ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මිට A 9 ක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 10, 2022

ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මිට A 9 ක්

පාසලේ දී ක්‍රීඩා කටයුතු ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වල නිරත වන දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට කාලයක් නොමැති වන බව බොහෝ දෙනෙකු සිතන්නකි. ඒ නිසාම ඇතැම් දෙමාපියන් තම දරුවන් පාසලේදී විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වනවාට අකැමැත්තක් දක්වති. 

නමුත් විෂය බාහිර ක්‍රියාකාරකම් සමඟ අධ්‍යාපන කටයුතු ද සාර්ථකව කරගත හැකි බව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්න ශිෂ්‍යාව මේ වන විට සමාජයට පණිවුඩයක් ලබා දී තිබේ. ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කරන ඇය ඉකුත් සිකුරාදා පැමිණි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිඵල අනුව ‘ඒ’ සාමාර්ථ 9 ක් ලබාගෙන ඇත. 

විශ්මි ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවද වන්නීය. අවුරුදු 16ක් තරම් ඉතා කුඩා වයසකදී කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමට වරම් හිමිකරගත් ඇය මෙරට අන්තර් සමාජ කාන්තා ‘ඒ’ කාණ්ඩයේ ශතකයක් රැස් කළ ලාබාලතම පිතිකාරිනිය ද වන්නීය. 

චිලව් මේරියන්ස් පිලට එරෙහිව පන්දු 117කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 112ක් රැස් කරමින් එම වාර්තාව තැබුවාය ප්‍රවේගකාරී පිතිකාරිනියක වන විශ්මි දකුණතින් මද වේග පන්දු යවන්නියක් ද වේ. 

රත්නාවලී බාලිකා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම මෙන්ම සීනිගම ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සිටින ඇය ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට ද එකසේ දස්කම් දක්වන්නීය. අල්ගම කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ විශ්මි ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්සේ තුන ශ්‍රේණියේදීය. ඇය රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වන්නේ ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 182ක් ලබාගනිමිනි. 

 ගම්පහ ශ්‍රී බෝධි පාරේ පදිංචි විශ්මිගේ පියා වන අරුණ ශාන්ත ගුණරත්න මහතා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන අතර, මව වන ධම්මිකා ප්‍රියන්ති ඉඩම් සැලසුම් නිලධාරිනියක ලෙස කටයුතු කරන්නීය. විශ්මිගේ වැඩිමල් සොයුරිය රත්නාවලී බාලිකා විද්‍යාලයේම අධ්‍යාපනය ලබන අතර සොයුරා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවෙකි. 

ඇගේ සොයුරිය ද පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කර ඇත. ක්‍රීඩාවෙන් කොතරම් ඉදිරියට ගියත් අධ්‍යාපන කටයුතු අඩාල කරනොගතයුතු බව ඇගේ අදහසයි. 

“අපිට දවසක ක්‍රීඩාවෙන් සමුගන්න වෙන්න පුළුවන්. ඒත් ලබාගන්නා අධ්‍යාපනය ජීවිතය පුරාම වැදගත් වෙනවා. ඒ නිසා ක්‍රීඩා කටයුතු කරන පාසල් මට්ටමේ සියලු දෙනාට මම කියන්නේ ක්‍රීඩාව නිසා අධ්‍යාපන කටයුතු මගහැර ගන්න එපා කියලයි.” විශ්මි පැවසුවාය. 

පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරුන්, මෙන්ම මිතුරියන්ගෙන් අධ්‍යාපන කටයුතුවලට ලැබුණු සහය ද ස්තුතිපූර්වකව සිහිපත් කරන බව ඇය කීවාය. ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද ඉදිරියට යාම ඇගේ බලාපොරොත්තුවයි.

෴ ඩයනා උදයංගනී 
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom