විජ්ජාව සහ සත්‍යය 03 - ධර්මය සහ ජීවිතය - 23 කොටස

 


මේ ස්පර්ශ ආයතන හය ලෝකයේ ශුන්‍යතාවයක්. ඔයගොල්ලො  ඒ ශුන්‍යතාවය උපදින තැන පිරිසිඳ නොදන්නා කම නිසා ඔයගොල්ලන්ගෙ මනස  තුල යම් යම් කරුණු කාරණා ගොඩ නැගෙන කොට ඒ කරුණු කාරණා නැවත ස්පර්ශ ආයතන හයට බඳින තෙක් ඔයගොල්ලො ලෝකෙට බැඳිලා. (පසුගිය ලිපියෙන්...)

ඔයගොල්ලො පෙරලෙන දේ ඇතුලෙ පෙරලෙනවා. එතකොට ඔයගොල්ලො දුක් වෙන  දේ ඇතුලෙ දුක් වෙනවා. එතකොට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදුක් අට අනුව ඔයගොල්ලන්ට පෙරලෙන්නෙ නැතිව ඉන්න බැහැ. ඉතින් මේ සම්මා දිට්ඨි කියන එකෙන් පෙන්නුවෙ ඇහැට පෙනෙන දේට හිතන්න එපා කියන එක නෙවෙයි, හිතන එක වැරදියි කියන එක නෙවෙයි, පෙනෙන දෙයට හිතන්න අඹ  ගහ කියලා. හැබැයි දැනගන්න ඇස් ඉදිරිපිටට ආවෙ චිත්‍රමාත්‍රයක් නැත්නම් කිසිම විස්තරයක් නැති දෙයක්. මේකට අඹ ගහ කියන එක අපි මනසින්මයි හිතුවෙ කියන එකත් දන්නවා එයා. මේකට ඒක අයිති නැහැ කියන එකත්  දන්නවා. අඹ ගහ කියන අදහසින් මේක අතගාන්නෙ නෑ කවදාවත්. බලන්නෙ නෑ මේ දිහා. 

මනසින් ගොඩ නගන දේ සහ සැබෑ සත්‍යය
නමුත් මේ ඇත්ත නොදන්නා ලෝකයා මනසින් ගොඩ නැගෙන දේ රූපායතනයට ගැට ගහලා රූප එක්ක බැඳිලා ඉන්නවා කියලත් එයා දන්නවා. සම්මා දිට්ඨිය කියල කියන්නෙ ඒක. කණ ඉදිරිපිටට එන්නෙ කිසිම භාෂාවක් නොදන්නා මට්ටමක ශබ්දයක්. එබඳු ශබ්දයක් ඇහෙනකොට අපේ මනස තුල විවිධ අදහස් භාවිතා කරපු අතීත සංඥා මතක් වෙනවා. මතක්වීම දෝෂයකුත් නැහැ. මතක්වීම ක්ලේශය නෙවෙයි. මතක් නූනොත් යමක් හඳුනගන්න බැහැනෙ. නමුත් මනසෙහි සිහිවෙන සිද්ධාන්තය සද්දෙට අයිතියි කියල බඳින ක්ලේශයයි දෝෂය. ඒක බඳින්න එපා. ඒකයි එතකොට කවදාවත් ඔයගොල්ලන්ට අනුන්ගෙන් බැනුම් අහන්න වෙන්නෙ නැහැ. ඇයි ඒ???

අපේ කණ ගාවට ඇවිල්ලා තියෙන්නෙ නිකම්ම ශබ්දයක්. ඔයගොල්ලන්ට එතකොට, ඔයගොල්ලන්ගෙ මනස දන්නවා හිත රිදෙන විදියට, බනිනවා කියන විදියට, කියන උත්තර ටික ඇවිල්ලා තියෙන්නෙ අපේ මනසින්මයි කියන එක. ඔයගොල්ලන්ට ප්‍රශංසාවක් වත් හම්බවෙන්නෙ නැහැ. කණ ඉදිරිපිටට ඇවිත් තියෙන්නෙ නිකම්ම ශබ්දයක්. මට හොඳ කිව්වා නේද, ගුණ කියනවා නේද, කියන උත්තර ටික අපේම මනසින් උපද්දලයි අපි අරගෙන තියෙන්නෙ කියන ටික ඔයගොල්ලො දන්නවා. ඔයගොල්ලන්ට ශබ්දය අරභයා ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැපදුක්, කියලා ලෝක ධර්ම අටෙන් කම්පා වෙන්න හම්බ වෙන්නෙ නෑ. මොකද මනසින් උපදින ගති මේ කණට ඇහෙන ශබ්දයට බඳින තාක් ඔයගොල්ලන්ට කණට ඇහෙන ශබ්දයන් ගෙන් නොසෙල්වී ඉන්න බැහැ. ඔයගොල්ලන්ට අද දවසෙදි හම්බවෙන්නෙ අනුන්ගෙන් බැනුම් අහන්න පුලුවන්, අනුන්ගෙන් ප්‍රශංසා අහන්න පුලුවන් ඒ පුලුවන්කම තියෙන්නෙ අපේ අවිද්‍යාව නිසයි. ඇයි රහතන් වහන්සේ නමකට විතරක් මේ අටලෝ දහමෙන් කම්පා වෙන්නෙ නැහැ කියන්නෙ. රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ධම්ම කියන මේවායින් හෙල්ලන්නවත්  බෑකියන්නෙ ඇයි??
"තමන්ගෙ මනසේ තියෙන ධර්මතා ටික ඒකට ගැට ගහන්නෙ තරම් මෝඩ නැති නිසා" 

ඉතින් ඒක අපට කරන්න පුලුවන්කම වෙන්නෙ අපේ මනසින් සිද්ධවෙන සිද්ධි ඒකට  ගැටනොගහ ඉන්න පුලුවන්කම හම්බ වෙන්නෙ ඇස් ඉදිරිපිටට එන රූපයේ ඇත්ත  දැකපු දවසටයි.එහෙනම් ඇස් ඉදිරිපිටට ඇවිල්ල තියෙන රූපයත් ඔච්චරයි. එතනින්  මෙහා ටික අයිති අපේ මනසටයි. මනසේ ටික අපි ආපහු මෙහාට ගැටගහලයි අපිට ලෝකය හදාගෙන තියෙන්නෙ. කණ ගාවට එනකන් හම්බවෙලා තියෙන්නෙ කිසිම දෙයක් නොතේරෙන විදියෙ ශබ්ද මාත්‍රයක්. එතනින් මෙහා ටිකයි, මනොමයෙන් පුරවපු විස්තර ටික. ශබ්දයට ගැට ගහලයි අපිට බැනුම් අහන්න පුලුවන් ප්‍රසංශා අහන්න පුලුවන් ලෝකයක් හදාගෙන තියෙන්නෙ කියන එක අපට හම්බ වෙනවා.

සම්මාදිට්ඨිය

එතකොට සම්මා දිට්ඨි කිව්වොත්, ඔයගොල්ලන්ට ඇත්තටම හම්බ වෙන්න ඕනෙ වෙන මොකවත් නෙවෙයි, මේ ස්පර්ශ ආයතන හයේ යථාභූත ස්වභාවයේ තමයි ඇත්තම ඇත්ත තමයි හැමදාම පැවතුන ඇත්ත තමයි ඕක. ඒ හින්ද නේද එකම ශබ්දයක් ඇහුනොත් කෙනෙකුට ඒ ශබ්දය කුණුහරුපයක් වෙන්න පුලුවනි. කෙනෙකුට  ඒශබ්දය විහිළුවක් වෙන්න පුලුවනි. කෙනෙකුට සතුටක් උපදවන එකක් වෙන්න පුලුවනි. කෙනෙකුට දුකක් උපදවන එකක් වෙන්න පුලුවන් ඒ එකම ශබ්දය. පහුගිය කාලෙ ඡන්දෙ තිබුනා. බලන්න සමහරවිට අහවල් කෙනා දිනුවා කිව්වාම දිනුවා කියන ශබ්දය විතරයි. කෙනෙකුගේ මනසට ඒ ශබ්දයම දුකක් ඇති කරන්න පුලුවනි. කෙනෙකුගෙ මනසෙ ඒ ශබ්දයම සතුටක් ඇති කරන්න පුලුවනි. එතකොට ශබ්දය මතද දුක හෝ සැප තිබිල තියෙන්නෙ? ශබ්දයත් එක්කම මනොමයෙන් උපදවා ගන්නා එක නේද? නමුත් එයාට මනසින් උපන් දුකක් නෙවෙයි තිබිල තියෙන්නෙ. මේ ශබ්දයයි එයාට දුක. ඒ හින්දනෙ ඒ වචනෙ කිව්ව කෙනාට ගහන්න යන්නෙ. ලෝකෙ කළහ කෝළාහළ තියෙන්නෙ ඔය නිසයි. 

මෙතනදි මට මතක් කරන්න ඕනෙ දුකට හේතුව තන්හාවයි. තන්හාව තියෙන්නෙත් රූප තන්හා, ශබ්ද තන්හා, ගන්ධ තන්හා, රස තන්හා, පොට්ඨබ්බ තන්හා, කියන ටිකේ තන්හාව නැති උනොත් දුක නැති වෙනවා. හොඳට පිරිසිඳ සම්මා දිට්ඨියේ, ඒ හින්ද තන්හා වෙන රූපය පිරිසිඳ දකින්න. ගන්ධය පිරිසිඳ දකින්න.
"සීති භූතොස්මි නිබ්බුතො" 
"මම නිවුනේ වෙමි..සිසිල් වූවෙමි" කියන තැනකට ඔයගොල්ලන්ට එන්න පුලුවන්. ඕකට හොඳ අවවාදයක් දෙනවා කදිම නිදසුනක් දෙනවා සැරියුත් මහරහතන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමාගෙ මරණාසන්න මොහොතෙදි. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය බලන්න. අනිථ පිණ්ඩික සිටුතුමා මරණාසන්න මොහොතෙදි සැරියුත් මහරහතන් වහන්සේට පණිවිඩයක් යවනවා ස්වාමිණී අනුකම්පාවෙන් පුලුවන් නම් මගේ නිවසට වඩින්න කියලා. මොකද සැරියුත් මහරහරතන් වහන්සේට හරි ආදරෙයි කියනවා අනේපිඬු සිටුතුමා. ඒ පාර ආනන්ද හාමුදුරුවොත් එක්ක ගෙදරට .ආවා ඇවිල්ල සුවදුක් කථා කලා. අනේපිඬු සිටුතුමා කියනවා "ස්වාමීණී ඉවසිය නොහැකියි යැපිය නොහැකියි මේ දුක් වේදනාව අධිකයි තියුණුයි" කියල ඔය නොයෙක්  උපමා කියනවා. ඊටපස්සෙ සැරියුත් රහතන් වහන්සේ දේශනා කරනවා
"ගැහැවිය..ගෘහපතිය..ඔබට ඔබගේ සිතට ඔබගේ විඤ්ඤාණයට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා.ඇහැ උපාදාන වෙන්න දෙන්න එපා. ඊගාවට රූපය ඇසුරු වෙන්න දෙන්න එපා. චක්ඛු සම්ඵස්සය..." 
ඒ ටික පෙන්වලා "කණ,ශබ්දය, සෝත විඤ්ඤාණය ඕවා ඇසුරු වෙන්න දෙන්න එපා.උපාදාන වෙන්න දෙන්න එපා. ඔබගේ සිතට නාසය ගන්ධය,ඒ වගේම දිව රසය, කය පොට්ඨබ්බය, මනස ධම්මාරම්මණය" කියලා ස්පර්ශ ආයතන හය පෙන්නුවා. මේ ස්පර්ශ ආයතන ආයතන හයට තමන්ගේ මනස ඇසුරු වෙන්න දෙන්න එපා උපාදාන වෙන්න දෙන්න එපා කියනවා. එතකොට අනේපිඬු සිටුතුමා අඩනකොට ආනන්ද හාමුදුරුවො අහනවා 
" ඇයි ගැහැවිය ඔබේ සිත මේ සම්පත් වලට ඇලිලද ඉන්නෙ? මේවා දාලා යන්න දුකයිද" කියලා. 
"ස්වාමීණී..මං මේවායේ මගේ හිත ඇලිල නැහැ. මේවා දාලා යන්න මට දුක නැහැ. නමුත්  මේවගේ දහමක් ඇසූ විරූ බවක් මට මතක නෑ. ස්වාමිනී මේ වගේ දහමක් අහන්න නොලැබිච්ච එකයි මට දුක" කියනවා. එතකොට කියනවා
"ගැහැවිය (ගෘහපතිය)...මේ ශූන්‍යතා දර්ශනයක්. මේක සුදුවත් අඳින ගිහියන්ට ලෙහෙසි නැහැ ඒකයි කියන්නෙ නැත්තෙ" කියනවා. 
"ස්වාමීණී එහෙම කරන්න එපා..සුදුවත් අඳින ගිහි අය අතරත් මේවා තේරුම් ගන්න පුලුවන් අය ඉන්නවා. අනුකම්පාවෙන් ලෝකෙට මේක දේශනා කරන්න" කිව්වා.

ඒ කිව්වෙ ඔය කාරණාව. ඒ කිව්වෙ කිසිම භාෂාවක් නොතේරෙන මට්ටමේ ශබ්දයක්  කණ ඉදිරිපිටට ආවෙ. ඔයගොල්ලන්ගෙ හිතේ ඇතිවන කිසිදු ගතියක් ඔයගොල්ලො ඒ ශබ්දයට බැන්දෙ නැත්නම් ඒ කියන්නෙ මේ ඇහෙන වචනත් ඔයගොල්ලන්ට තේරෙන කොට, ඔයගොල්ලන්ට තේරුම් අරගන්න පුලුවන් වෙන්න ඕනෙ, තේරුනේ, හාමුදුරුවන්ගෙ වචන ආවා නෙවෙයි ශබ්දය කණ ගාවට එනකොටම ඒ ඒ අදහස් පෙලක් වචන ටිකක් මගේ මනසේ ගොඩ නගාගන්න පුලුවන් වෙලා තිබිලා තියෙනවා නේද කියන ටික ඔයගොල්ලන්ට දැකගන්න පුලුවන්  වෙන්න ඕනෙ. ඒක ඉතාම තීක්ෂණයි. අර නොදන්නා භාෂාවකින් කිව්වම නම් ඔන්න ඕගොල්ලන්ට තේරෙනවා දැන් අපේ හිතේ මොකුත් නැහැ ශුන්‍යතාවයක්නෙ. මේ කථාකරන ශබ්දය ඇහෙද්දිත් ඔයගොල්ලන්ට ඒ දර්ශනය තබාගන්න පුලුවන් නම්, දැන් මම කථාකරන ටික ඔයගොල්ලන්ට තේරෙනකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනෙ මගෙන් ඔයගොල්ලන්ගෙ කණ ගාවට එනකන් ඇවිත් තියෙන්නෙ හිස් වචන ටිකක් විතරයි. ඔයගොල්ලන්ගෙ මනසින් තමයි ඊට අදාල කරුණු කාරනා සිහි කරලා තේරුම් අරගෙන තියෙන්නෙ. 

එතකොට ඔයගොල්ලන්ගෙ හිත කණටත් සෝතවිඤ්ඤාණයටත් බැඳිලා නැහැ. ඔය වගේ ස්පර්ශ ආයතන හයටම බැඳෙන්නෙ නැති විදියට මනස තබා ගන්නවා නම් තබාගත්තොත් තබා ගන්න පුලුවන් නම් ඒවාට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. ඇහැ රූපය චක්ඛුවිඤ්ඤාණය, උපාදාන වශයෙන් නොගෙන මිදීම, කණ ශබ්දය සෝතවිඤ්ඤාණය, උපාදාන වශයෙන් නොගෙන මිදීම මම මේ කතා කරන වචනයක් ගානෙ විශාල ගැඹුරක් තියෙනවා කියල තේරුම් ගන්න. මොකද  බුදුදහමේ යථාර්ථය සරළ නැහැ.සරළ කරල  කිව්ව හැකියි. මෝඩ අපේ මනසට තේරෙන මට්ටමට කියන කොට ඒකත් මෝඩ දහමක් වෙනවා එතකොට ඇයි? අපි මෝඩයි නම් අපට තේරෙන මට්ටමට කියනකොට ඒකත් මෝඩ නැද්ද එතකොට. ඉබේම මෝඩයි වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේටත් තේරුණා නම් මම අවබෝධ කරගත් දහම ලේසි නැහැ මේක ගැඹුරයි කියලා ඇත්තටම ගැඹුරුයි. දහම ගැඹුරු නෙවෙයි අපේ මනස නොගැඹුරුයි. ඒකයි මෙතන  තියෙන ප්‍රශ්නෙ. නීවරණ වැඩියි.

ඉතින් මෙතනදි මට මතක් කරන්න ඕනෙ කම තියෙන්නෙ ඇත්තටම දුක නැති කරන්න තියෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ. ඔයගොල්ලො ගෙවල් දොරවල් මිල මුදල් හම්බ කරන්න. ඒ දුක නැතුව ඉන්නයි කියන දර්ශනයෙන්  අයින්වෙලා ජීවිතය ජීවත් කරවන්න ඒවා හොයන්න. හැබැයි වෙනම අදහසක් තබාගන්න ඕවා කරල දුක නැතිව ඉන්න බෑ. දුක නැතිව ඉන්නවා නම් තන්හාව නැති කරන්න වෙනවා. තන්හාව නැති කරන්න නම් සම්මා දිට්ඨි.

මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටියෙ දැක්ක යුතුය කියන දර්ශනයට එන්න. ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටියෙ දැක්ක යුතුය කියලා මම ඔය කෙටියෙන් ඇත්ත දැකිය යුතු මට්ටම පෙන්නුවා. තවද, ඕක ඉතාමත්ම ගැඹුරු වෙනවා ඕක තව තනි තනි ආයතනයක්, උනාට පස්සෙ. ඒ කියන්නෙ කිසිම දෙයක් නොදන්න නොතේරෙන මට්ටම විතරක් නෙවෙයි තව ඒකෙදි ඒවා එක්ක ගනුදෙනු කරන්න පුලුවන් කමකුත් නැහැ. ඇහැට පෙනෙන දේ පෙනීමක් විතරයි. කණට ඇහෙන දේ ඇසීමට විතරයි. නාසයට දැනෙන දේ නාසයට දැනීම විතරයි. ඒ එක්ක අනිත් ආයතන  එක්ක ගනුදෙනු කරන්න බැහැ. ඔන්න ඔය මට්ටමට තමයි සම්මා දිට්ඨිය කියන්නෙ. නිවැරදි දැකීම කියන්නෙ.

ඒ සම්මා දිට්ඨිය මේ ලෝකයාට සාධාරණ නැහැ. ඔය දර්ශනය ලෝකෙන් එතෙරයි. ඔය දර්ශනය ගත්තොත්, ඔය දර්ශනයට පැමිනුනොත්, ලෝකෙන් මිදෙනවා. ඒ හින්දා ඕකට කියනවා ලෝකොත්තරයි කියලා. කාම ලෝකයේ කෙනෙකුට අයිති දර්ශනයක් නෙවෙයි මම ඔය කිව්වෙ. ඔය නාම ධර්ම ඕනෙ නැහැ.නාමධර්ම ටික පැත්තකින් තබන්න. රූපය විතරක් පිරිසිඳ දැක්කාම අනාගාමී වෙන්න පුලුවන් කියල කියන්නෙ  ඒ නිසයි.


එතකොට ස්පර්ශ ආයතන හයේ ඇත්ත දකින්න. ඇත්ත දැක්කාම තේරෙයි මනසින් අපි එක එක අදහස් කෝණ හදාගෙන පටපණුවො වගේ ඒවා බාහිර ආයතනයන්ට ආපහු ආදේශ කරලයි අපිට මෙහෙ රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් දූදරුවො හම්බවෙන්නෙ පරිහරණය කරන්න වෙන්නෙ. මං ඔය පටිච්ච සමුප්පාදයේ කියන්නෙ  Incomming (ඉන්කමිං), Out going (අවුට් ගොයිං) කියල එකක්. Incomming (ඉන්කමිං) කියන එක තමයි අර කිසිම භාෂාවක් නොදන්න ශබ්දය වගේ මට්ට්ම.කිසිම දෙයක් නොපෙනෙන රූපය වගේ මට්ටම.ඊටපස්සෙ ඒවාට එක එක කෝණ හදාගෙන මනසින් ඒ ශබ්දය දිහාම ආපහු බලන එකට තමයි මම Out going (අවුට් ගොයිං) කියන්නෙ. ඒකෙ අපිට බැනපු ශබ්ද, හොඳ කිව්ව ශබ්ද, හම්බවෙන්නෙ. ඒ බලන එකේ තමයි දරුවො දිහා බලන්න පුලුවන්. ගස් දිහා බලන්න පුලුවන්. වාහන දිහා බලන්න පුලුවන්කම තියෙන්නෙ. ආපහු යන එකේ. 

දැන් බලන්න මොනතරම් වැරැද්දක්ද කියලා එතකොටම අපිට දැන් අද හම්බවෙන මට්ටමේ ගස් හම්බවෙනවා, වාහන හම්බවෙනවා, කියන තැනකින්නෙ අපි ඉන්නෙ. හම්බවෙනකොටම කෙලින්ම බණිනවා මට ප්‍රශංසා කලා වගේ තැනකින්නෙ ඉන්නෙ. බලන්න මෙතන පොඩි වැරැද්දක් තියෙනවා නේද කියලා.ඇහැ කණ දිව නාසය කියන තැන්වලට ඉස්සෙල්ලාම ආවෙ කිසිම හැඟීමක් නැති ශුන්‍යතාවයකින් යුක්ත අරමුණු ටිකක්. ඒවා අරභයා මනෝමයෙන් අපි යම් යම් දේවල් හදාගත්තා. කාරණා දෙකයි. ඊටපස්සෙ ඒ මනෝමයෙන් හදාගත්ත දේ තුලින් අපි බාහිර ආයතන  ටික ආයෙත් පරිහරණය කලා. දැන් ආශ්‍රව කියන්නෙ, එහෙම ඕනෙ නෑ ඇහෙන් බලනකොටම කෙලින්ම අර කාරණා දෙකම එකට එකතු වෙලා එන්නෙ මනසට. ඔන්න එතකොට සම්මා දිට්ඨිය කියල කිව්වෙ මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ දකින තැනටයි කියල දැනට අනුමානෙට දරන්න. 

දැන් ඔතනදි පෙන්නුවා, දුක පෙන්නුවා, දුක ඇතිවීම පෙන්නුවා දුක නැතිවීම පෙන්නුවා, තන්හාව නැති උනොත් දුක නැතිවීමේ මාර්ගය පෙන්නුවා. සම්මා දිට්ඨිය. දැන් ඔය සම්මා දිට්ඨිය ඔයගොල්ලන්ට ඔය චතුරාර්යය සත්‍යය, කල්‍යාණ මිත්‍ර ඇසුර, පරතෝඝෝෂයෙන් ලැබුන කාරණා දෙක. දැන් ඔය චතුරාර්යය සත්‍යය අවබෝධ කරගන්න ඔයගොල්ලො තුල ඔයගොල්ලන්ට තියෙනවා ප්‍රතිපදාවක්. ඒ කියන්නෙ මේ පෙන්නපු සම්මා දිට්ඨිය තමන්ගෙ මනසේ ඇති කරගත්තාම සමුදය දුරු වෙලා දුක්ඛ නිරොධය තමන් තුල ශාක්ෂාත් වෙන විදියෙ වැඩ පිළිවෙළක් කරන්නට ඕනෙ.දැන් මේ අහගත්ත සම්මාදිට්ඨිය අහගත්ත එක දකින තැනට තමන්ට ගියාම තමන්ගෙ දැක්මක් බවට පත් උනාම තමන් තුල තියෙන තන්හාව නැතිවෙලා දුක කියන එක තමන්ගෙන් අයින් වෙනවා. දුක කියන එකෙන් මිදෙනවා. ඒ සඳහා වැඩ පිළිවෙළක් තමන්ට තියෙන්න ඕනෙ.ඒකට තමයි දැන් මේ ආර්යය අෂ්ඨාංගික මාර්ගය කියල කිව්වෙ. 

එතනදි දැන් මේ අහගත්ත සම්මාදිට්ඨිය තමයි මුල්වෙලා තියෙන්නෙ. "සම්මා දිට්ඨි පූරෙ ජවං" කියල කියන්නෙ සම්මාදිට්ඨිය පෙරටුව දුවනවා. ඊටපස්සෙ දැන් මේ සඳහා පින්වතුන්ට වෙනවා ප්‍රතිපදාවක් පුරන්න. ප්‍රතිපදාව තියෙනවා කොටස් දෙකකට.

1.ලෝකොත්තර
2.පූර්වභාග
ඒකෙදි ඒ දෙකටම ශීලය එකයි. මුලින්ම සිල්වත් වෙන්නට ඕනෙ. සිල්වත් වෙනවා කියනකොට ඒ ශීලය ටිකක් ගැඹුරුයි. පළලයි. ඒ කියන්නෙ මේ ශාසනයේ ඇත්තටම නිවන් දකින්න සමාධි කමටහනක් නැහැ. මේ ශාසනයේ ශීලය කියන්නෙ, ශීලයටමයි හිත සමාධි වෙන විදියට. ඒකට කියනවා " සමාධි සංවත්තනික ශීලය" කියලා. ශීලයටමයි හිත සමාධි වෙන්නෙ. ඒ ශීලය කියන්නෙ ධර්මතා හතරකින් පිරිච්ච එකක්. 
1.ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය
2.ඉන්ද්‍රිය සංවර ශීලය
3.ආජීව පාරිශුද්ධ ශීලය
4.ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය
ඒක වචන වලින් සීමා වෙන්න එපා. ජීවිතෙන් යොදාගන්න හැටි. 
                    - තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-




වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්‍රතිඵලයයි.


මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද  අමතක කරන්න එපා.




Post a Comment

0 Comments