Masks displayed at the Kamakura Noh Theatre in the town of Kamakura, Japan Photo: AFP

පෙරදිග රංග කලාවේ සුප්‍රසිද්ධ ජපන් නෝ රඟහල යනු නාට්‍ය ලෝකයේ ඉතාමත් උත්කෘෂ්ඨ සම්ප්‍රදායයන්ගෙන් එකකි. සරලව අර්ථ ගන්වන්නේ නම් නෝ නාට්‍යයන් හි සාරගර්භ අන්තර්ගතය සඳහා පසුබිම සකස් වන්නේ බුදු දහම මූලික වූ වපසරියක, පැවැත්ම පිළිබඳව ගොඩනැගෙන දාර්ශනික තර්කනය වස්තුබීජය කරගෙනය. එබැවින් මෙම නාට්‍ය කලාත්මක සහ ආධ්‍යාත්මික දැනුවත්භාවයේ සම්මිශ්‍රණයක් යැයි පැවසීම ද සාවද්‍ය නොවේ.

 ‍“මිනිස් මනස වූ කලී ගලා යන ගංගාවකට සමානය.පිවිතුරු කුඩා දිය බිඳුවකින් ආරම්භවන එය කෙමෙන් පහළට ගලායත්ම නේක විධ දෑ එකතු වීමෙන් අපවිත්‍ර වන්නා සේම මිනිස් සිත විසින්ද අල්ලා ගන්නා සංස්කාර හේතු කොටගෙන මනස දූෂ්‍ය වේ.”‍

බෞද්ධ දර්ශනයේ අරමුණක් වන්නේ එසේ දූෂ්‍ය වූ සිත් සතන් සුවපත් කර ආධ්‍යාත්මය පිරිසිදු කිරීමයි. එබැවින් බුදු දහමේ මූලික උපදේශනය වන්නේ අත් හැරීමයි. එනම් ඇලීම, ගැටීම, තෘෂ්ණාව ආදී සංස්කාරයන්ගෙන් නිදහස් වීමයි. ඒ අනුව මනසෙහි ඇතිවන සසල බව, නොසෑහීමකට පත් ස්භාවය, ආදී කාරණා හොඳින් දැකගත හැකි වන්නේ මනස දෙස තැන්පත්ව බැලීමෙනි. නෝ නාට්‍ය තුළින් උත්සාහ කරන්නේ ද අවිද්‍යාව (නොදන්නාකම) හේතු කරගෙන අල්ලා ගන්නා චේතනා හා සංස්කාරයන් නිසා අතෘප්තිකර ජීවිතයක් ගත කරන එවැනි පරිභෝජනවාදී සමාජයකට කලාත්මක රසවින්දනයක් ඔස්සේ රුකුලක් සැපයීමයි.

නෝ නාට්‍ය යනු රංගන ක්‍රියාකාරීත්වයෙන් අඩු ප්‍රේක්ෂකයා තුළ තරමක අලස, කම්මැලි හෝ නිදිමත ස්භාවයක් ඇති කරන්නා වූ නාට්‍ය ශානරයක් වන නමුත් ප්‍රේක්ෂකයා තුළ භාව විශෝධනයට සහය දැක්වීම සඳහා එම උදාසීනබව නෝ නාට්‍යයට ආවේණිකව පවතින ලක්ෂණයකි. මෙම නාට්‍ය ලොව සුප්‍රසිද්ධ නාට්‍ය ගණයෙහිලා ඇතුළත් වීමටත්, නෝ නාට්‍ය ශාලා අදටත් සෙනඟින් පිරී ඉතිරී යාමටත් හේතුව වන්නේ මේ තුළ සංකේතාත්මක රංගයේ පවතින සුන්දරත්වය සහ අතීත වර්තමාන කාලවකවානු පරයා ප්‍රේක්ෂකයාගේ හදවත ග්‍රහණයට නතු කරගැනීමට හැකිවීමත් නිසාය. රංගන ක්‍රියාකාරීත්වයේ මද බව නිසා හුදෙක් මෙය තේරුම් ගැනීමට අපහසු නාට්‍ය වර්ගයක් ලෙස අදහස් කරනු ලැබූව ද එහි සංකේතාත්මක රංගනය තුළ පවතින සංගීත, ගායන, වේදිකා සැලසුම් හා රූපණ ක්‍රියාවලිය තර්කානුකූල හේතු මත පදනම්ව ගොඩ නැගී  ඇති නිසා නෝ නාට්‍ය මද පමණින් හෝ වටහා ගන්නා ප්‍රේක්ෂකයා හට එතුළින් ඇතිවන උනන්දුව හා අවධානය මත මෙහි වඩාත් ගැඹුරු හා ප්‍රබල තැන් ස්පර්ශ කිරීමේ හැකියාව ඔහු සතු වේ.

ඒ අනුව නෝ නාට්‍ය තුළ බොහෝ විට කතා බහට ලක් වන්නේ බුදු දහමේ සමස්ත හරය වූ ලෝක අනිත්‍යතාවය නැතිනම් සියල්ලෙහි පවතින අනිස්ථිරභාවය පිළිබඳවයි. මෙලොව පවතින කිසියම් වස්තුවක් හෝ වේවා කිසියම් පුද්ගලයෙකු හෝ වේවා අනිත්‍ය නම්, නැති වී විනාශ වී යයි නම් එය විනාශ වීමට හේතුව වන්නේ එහි  පෙර පැවැත්මක් තිබීමයි. මෙම පැවැත්මට ආශාවෙන් එය තදින් අල්ලා ගන්නා මිනිස් සිත තුළ මම, මගේ, මට යැයි හටගන්නා මමත්වය නිසා ලෝභය තෘෂ්ණාව උපදී. පෘථග්ජන මිනිසුන් ලෙස ඔබ මම හෝ මේ සමාජයේ ඕනෑම අයෙකු අත්හැරීමට වඩා අල්ලා ගැනීමට අවිඥාානිකවම පෙළඹෙ. මෙය මානවයාගේ පරිණාමයේ පටන්ම සිදුවන ක්‍රියාවකි. මානවයාගේ ශරීරය සැකසී ඇත්තේම තම පංචේන්ද්‍රිය හරහා ගෝචරවන අරමුණු අල්ලා ගැනීමටයි. නමුත් එය මනස හා සබැඳිව වටහා ගෙන අල්ලා ගන්නේද ප්‍රතික්ෂේප කරන්නේද යන තර්කනය ගොඩනගන්නේ දර්ශනය තුලිනි. බෞද්ධ දර්ශනය තුළ එය චතුරාර්‍ය සත්‍ය තුළින් නිවන හා සබැඳිව ගැඹුරින් විග්‍රහ කෙරෙයි. නෝ නාට්‍ය තුළින් උත්සාහ කරන්නේ කිසියම් කලාත්මක රසවින්දනයක් ඔස්සේ යම්තාක්දුරට ප්‍රේක්ෂක මනසට සාංදෘෂ්ටිකවාදී මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් ලඟා කරවීමටයි. එනම් ප්‍රේක්ෂකයාට මෙම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය යොමු කිරීමටත් ඒ තුලින් ප්‍රේක්ෂකයා ස්වයං සවිඥානයට ළඟා කරවීමත් නෝ’ හි අරමුණ යැයි හඟිමි. නිදසුන් ලෙස ‘බෂෝ’ නාට්‍යයේ කෙසෙල් ගසකට අරක්ගත් භූතයෙක් සම්බන්ධ කතා පුවතෙහි නිමාව සනිටුහන් කරන්නේ ගිම්හාන සෘතුවේ ගණට වැඩී තිබුණ කෙසෙල් කොල අයත් කෙසෙල් ගස ශීත සෘතුව ලබන විටම පුපුරා විනාශ වී යාමෙනි.මෙමඟින් වේදිකාව මත අනිස්ථිරභාවය පිලිබඳ හැඟීම පමණක් ඉතුරු වන ලෙස නාට්‍ය නිරූපණය හරහා පැවැත්මත්, පැවතීම නිසා විනාශ වීමත් ආදී ලෝක යථාර්ථය ප්‍රේක්ෂකයාට අවබෝධ කරවාලයි. වස්තුව, දේපළ, මිල මුදල්, ආදරය ආදී එකී නොකී සාධක හා තදින් ඇලී ගැටී එනමුත් තවත් නොසංසිඳෙන ආශාවන් පසුපස හඹා යමින් ඒවා අහිමි වී යාමත් නැති වී යාමත් නිසා අතෘප්තිකර ජීවිත ගත කරන අයවලු‍න් තත්කාලීන සමාජ වටපිටාව දෙස දෑස් විවර කර බැලූ කල ද බොහෝ සෙයින් දැකගැනීමට හැකියාව ඇත. පැවැත්ම පිළිබඳ යථාර්ථය හඳුනාගන්නා තෙක් ඔවුන් එම ධාවන පථයේ නොනැවතී වෙහෙසෙමින්, හතිලමින් ගමන් කරයි. පැවැත්මක් නැති තැන අල්ලා ගැනීමෙහි හරය කුමක්දැයි ඔවුනොවුන්ම තමාගෙන් ප්‍රශ්න කරගත යුතුව ඇත. එබැවින් අත්හැරීම යන මානව ගුණාංගය ඒත්තු ගැන්වීමට ගත් උත්සහයක් නෝ නාට්‍ය තුළ අන්තර්ගතබව කිවමනාය.

සොරේන් කීර්කිගාඩ් නම් දාර්ශනිකයාට අනුව ඔහු පැවැත්ම පිළිබඳ අදහස් කරන්නේ එය භෞතික හෝ ස්භාවික පැවැත්ම නොව හුදෙක් මිනිසා සම්බන්ධ ජීවිත පැවැතම ලෙසයි. පැවැත්ම පිළිබඳව පුද්ගලයෙකුගේ කේන්ද්‍රීය බලවේගය වන්නේ අර්ථවත් පුද්ගලයෙකු වීමට සෑම පුද්ගලයෙකු තුළම පවතින කැමැත්තයි. මිනිස් මොලය සහජයෙන්ම අර්ථවත් දේ සොයමින් ගමන් කරයි. එබැවින් මිනිස් ජීවිතය ඒකාකාරී නොවූ ගතික ස්භාවයකින් සකස් වී ඇත. සාංදෘෂ්ටිකවාදියෙකු වන වික්ටර් ෆ්‍රෑන්කල් පවසන්නේ තත්කාලීන මනෝ සමාජීය ප්‍රශ්න අභිමුඛව තත්කාලීන සමාජයේ පුද්ගලයින් සත්තාවී රික්තකයක එනම් කිසියම් හිඩැසක සිරවී තමා අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කෙසේ දැයි සෑම විටම විමර්ශනය කරමින් මා කවුද? මා ජීවත් වන ආකාරය නිවැරදිද යන්න සලකා බලමින් සිටින බවයි.එනම් පුද්ගල ජීවිතය යථාර්ථවත් කරගැනීමට අවශ්‍ය පදනම සපයන්නේ පැවැත්ම පිළිබඳ මනා වූ දැක්ම තුළිනි. හුදෙක් එය භෞතික පැවැත්ම මත පමණක් පදනම් නොවී ආධ්‍යාත්මික පැවැත්ම නැතිනම් භව පැවැත්ම පිළිබඳ බුදු දහම තුළින් හෝ ආගමික ඉගැන්වීමක් අනුසාරයෙන් ආධ්‍යාත්මිකව දියුණුව ලඟා කරගත යුතුය. ‘උතො’ නාට්‍යයේ කතා අන්තර්ගතය වන්නේ ද මෙවැනි ආධ්‍යාත්මික පැවැත්ම පිළිබඳ කතා පුවතකි.තමා කරන්නේ වැරැද්දක් බැව් දැන දැනම ‘උතො’ යැයි කුරුලු‍ විශේෂයක් අල්ලා මරණයට පත් කරන පිරිමි දරුවෙකුගේ මරණින් පසු අපාගතවන ඉරණම සහ ඉන් ඇතිවන දුක්මුසු හැඟීම සහ අඳුර පිළිබඳව එයින් කියැවේ. මින් ගම්‍යමාන වන්නේ තම සිත සත්‍ය දන්නා වුවද ඔහුට බාහිරින් ගෙන එන ලද බලපෑම පාලනය කිරීමට නොහැකි වූ ආකාරයය. ෆ්‍රෑන්කල් පවසනනේ ජීවිතය යථාර්ථවත් කරගැනීමට බලපාන ස්වයං සවිඥානය එනම් තමා පිලිබඳ සිහියෙන් කටයුතු කිරීම තුළින් පුද්ගලයෙකු පරිණත බවට පත්වන බවයි. තමාගේ අරමුණු හා අභිලාෂයන් මනා වූ සතියෙන් අවබෝධ කරගැනීම තුළින් එම පුද්ගලයා බාහිර බලවේගන්ට අවනත වන්නේ නැත. එබැවින් ජීවිතය තුළ පවතින තාවකාලික පැවැත්ම කෙරෙහි ඔහු අවබෝධ කරගනී. තාවකාලික පැවත්ම තුළ ඇලීම, ගැටීම ඔහු බැහැර කරයි. එබැවින් සමාජයට අයහපත් අයුරින් ජීවිකාව ගෙන ගිය මෙම පිරිමි දරුවාගේ ඉරණම හා සම්බන්ධ උතො නම් නෝ නාට්‍ය හරහා ප්‍රේක්ෂකයාට  සමාජ හිතකර ලෙස තම චර්යාව සකස් කර ගැනීමට අඩිතාලමක් සපයන්නා සේම එවැනි යහපත් පුද්ගලයෙකුගෙන් සමාජයට අයහපතක් නොවන බවද ඒත්තු ගැන්වීමට උත්සහ කරයි.

අත්හැරීම සිදුකළ හැක්කේ තම ජීවිතයේ අර්ථය විමර්ශනය කිරීමෙනි. එනම් තම ජීවිතයේ අරමුණ සොයා ගැනීමෙනි. පරමාර්ථය සොයා ගැනීමෙනි. තමන්ව ගොඩනගා ගන්නේ කෙසේද යන්න පැහැදිලි පරමාර්ථයක් නොමැති පුද්ගලයා චේතනා හා සංස්කාර දැඩිව ග්‍රහණය කරගනී. එහි මායාව වටහා ගැනීමට අපොහොසත්ව එය ස්ථීර යැයි සිතා අපහැදිලි අරමුණක මංමුලා වී සිටින පිරිස් සමකාලීන සමාජය තුලින්ද අර්ථකථනය කළ හැකිය. එසේම මරණය දෙස සෘණාත්මකව බැලීමට වර්තමානයේ බොහෝ දෙනා පෙළඹී සිටියි. සාංදෘෂ්ටිකවාදී දර්ශනයට අනුව මරණය සාමාන්‍ය තත්වයක එය ‘අත්හැරීම’ පිලිබඳව අවබෝධ කරගනිමින් එතුළින් අර්ථවත් ආධ්‍යාත්මික පැවැත්මක් ගොඩනගා ගත හැකි සාධකයකි. බෞද්ධ දර්ශනයට අනුවද මරණය නියත ධර්මයකි. ‘සුමිද නදිය’ නම් නෝ නාට්‍ය හරහා ද විග්‍රහ කෙරෙන්නේ මෙම අත්හැරීම පිළිබඳ අදහසයි. තම පුතුගේ අතුරුදහන් වීම නිසා උමතුවන ස්ත්‍රිය අවසානයේ තම පුතුගේ මරණය පිළිබඳ දැන වේදනාවට පත්වේ. ඒ අනුව තම ආධ්‍යාත්මික ලෝකය දියුණු නොකිරීම හේතුවෙන් මෙම ස්ත්‍රිය උමතු වී ඇති බැව් හා ඇගේ ආධ්‍යාත්මික හිස්බව නිසා මෙම උමතු බව ඇය විසින්ම ගොඩනගා ගත් තත්වයක් බව සාංදෘෂ්ටිකවාදී අදහසයි. පුද්ගලයෙකු තමා සතු ආධ්‍යාත්මික ලෝකය දියුණු කර නොගැනීම හේතුවෙන් ඇතිවන හිස්බව ආගමික ඉගැන්වීම් අනුසාරයෙන් පුරවා ගත යුතුය. එනම් අර්ථවත් පැවැත්ම සහ අත්හැරීම පුහුණු කළ යුතුය. එවිට කුමන තත්වයකදී වුවද මානසික අපහසුතාවයන්ට ලක් නොවී සමබරව ජීවිකාව ගෙන යා හැකි බව ‘සුමිද නදිය’ නාට්‍ය අධ්‍යනයෙන් වටහා ගත හැක. මෙම නාට්‍ය තත්කාලීන සමාජයටද ආදර්ශයක් සපයයි. එබැවින් සෑම නෝ නාට්‍යයක් තුළම අන්තර්ගතයෙන් උකහා ගත හැකි සාරය ලෙස මා දකින්නේ එය බෞද්ධ දර්ශනය හා ඒකාබද්ධව පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය නැගීමෙන් අත්හැරීම පිළිබඳ පුහුණුව ලබාදීමයි.

සාංදෘශ්ටිකවාදී අර්ථයෙන් නෝ නාට්‍ය මගින් උත්සාහ කරන්නේ අපගේ ජීවිතයේ පැවැත්මේ අර්ථය පෙන්වා දීමයි. යම් අයෙකුට සිදු වන ඛේදයක් මගින් මානව පැවැත්වේ තිබෙනා ඉතාම අර්ථවිරහිතත්වය එමගින් පෙන්වා දීමට උත්සාහ කරයි. අපගේ ජීවිත අර්ථවිරහිතභාවයට ඔබ්බෙන් තිබෙනා නිර්වාණය වෙත යෑම පිළිබද සෙ‍ෟන්දර්යාත්මක අදහසක් ගෙන ඒම නෝ නාට්‍ය මගින් සිදු කෙරුණද? නෝ නාට්‍ය තුළින් සාදෘෂ්ටික සිතා බැලීමක් සිදු කිරීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කරයි.

අසෙනි ස්වර්ණමාලි