි.

දෙවැනි සහ තෙවැනි වට පිළිවෙළින් 25-19ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වූවත්, සිව්වැනි වටය 20-25ක් ලෙස නේපාලය ජය ගනිමින් නැවත තරගයට අවතීර්ණ වුනා.

තීරණාත්මක පස්වැනි වටයේ දී සිය ආධිපත්‍ය පැතිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම වටය ලකුණු 15-10ක් ලෙස ජය ගනිමින් තරගයේ ජය තහවුරු කළා.

තරගාවලියේ අවසන් මහා තරගය වට පහක් දක්වා ගිය ඉතා තියුණු සටනකින් පසුව 3-2ක් ලෙස ජයග්‍රහණය කරමින් නැගෙනහිර ආසියානු 23න් පහළ වොලිබෝල් ශූරයින් වීමට බංග්ලාදේශයට හැකි වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වූවත් මෑත කාලයේ ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාව ඉතා පසු බැසීමකට ලක්ව ඇති අයුරු මෙම තරගාවලියේ ද තහවුරු වුනා.

දකුණු ආසියානු කලාපයේ ප්‍රබල කණ්ඩායම් වන ඉන්දියාව සහ පාකිස්තානයට ද පෙර දැඩි සටනක් ලබා දුන් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාව වර්තමානයේ බංග්ලාදේශය, නේපාලය වැනි කණ්ඩායම් සමඟ තරග ජයග්‍රහණය කිරීමට පවා දැඩි උත්සහයක් දරනු දැකීම කනගාටුවට කරුණක්.

 ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාව පසුබෑමකට ලක් වීමට බලපෑ හේතු අධ්‍යනය කරමින් ඒවාට නිසි විසඳුම් ලබා දීමට බලධාරීන් ඉක්මනින් කටයුතු නොකළහොත් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාව ඉතාමත් ඉක්මනින් අගාධයට යනු ඇත.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<