තරගයට කලින් ම ඉන්දීය නායකයාගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්!

India vs Sri Lanka 2023

4271

අද (03) පැවැත්වීමට නියමිත තරගයේ දී, ආසියානු කුසලානයේ දී ලද පරාජයට වගකිවයුතු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වැඩි අවධානයක් ලබා දෙන බව ඉන්දීය නායක Hardik Pandya පවසනවා.

සාපේක්ෂව ගත් කල නිමා වූ 2022 වර්ෂය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඒ තරම් ම සුභදායී වසරක් නොවුනු අතර, මේ වසර වෙනුවෙන් ගිය වසරට වඩා වෙනස් ආරම්භයක් ලබා ගැනීමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් නවක ඉන්දීය සංචිතය බලාපොරොත්තු වන බවට සැකයක් නැහැ.

ඉන්දු – ලංකා ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය අද මුම්බායි හී Wankhede ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර Virat Kohli, Rohit Sharma, KL Rahul වැනි ප්‍රබල ඉන්දීය නම් කිහිපයකින් ම තොරව ඔවුන් මෙම විස්සයි විස්ස තරගාවලියට පිවිසෙනු ඇත.

නමුත් ලබන සතියේ ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියේ දී මොවුන් තිදෙනා ද නැවත කණ්ඩායම සමඟ එක් වීමට නියමිතයි.

ප්‍රබල ක්‍රීඩකයින් නොමැතිව වුවද දක්ෂතාවලින් පරිපූර්ණ නවක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ඉන්දීය සංචිතය ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල තරගයක් ලබා දෙනු ඇති බවට අනුමාන කළ හැකියි.

නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී අවසන් වරට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගයකින් මුණ ගැසුණු අතර එම තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එම පරාජයේ වාඩුව ගැනීමට මෙම තරගාවලිය අවස්ථාවක් කර ගැනීමට ඉන්දියානුවන් බලා සිටින අතර, ඉන්දීය නායක Hardik Pandya නම් පවසන්නේ එය ප්‍රධාන අරමුණ ලෙස ඔළුවේ තබා නොගෙන අද තරගයට අවතීර්ණ වන බවයි.

නමුත් ආසියානු කුසලානයේ දී තමන්ගෙන් තරගය ඉවතට ගෙන ගිය ක්‍රීඩකයින් පිළිබඳ වැඩි අවධානයක් ලබා දෙමින් ඔවුන් ව හිර කිරීමට උත්සාහ කරන බවත් Pandya ප්‍රකාශ කර තිබුණා.

“අපි පරණ ගනුදෙනු විසඳ ගන්න බලා ගෙන නෙවෙයි එන්නේ, අපිට අවශ්‍ය හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න විතරයි. නමුත් ඔව්, ඔවුන්ට ඉන්දියාව දී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන බව අපි දැනෙන්න සලස්වනවා. අපිට ඔවුන්ට Sledge කරන්න අවශ්‍ය නැහැ, අපේ කාය භාෂාව ම (Body Language) ඇති වේවි ඔවුන් ව අපහසුතාවට පත් කරන්න. ඒ වගේම ආසියානු කුසලානයේ දී තරගය අපෙන් ඉවතට ගෙන ගිය ක්‍රීඩකයින් ව මේ පාර නතර කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

ඉන්දු – ලංකා ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<