ජයග්‍රාහී කන්ද උඩරට මෙහෙයුම

19න් පහළ පළමු පෙළ එක්දින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

497
Trinity College

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට රහල් අමරසිංහගේ නායකත්වයෙන් යුත් ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වුනා.

ඔවුන් ඉදිරියේ පාරාජයට පත් වූයේ පසුගිය වසරේ අනුශූරතාව දිනා ගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයි. තරගයේ ප්‍රතිඵලයත් සමඟින් ඔවුන් ට මෙම වසරේ දීත් අනුශූරතාවයෙන් පමණක් සෑහීමකට පත් වීමට සිදු වුනා.

කන්ද උඩරට ත්‍රිත්ව ක්‍රීඩකයෝ ලැබූ මෙම ජයග්‍රහණය ඔවුන්ට වඩාත් වැදගත් වූයේ වසර 10කට පසුව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ශූරතා කුසලානයක් දිනා ගැනීමට සමත් වීමයි. ඔවුන් මීට පෙර 2012 වසරේ දී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වය යටතේ එක්දින, දෙදින සහ විස්සයි විස්ස ශූරතා ත්‍රිත්වය ම දිනා ගැනීමට සමත් වුනා.

ත්‍රිත්ව විද්‍යාලයේ ජයග්‍රාහී ගමන් මග
ප්‍රතිවාදීන් විසඳුම
1 රාජකීය විද්‍යාලය, කොළඹ ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 45ක ජයග්‍රහණයක්
2 වේල්ස් කුමාර විද්‍යාලය, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට කඩුලු 4ක ජයග්‍රහණයක්
3 සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 2ක ජයග්‍රහණයක්
4 සාන්ත තෝමස් විද්‍යාලය, මාතර ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 6ක ජයග්‍රහණයක්
5 සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 5ක ජයග්‍රහණයක්
6 නාලන්දා විද්‍යාලය, කොළඹ ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 59ක ජයග්‍රහණයක්
7 මහානාම විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලයට කඩුලු 6ක ජයග්‍රහණයක්
8 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොටහේන වර්ෂාව හේතුවෙන් තරගයේ විසමක් නෑ.
අර්ධ අවසන් පූර්ව වටයේ තරගය
9 සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව ත්‍රිත්ව විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 13ක ජයග්‍රහණයක්
අවසන් පූර්ව තගරගය
10 සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 2ක ජයග්‍රහණයක්
අවසාන මහා තරගය
11 රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල ත්‍රිත්ව විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 41ක ජයග්‍රහණයක්

ගොඩාක් සතුටුයි මේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන්. කණ්ඩායමක් විදිහට ඔවුන් විශාල වෙහෙසක් ගත්තා මේ ජයග්‍රහණය වෙනුවෙන්. අපේ කණ්ඩායම සමබර කණ්ඩායමක්. ජයග්‍රහණයට ඒක විශාල ශක්තියක් වුනා. තරගාවලියට එක් වෙද්දී අපේ අරමුණ වුනේ අපරාජිතව පළමු වටය නිමා කරන්න.

ත්‍රිත්ව විද්‍යාලයීය පුහුණුකරු නවීන් ඒකනායක
ත්‍රිත්ව විද්‍යාලයීය පුහුණුකරු නවීන් ඒකනායක

නමුත් දෙවැනි තරගයේ දී ම අපිට මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය වෙතින් පරාජයට ලක් වෙන්න සිදු වුනා. ඒක අපි හැමෝගෙ ම හිත්වල ලොකු තිගැස්මක් ඇති කළා. නමුත් ඊළඟ තරග 4 ජයග්‍රහණය කරමින් අපි නැවතත් තරගාවලියට ප්‍රවිෂ්ට වීමට සමත් වුනා, ත්‍රිත්ව විද්‍යාලයීය ප්‍රධාන පුහුණුකරු නවීන් ඒකනායක මහතා ThePapare.com සමඟ එක් වෙමින් ජයග්‍රාහී මෙහෙයුමේ ගමන් මග සිහිපත් කළා.

එතැන් සිට ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් වීම. නමුත් ඔවුන්ට කොළඹ මහානාම විද්‍යාලය වෙතින් ද පරාජය වීමට සිදු වෙනවා. එතැන් සිට තවත් පියවරක් පසු පසට යෑමට සිදු වෙන ඔවුන්ට පළමු වටයේ අවසන් තරගයේ දී නැවත වතාවක් නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වෙනවා.

ඒ, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමඟ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අතරමග නතර කර සම ප්‍රසාද ලකුණු ලබා ගැනීමට සිදු වීමයි.

ඒක අපි බලාපොරොත්තු නොවූ අවසානයක්. අපේ Target සියල්ල වැරදුණා. නමුත් Group එකේ තෙවැනි ස්ථානයට පත් වෙමින් අපි අවසන් කණ්ඩායම් අතරට එක් වෙන්න සුදුසුකම් ලබා ගත්තා.

එතැන් සිට ඔවුන්ගේ ගමන වෙනස් ම ආකාරයකට සැලසුම් කිරීමට සිදු වූ බවයි නවීන් ඒකනායක මහතා පවසන්නේ.

අපිට පළමු වටයේ මුහුණ දුන් තරග 8 දී කිසිදු අවස්ථාවක Toss එක ජයග්‍රහණය කරන්න ලැබුණේ නෑ. මේ නිසා සමහර අවස්ථාවල දී අපේ සැලසුම්වලට යන්න බැරි වුනා. ඒ නිසා ම අපිට දෙවැනි වටයේ දී අලුත් ම තරග සැලසුමකට යන්න සිදු වුනා.

වාසනාවකට එතැන් සිට පැවති සෑම තරගයක දී ම අපි Toss එක ජයග්‍රහණය කරනවා. අපිට අපේ තරගයට පෙර සැකසූ සැලසුම් අනුව තරගවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒක මේ ජයග්‍රහණයට විශාල වාසියක් වුනා, ඒකනායක මහතා නැවත තම මෙහෙයුමේ තතු හෙළි කළා.

අවසන් වරට ශූරතාව ගෙන ආ නිරෝෂන් දික්වැල්ල ද තරග නරඹන්නෙක් ලෙසින්...
අවසන් වරට ශූරතාව ගෙන ආ නිරෝෂන් දික්වැල්ල ද තරග නරඹන්නෙක් ලෙසින්…

නවීන් ඒකනායක ත්‍රිත්ව විද්‍යාලයේ ම නිෂ්පාදනයක්. 2015 වසර දක්වා ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කළ නවීන්ගේ සම කාලීනයන් ලෙසින් නිරෝෂන් දික්වැල්ල, ලහිරු කුමාර වැන්නෝ ද වෙනවා.

පාසල් කාලයෙන් පසුව ත්‍රිත්ව විද්‍යාලයීය කනිෂ්ඨ පුහුණුකරුවෙක් ලෙසත්, ඊට පසුව දෙවැනි පෙළ පුහුණුකරුවෙක් ලෙසත්, ඔහුගේ තනතුර වරින් වර සංශෝධනය වෙනවා. අනතුරුව මේ වසරේ මාර්තු මාසයේ සිට ඔහු වෙත ප්‍රධාන පුහුණුකරු ධුරය ප්‍රදානය කෙරෙනවා. ඔහුගේ මේ පුහුණු කාලය තුළ පසුගිය වසරේ නිමා වූ වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ ශූරතාව ත්‍රිත්ව විද්‍යාලය වෙත දිනා දීමටත් සමත් වෙනවා.

ලැබූ මේ ජයග්‍රහණ වගේම, මට මගේ විද්‍යාලය වෙනුවෙන් මේ වගේ දේකට දායකවෙන්න ලැබීම ගැන නිහතමානීව සතුටු වෙනවා. මේක සාමූහිකව ලැබූ ජයග්‍රහණයක්. හැමෝම හොඳට කළා. ඒ ගැන සතුටුයි. අපි සෑම තරගයක දී ම බලාපොරොත්තු වුනේ එක් එක්කෙනාගේ දක්ෂතාවන්ට වඩා සාමූහික දක්ෂතාවන්. ඒක ජයග්‍රහණයට වගේ ම ප්‍රතිවාදීන් පාලනය කරන්නත් වඩාත් වැදගත් වුනා. මේ ජයග්‍රහණය ක්‍රීඩකයන්ගේ, පුහුණුකරුවන්ගේ පමණක් නොවේ, මේ පිටුපස අපිත් සමඟ සිටි විශාල පිරිසක් ඉන්නවා. ඒ හැම දෙනාට ම මේ ජයග්‍රහණය අයිතියි, නවීන් එ්කනායක මහතා පැවසුවා.

  • ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ සංචිතය: රහල් අමරසිංහ (නායක), විභාවිත් ඇහැලේපොළ (උපනායක), තීරක රණතුංග, සුපුන් වඩුගේ, මනුල කුලරත්න, තරණ විමලධර්ම, කුසල් විජේතුංග, දිනූෂ පීරිස්, දිනුක තෙන්නකෝන්, ජයවි ලියනගම, ජනිත් වර්ණකුල, මලිත් රත්නායක, ලක්වින් අබේසිංහ, වතිල උදාර, යෙවන් හුලංගමුව සහ විදුක ධම්මගේ
  • නිලධාරීන්: අරලිය ජයසුන්දර පියතුමා (විදුහල්පති), උත්තිය විජේසිංහ (ක්‍රීඩා භාර අචාර්ය), බ්‍රයන් සේනාරත්න (ක්‍රිකට් භාර ආචාර්ය), නවීන් ඒකනායක (ප්‍රධාන පුහුණුකරු), ලක්ෂිත අලහකෝන් (සහාය පුහුණුකරු) සහ දිනූෂ ජයසංඛ (සහාය පුහුණුකරු)

මේ මෙහෙයුමේ දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් තරගාවලියේ වැඩිම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා බවට පත් වූයේ තීරක රණතුංග. ඔහු පිතිකරුවෙක් ලෙසින් අවසන් පූර්ව තරගයේ දී ලබා ගත් අර්ධ ශතකයත් සමඟින් ලකුණු 270ක් ලබා ගත්තා. එය ත්‍රිත්ව විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථානය දිනා ගත් දක්ෂතාවයි.

එමෙන් ම වමතින් දඟපන්දු යැවූ ඔහු කඩුලු 24ක් දවා ගනිමින් විද්‍යාලය වෙනුවෙන් වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමුවැනියා ද වුනා.

ත්‍රිත්ව විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යෑමේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ අනෙක් ක්‍රීඩකයන් අතරින් මනුල කුලරත්නට ද හිමි වූයේ ප්‍රමුඛ ස්ථානයක්. දකුණත් පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි මනුල, අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 225ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ පළමු අසුන හිමි කර ගත්තා.

එමෙන් ම වමතින් වේගපන්දු යැවූ මනුල, ප්‍රතිවාදී කඩුලු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර  එය විද්‍යාලයීය පන්දු යවන්නන්ගේ ලැයිස්තුව සැකසීමේ දී ඉහළ දක්ෂතා අතරට වර්ගීකරණය වුනා.

ජයග්‍රාහී කුසලානය ලබා ගනිමින්.
ජයග්‍රාහී කුසලානය ලබා ගනිමින්.

දක්ෂතා දැක්වූ පිතිකරුවන් අතරට වමත් පිතිකරු, නායක රහල් අමරසිංහ අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 200ක් ඉක්මවා ලකුණු ලබා ගනිමින් ද, දකුණත් පිතිකරු දිනූෂ පීරිස් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 195ක් ලබා ගනිමින් ද සහ ජනිත් වර්ණකුල ලකුණු 185ක් ද ලබා ගනිමින් ද පිතිකරු ලැයිස්තුව පෝෂණය කළා.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යැවූ දිනුක තෙන්නකෝන් කඩුලු 14ක් ලබා ගනිමින් ද, දකුණතින් පිට දඟපන්දු යවන තරණ විමලධර්ම කඩුලු 13ක් ලබා ගනිමින් ද සහ දකුණතින් වේගපන්දු යවන කණ්ඩායමේ උපනායක විභාවිත් ඇහැලේපාල කඩුලු 9ක් ද ලබා ගනිමින් පන්දු යවන්නන්ගේ ලැයිස්තුව පෝෂණය කළා.

ඔවුන්ගේ සාමූහික ප්‍රයත්නයත් සමඟින් වසර 10ක් තිස්සේ ත්‍රිත්ව විද්‍යාලයට නොලැබූ ජයග්‍රහණයක් ලබා දීමට රහල් අමරසිංහගේ නායකත්වයෙන් යුත් වර්තමාන ත්‍රිත්ව ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වුනා. එය විද්‍යාලයීය ප්‍රජාවගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ දක්ෂතාවක්.

ඔවුන් ලැබූ ඒ ජයග්‍රහණය වෙනුවෙන් ThePapare.com පවුලේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<