Images: Bandu Manamperi’s performance, at the “Theertha Performance Platform – 2022”. Photographed by Vasantha Wakkumbura

කොන්ටෙන් මෙයසූ ගේ චින්තනය සම්බන්ධයෙන් අප ගොඩනගන්න උත්සාහ කළ ලාංකික සංවාදයේ පළමු පියවර අවසන් වූයේ අර්ධ සාර්ථකත්වයකිනි. එම පළමු පියවරේ දී නලින් ද සිල්වා ගේ සිතීම තුළ ‘නිවන’ යන වචනය මගින් ඉටු කරන භූමිකාවේ සීමාව පෙන්වා දීමට අපට හැකි විය.

සංක්ෂිප්ත වශයෙන් අපට එය මෙසේ කිව හැකිය: නිවන හැර සියලු දැනුම බොරු වනවා යන්න ද දැනුමකි. එනිසාම එම දැනුම සඳහා අනෙකුත් දැනුම් වලට නැති කිසිදු විශේෂ වටිනාකමක් හිමි වන්නේ නැත. නිවැරදි වනවා කියා අප ගන්නා ඉතාම මූලධාර්මික අදහස් ද ඇතුළුව අපේ සියලු අදහස් අප දැන් ඒවා වටහා ගන්නා ආකාරයෙන් වලංගු වන්නේ අපේ සිතීම නම් පදනමට සාපේක්ෂව පමණි. ‘මට සාපේක්ෂ’ යන කොන්දේසිය ඉවත් කළ විට අප සිතනා කිසිවක් – බාහිර ලෝකය, අනෙකුන් ගේ සිතීම, අවිසංවාදී මූලධර්මය, නිවන, දෙවියන් – සම්බන්ධයෙන් අපට කිසිදු සහතිකයක් නොමැති වී යයි. එම නිසා සියල්ල සිතන්නේ ‘මගේ ලෝකය’ තුළ සිට පමණි. එයින් අපට ගැලවී යා නොහැක.

කාටිසියානු කොජිටෝව යනු නූතන දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පය වන්නේ මෙම නිසාය. බැලූ බැල්මට මෝඩ ආකාරයකට කියන්නේ නම් එමගින් පෙන්වා දෙන සරල සත්‍යය මෙයයි: අප සිතනා සියල්ල සිතන්නේ සිතීම තුළයි. එනිසා සර්ව බලධාරී දෙවියන්, නිවන, වාස්තවික යථාර්ථය, මරණයෙන් පසු අපේ පැවැත්ම මුළුමනින් අහෝසි වීම වැනි සියලු දේ අපේ සිතුවිලි ලෝකයට පමණක් ඇතුලත් වන අදහස් වෙයි. මේ සිතුවිලි ලෝකයෙන් බාහිරත්වයක් අපට නැත. අප සිටින්නේ මේ ‘මගේ ලෝකය’ නම් සිපිරි ගෙයෙහි පැන යා නොහැකි සිරකරුවන් ලෙස සිර වී ය.

මෙයසූ ගේ දර්ශනය සම්බන්ධයෙන් අප ආරම්භ කළ සංවාදය මෙතැනට එන තෙක් සාර්ථක වූවා කියා අපි සිතමු. එම අර්ථයෙන් අප පෙන්වා දුන්නේ නලින් ද සිල්වා ගේ ‘මගේ ලෝකය’ ව්‍යාපෘතිය යනු මෙම කාටිසියානු මූලධර්මය මත පදනම් වූ දැවැන්ත දාර්ශනික ඉතිහාසයක කුඩා පාද සටහනක් වනවා යන්නයි.

මෙයසූ සංවාදයේ පළමු පියවර සාර්ථක වීම වෙනුවෙන් අපට එක්තරා වන්දියක් ද ගෙවීමට සිදුවිය. නලින් ද සිල්වා ගේ අදහස් වෙනුවෙන් පෙනී සිටිමින් අප සමග සංවාද කළ කිසිවෙක්ට ඉහත අවසන් නිගමනයට එකඟ විය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. එනිසාම මෙහිදී මෙය නොනිමි ෆේස්බුක් රණ්ඩුවක් බවට පෙරලුනි. සමස්ත ව්‍යාපෘතිය අර්ථ විරහිත දෙයක් වන්නට අවශ්‍ය සියලු අන්තර්ගතයන් එහි විය. අපගේ ප්‍රතිවාදීන් ඉතාම දක්ෂ, බුද්ධිමය ශක්‍යතාවය අතින් ඉහළ මට්ටමක සිටි අයයි. ඔවුන්ට දර්ශනය සම්බන්ධයෙන් කිසිදු විධිමත් පුහුණුවක් තිබුනේ ද නැත. ඔවුන්ගේ අර්ථකථන විශ්වය තුළ එවැන්නක් අවශ්‍ය වනවා කියා ඔවුන් සිතන්නේ ද නැත. ඔවුන්ට අනුව දර්ශනය ඉගෙන ගැනීම භෞතික විද්‍යාව සහ ගණිතය ඉගෙන ගත් කෙනෙක්ට ටොයිස් වැඩකි. මේ බොහෝ දෙනෙක් දැඩි මමංකාරයක් සහිත අය ද වෙයි. අවසානයේ දී, වඩාත් තීරණාත්මක ලෙස, සමස්ත සංවාදය දිග හැරෙන්නේ සතුරු-මිතුරු ලෙස වෙන් වූ දේශපාලන බෙදීමක අන්‍යෝන්‍ය අවිශ්වාසය මත සිටයි. එනිසා මෙතනින් පසු මෙයසූ සංවාදය අඩියක් හෝ ඉදිරියට ගියේ නැත. සදාකාලිකව රණ්ඩු වෙවී, තරහ වෙවී, යාළු වන පවුලේ සමීප නෑදෑයන් සේ අප අතර ‘ෆේස්බුක් නෑ කමක්’ ඇති විය.

නමුත් අනපේක්ෂිත ප්‍රශ්නයක් නිසා අපට මෙම මර උගුලෙන් ගැලවීමට ඓතිහාසික අවස්ථාවක් ලැබුනි. මෙයසූ ගේ දර්ශනය පිළිබඳව සංවාදය මෙම ‘නලින් ද සිල්වා පරිච්ඡේදයෙන්’ ඉවතට ගෙන, එයට දළු ලා වර්ධනය විය හැකි සරු පසක රෝපණය කිරීමට අපට නව ඉඩක් ලැබුනේ මෙම නිසාය. පසුගිය වසර පුරා අප උත්සාහ කළේ මෙය සාර්ථක කර ගැනීමටයි. මේ සඳහා අප ‘මූලධර්මය’ (‘Principle’ – ග්‍රීක වචනය ‘Arche’) යන අදහසේ ඓතිහාසික විකාශය – ඇනෙක්සිමැන්ඩර්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් හරහා ඩෙකාට් දක්වා – අධ්‍යයනය කිරීමට යොමු විය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට කරුණුත්වයේ මූලධර්මය යන මෙයසියානු ප්‍රවාදයේ නිශ්චිත අර්ථය සිංහල භාෂා ලෝකය තුළ ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය මානසික නිදහස ලැබුණි. අපේ අවංක අදහස වන්නේ නලින් ද සිල්වා විසින් 80 දශකයේ ආරම්භයේ පශ්චාත්-පොපරියානු විද්‍යාවේ දර්ශනය ගෙන ඒම සහ දීප්ති කුමාර ගුණරත්න විසින් 2000 දශකයේ ආරම්භයේ මනෝවිශ්ලේෂණය ගෙන ඒමට පසු මෙරට සිංහල බුද්ධිමය සාකච්ඡාවට එකතු වූ රැඩිකල් නවීන දාර්ශනික අදහස මෙය බවයි. මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යබව අපට අනාගතයේ දී තහවුරු කර ගැනීමට හැකි වනු ඇත.

සංක්ෂිප්ත වශයෙන් කරුණුත්වයේ මූලධර්මය යනු මූලධර්මී සිතීමක (principial thought) නව ආරම්භයකි. එය කාටිසියානු කොජිටෝවට වඩා ගැඹුරු මූලධර්මයක් වන්නේ එමගින් අපට කාටිසියානු කොජිටෝව – ‘මගේ ලෝකය’ යන්න – නැති වනවා සිතීමට ඉඩ ලැබෙනා නිසාය. අපි මේ තීරණාත්මක තර්කය සාරාංශ කරමු.

මා සිතනා සියල්ල මගේ සිතීම අභ්‍යන්තරයට පමණක් අයිති වුවත් මාගේ සිතීම මෙසේ තිබීම අනිවාර්යය නොවනවා කියා ද මට වැටහෙයි. ‘කරුණුමයභාවය’ යන වචනයේ අර්ථය වන්නේ මෙයයි: මගේ සිතීම මෙසේ තිබීම අනිවාර්යය නොවේ. එම අර්ථයෙන් එය මගේ සිතුවිලි ලෝකයේ තිබෙනා තවත් එක් අදහසකි. නමුත් එය අපට මුණ ගැසෙන්නේ තෝරා ගැනීමක් ලෙස නොවේ. කුමන ආගමික විශ්වාසයකට අයත් වන කෙනෙක් වුවත් මෙය පිළිගත යුතුය: ‘කොයි මොහොතේ හෝ මාගේ පැවැත්ම නැති වී යා හැක’. ආගමික විශ්වාසයන් වලින් කරන්නේ ‘මරණයෙන් පසු’ සිදුවන දේ සඳහා කතන්දරයක් සැදීමයි (නැවත ඉපදීම, ස්වර්ගස්ථ වීම, පැවැත්ම මුළුමනින් අවසන් වීම). නමුත් මෙවැනි කතන්දර අයත් වන්නේ මගේ සිතුවිලි ලෝකයේ අභ්‍යන්තරයට පමණි. මගේ සිතුවිලි ලෝකය නැති වුවහොත් ඒවා සම්බන්ධයෙන් කිසිදු සහතිකයක් අපට නැත. මෙම ආගමික විශ්වාසයන් අතර බහුවිධ තෝරා ගැනීම් තිබෙන්නේ එම නිසාය. කෙනෙකුට නැවත ඉපදීම ද, තව කෙනෙකුට ස්වර්ගස්ථ වීම ද, තව කෙනෙකුට මරණයෙන් සියල්ල අවසන් වීම ද තෝරා ගත හැක. නමුත් ඒ සියලු අදහස් අපේ සිතුවිලි ලෝකයේ අභ්‍යන්තරය තුළ තිබෙනා තවත් සිතුවිලි පමණි. අප සිරගෙයින් එළියට යන්නේ නැත.

නමුත් ‘මගේ පැවැත්ම මෙසේ පැවතීම අනිවාර්යය නොවේ’ කියා මට ඇති දැනුම මගින් පෙන්වා දෙන්නේ මෙලෙස මගේ සිතීම නැති වුවහොත් නැති වී යා හැකි දැනුමක් නොවේ. ඒ වෙනුවට එමගින් පෙන්වා දෙන්නේ මගේ සිතීම යන්න නැති වී යා හැකිය කියා සිතන්න ඉඩ දෙන කොන්දේසියයි. ඉහත ආකාරයේ විවිධ ආගමික / නිරාගමික විශ්වාසයෙන් සේ මෙය තෝරා ගැනීමක් නොවන්නේ මෙම නිසාය. මේ සියලු දෙනා විසින් ‘මගේ සිතීම මෙසේ තිබීම අනිවාර්ය නොවේ’ යන්න පිළිගනු ලබයි (අපට සිතා ගත නොහැකි අවසානයන් වෙත අපේ පැවැත්ම ළඟා වනවා කියා ඔවුන්ට විශ්වාස කිරීමට ඉඩ විවර වන්නේම මේ නිසාය). නමුත් ඔවුන් අමතක කරන්නේ මේ ‘අනිවාර්යය නොවීම’ දැන් අප නොදැනුවත්වම අපේ සිතීමෙන් පරිබාහිරත්වයක් ලෙස සලකා ඇති බවයි. අනෙක් අදහස් මෙන් නොව ‘මගේ සිතීම මෙසේ තිබීම අනිවාර්යයය නොවේ’ යන දැනුම මගේ සිතීම නැති වුවත් වැරදි වන්නේ නැත. ඒ වෙනුවට එමගින් සිදුවන්නේ එම අදහස වලංගු බව තහවුරු වීමයි. නමුත් අනෙක් සියලු ආගමික / නිරාගමික විශ්වාසයන් අපේ සිතීම නම් කොන්දේසිය අභ්‍යන්තරයේ අදහස් ලෙස පමණක් අපට ගැනීමට සිදුවෙයි. මෙයට පරස්පරව මගේ සිතීම අනිවාර්යය නොවේ යන දැනුම මගින් පමණක් මගේ සිතීමට අනදාලව වලංගු වන දැනුමක් හෙළි කරයි.

කාටිසියානු කොජිටෝවේ සෞත්‍රික සීමාව විනිවිද යන්නට මෙයසූට ඉඩ ලැබෙන්නේ මෙතැන දී ය. මගේ සිතීම ‘අනිවාර්යය නොවනවා’ යන්න අපට ගත හැක්කේ මගේ සිතීම යන්න යටත් වී ඇති කොන්දේසියක් ලෙසයි. එනිසාම එම සිතීම රැඩිකල් ලෙස පරිවර්තනයට ලක් විය හැකි බව මට මෙමගින් අවබෝධ වෙයි. එම පරිවර්තනය කිසි සේත් මට සාපේක්ෂ වන්නක් නොවේ. ඒ වෙනුවට එමගින් පෙන්වා දෙන්නේ ‘මගේ ලෝකය’ යන්නම නැති වීමේ හැකියාවයි. එය සිදු වන්නේ, නැවතත්, මගේ සිතීම අනිවාර්යය නොවනවා කියා මට ඇති වැටහීම නිසාය. මේ මගින් අපට පැහැදිළි වන්නේ ‘හේතුවක් නොමැති වීම’ නම් කොන්දේසියට යටත් වන පැවැත්මක් නැති වී යාමේ හැකියාවක් නිරපේක්ෂ ලෙස වලංගු වනවා යන දැනුමයි. සංක්ෂිප්ත වශයෙන් ‘කරුණුත්වයේ මූලධර්මය’ ලෙස නම් කරන්නේ මෙයයි. එමගින් කියා සිටිනා අපූරු දැනුම මෙයසූ විසින් මෙසේ සාරාංශ කරයි: කරුණුමයභාවය පමණක් කරුණක් නොවේ.

මෙය ‘arche’ නම් දර්ශනයේ සමාරම්භක ග්‍රීක අභිලාශය සම්බන්ධ රැඩිකල් නව ප්‍රවාදයකි. අපගේ ඔට්ටු ඇල්ලීම වන්නේ මෙය ඇරිස්ටෝටල්ට සහ ඩෙකාට්ට පසුව දර්ශනයේ ඉතිහාසයේ සිදුවූ මූලධර්මී සිතීමේ දැවැන්තම ඉදිරි පියවර බවයි. සිතීම නම් කොන්දේසිය නොමැතිව පැවැත්මවල් ඇති වී, නැති වී යා හැකි හැකියාවක් පිළිබඳව සිතීමට අපට ඉඩ ලැබෙන්නේ මේ මගින් ය. එයට ඉඩ දෙන්නේ කරුණුමයභාවය ලෙස නම් කළ ‘අනිවාර්යය නොවීම’ නම් කොන්දේසිය වන නිසා එය ‘කරුණුත්වයේ මූලධර්මය’ ලෙස අපි නම් කරමු.

සැකයකින් තොරවම මෙම මූලධර්මය අපට වටිනාකමක් ඇති දෙයක් දෙන්නේ ද කියා මේ මගින් පැහැදිළි වන්නේ නැත. එය වටිනා දෙයක් වන්නේ ඒ මගින් අපට ලෝකය සහ ජීවිතය සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් දෙයක් කියා දෙන්නේ නම් පමණි. මෙය පැහැදිළි කර ගැනීම සඳහා අප දිගු ගමනක් යා යුතුය. එය කෙතරම් දිගු ගමනක් වන්නේ ද යත් එය අපේ ජීවිත කාලය තුළ අවසන් කිරීමට පවා නොහැකි වීමට බොහෝ ඉඩ තිබේ. නමුත් මේ සඳහා අවශ්‍ය තීරණාත්මක පියවරක් අප දැන් තබා තිබේ. මෙයසූ සංවාදය සිරවී තිබූ ‘නලින් පරිච්ඡේදය’ අවසන් කිරීමට අප දැන් සමත් වී තිබේ. දැන් එය අප මූලධර්මී සිතීම පිළිබඳව දර්ශනයේ ඉතිහාසයේ (මූලික වශයෙන් ඇරිස්ටෝටල් සහ ඩෙකාට්) එන අදහස ඔස්සේ වර්ධනය කළ යුතුය.

2022 වසර අපේ රටේ රැඩිකල් සිදුවීමකින් සලකුණු වූ ඓතිහාසික වසරකි. එය අපට ද බොහෝ අර්ථ වලින් තීරණාත්මක වසරක් විය. කරුණුත්වයේ මූලධර්මය යනු මේ වසරේ අප සාමූහිකව එකතු කර ගත් ලොකුම ධනයයි. මේ ගැන බොහෝ දේ කතා කිරීමට 2023 වසරේ දී උත්සාහ කරමු.